HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින්ට පීච්වලින් පඩි ගෙව්ව හැටි!

නස්රුදින් අලුත් නගරයකට ගිය නිසා වියදමට තදින් ම මුදල් අවශ්‍ය වුණා. ටිකක් කල්පනා කළ ඔහු තාවකාලික රස්සාවක් කරන්න තීරණය කළා. අන්තීමේ දී ඔහුට ඒ් පළාතේ වතු හිමියෙකු කැමති වුණා, පීච් ගෙඩි අහුලන රස්සාවක් දෙන්න. ඔහුට දවසකට පීච් අහුලනවට රුපියල් 500ක් දෙන්න ඒ මිනිහා පොරොන්දු වුණා. 


නස්රුදින් මුළු දවසක් පුරා පීචි ගෙඩි අහුලල දවස අවසානයෙදි ආවා වතු හිමියාගෙන් කුලිය ඉල්ල ගන්න. මිනිහා කිව්වේ හරි කතාවක්.

"මගේ ළඟ දැන් සල්ලි නැහැනෙ ඔහෙට කුලිය දෙන්න. හෙට හවහට එනවා, කුලියට හරි යන්න මං තමුසෙට ඇති තරම් පීච් කන්න දෙන්නම්" 

නස්රුදින්ගෙ හිත හොඳට ම පෑරුණා. ඒත් ඔහු පොරොන්දුවෙ විදියට පහුවදා හරියටම වෙලාවට ඒ පීච් වත්තට ගියා. 

ඔහු කෙළින් ම ඉණි මඟක් ඔසවාගෙන ගිහින් ඉදුණු පිච් ගෙඩි පිරුණු ගහක් බලල ඉණිමඟ ඒකට හේත්තු කරලා නඟින්න පටන් ගත්තා. 

'ඔහෙ මොකක්ද ඔය කරන්න හදන්නෙ ?' වතු හිමියා ඇහුවා. 

'ඇයි පේන්නෙ නැද්ද? මං මේ මට ඇති තරම් පීච් කන්නයි හදන්නෙ. ඔහෙ ඊයෙ දවසෙ වැඩ කළාට මට පඩිය දෙන්න සල්ලි නෑ කියලා අද හවස එන්න කිව්වා නෙ, පඩියෙ හිලවුවට ඇති තරම් පීච් කන්න දෙන්නම් කියලා.' නස්රුදින් පීච් ගෙඩියක් කඩාගෙන කන ගමන් කිව්වා. 

'ඉතින් ඇයි ඔහෙ ඔය ගහ මුදුනටම නැඟලා කන්නෙ. මේ පාත අතුවල ඔය ඇති තරම් පීච් තියෙන්නෙ' වතු හිමියා කිව්වා. 

'එහෙම බැහැ නෙ.' කී නස්රුදින් තවත් ගෙඩියක් කඩාගෙන කෑවා. 

'ඇයි බැරි?' 

'බැරි මේකයි, ඔහෙ අහලා නැද්ද කතාවක් තියෙනවා, "පඩි පෙළක් අතු ගානව නම් ඒකෙ මුදුනෙ ඉඳලා අතු ගාන්න පටන් ගන්න. එතකොටයි, මුළු පඩිපෙළ ම හොඳට අතු ගාන්න පුලුවන් වෙන්නේ" කියලා.' නස්රුදින් තවත් පීච් ගෙඩියක් කන ගමන් කිව්වා.

'ඒ කතාවෙයි මේකෙයි ඇති සම්බන්දෙ මොකක්ද?' වතු හිමියා යළිත් ඇහුවා.

'ඒක හරිම පැහැදිලියි!' කී නස්රුදින්, 'ඒ වගේ මමත් මේ ගහේ මුදුනෙ ඉඳල පටන් ගත්තෙ නැත්නම් මං කොහොමද මේ ගහේ තියෙන ඔක්කොම ගෙඩි හවස ඉවර වෙන්න ඉස්සෙල්ල කාලා ඉවර කරන්නෙ' කියා ඇහුවා. 

(පර්සි ජයමාන්නගේ අලුත් ම නස්රුදින් කෘතියෙන්)

Post a Comment

0 Comments