HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2021 දී අලුත් සත්ත්ව හා ශාක විශේෂ 70ක් සොයා ගනියි

පසුගිය වසරේ දී මෙතෙක් හඳුනාගෙන නොතිබුණු සත්ත්ව විශේෂ 70ක් අලුතින් හඳුනා ගෙන තියෙනවා. මේ සත්ත්ව විශේෂ අතරට දීප්තිමත් රත්පැහැයෙන් යුතු තාරකා මාළු විශේෂයක්, නිල් පුල්ලි වැටුණු ගිටාර් (වේලාවන්) මාළු වර්ගයක්, හොඳින් වේශාන්තර වීමට සමත් කුරු මුහුදු අශ්ව විශේෂයක්, රුක් වැසි ගෝනුසු විශේෂයක්, දෙපා නොමැති අම්ෆිබියාවෙක් (උභයවංශී ජීවියෙක්), දීප්තිමත් වර්ණවලින් යුත් කුඩා කුරුමිණි විශේෂයක් ද ඒ අතර වෙනවා. 

කුරු නළාකාර මුහුදු අශ්වයා

කැලිෆෝනියාවේ විද්‍යා ඇකඩමිය (California Academy of Sciences) කියන්නේ මේ සත්ත්ව විශේෂයන් සොයාගෙන ඇත්තේ සංරක්ෂණ වැඩසටහන්වල උදවුවෙන් බවයි. මේ සොයා ගැනීම් කර ඇත්තේ මැඩගස්කරයේ පහත් බිම් වනාන්තරවලත්, එස්තර (පාස්කු) දූව ආශ්‍රිත කොරල්පර අවටත්, මැක්සිකෝවේ වනාන්තර තුරුමුදුන්වල කළ ගවේෂණවලදියි. 

'මෙවැනි සොයා ගැනීම්වලින් සත්ත්ව හා ශාක ලෝකය පිළිබඳ අපේ අවබෝධය වැඩි වෙනවා පමණක් නොව පරිසර සංරක්ෂණ කටයුතුවල දී නිවැරදි තීන්දු ගැනීමට අප හොඳින් දැනුවත් වෙනවා.' යැයි කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා වූ ෂැනෝන් බෙනට්(Shannon Bennett) කියනවා. 'සොබා දහම පිළිබඳ අපේ බැඳීම මේ නිසා වැඩි වෙනවා. විද්‍යා අධ්‍යයනයෙන්, සහයෝගතාවෙන් සොබා දහම ශක්තිමත් කිරීම අපේ අරමුණ ඉටු කර ගැනීමට ඉන් මඟ පෑදෙනවා.' ඇය වැඩිදුරටත් කියනවා. 

'ජෛව විවිධත්වය ආරක්ෂා වීම අපේ ග්‍රහයාගේ යහපැවැත්මට ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා පැවත්වන වැඩ සටහන් තවමත් ප්‍රමාණවත් මදි.' යැයි කියන ඇය, 'ස්වාභාවික ලෝකයේ සත්කාරකයන් වන අප මෙහි පරිසර පද්ධතීන් ශක්තිමත් කිරීමට සක්‍රියව දායක වීම අත්‍යවශ්‍යයි' වැඩිදුරටත් කියනවා. 

කැලිෆෝනියාවේ විද්‍යා ඇකඩමිය පසුගිය වසර තුළ අලුතින් සොයා ගත් සත්ත්ව විශේෂ අතර, කුරුමිනි විශේෂ 14ක්, මුහුදු හම්බෙල්ලන් 12ක්, කුහුඹු විශේෂ 9ක්, මත්ස්‍ය විශේෂ 7ක්, ගෝනුස්සන් වර්ග 6ක්, සපුෂ්ප ශාක විශේෂ 5ක්, මෝරුන් වර්ග 4ක්, මකුළු වර්ග 3ක්, මුහුදු පන්හිඳ විශේෂ 2ක්, පාසි විශේෂයක් ඉන්නා බව සඳහන් වෙනවා. 

මේ සොයා ගැනීම වෙනුවෙන් 2022 ජනවාරි 6 වැනිදා ඊට දායකත්වය සැපයූ විද්‍යාර්ථීන් හැමදෙනා ම අන්තර් ජාලය හරහා එක් කොට විශේෂ සමුළුවක් පැවැත්වීමට කැලිෆෝනියාවේ විද්‍යා ඇකඩමිය දින නියම කොට තියෙනවා. 

ඒ සොයා ගැනීම්වලින් කැපී පෙනෙන කීපයක් මෙසේයි. 

1. පැසිපික් සාගරයෙන් සොයාගත් මුහුදු අශ්වයා (Pygmy Pipehorse) 

නවසීලන්තයේ උතුරු දූපතේ තුඩුව ආශ්‍රිත මුහුදේ ගැඹුරු බෑවුම් අතර රතු කොරල් ඇල්ගේ බැඳුණු බිත්තිවල සැඟවී සිටියදියි, මේ කුරු නළාකාර මුහුදු අශ්වයා (pygmy pipehorse) සොයා ගත්තේ. ඒ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ මසුන් පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ග්‍රැහැම් ෂෝට් (Graham Short) යි. එහි වූ රතු කොරල් අතර ඒ වර්ණය ගෙන සැඟවී සිටි ඒ අපූරු සත්ත්වයා ආචාර්ය ග්‍රැහැම් ෂෝට්ගේ තියුණ ඇස නොගැටුණේ නම් සොයා ගැනීමක් සිදුවන්නේ නැහැ. 

මුහුදු අශ්වයන්ට නෑකම් කියන මේ නව සත්ත්ව විශේෂය විද්‍යාත්මකව නම් කොට ඇත්තේ සයිලික්ස් ටුපරියෝමේනයියා (Cylix tupareomanaia) කියලයි. නවසීලන්තයේ ආදීවාසී ජනයා වූ මවෝරි බසින් 'මූදු අශ්වයාගේ මල්දම' යන අරුත දෙන්නයි, ඒ සතා 'ටුපරියෝමේනයියා' කියා නම් කර ඇත්තේ. මේ ප්‍රථම වතාවටයි, නව මත්ස්‍ය විශේෂයක් හැඳින්වීමට මවෝරි යොදා ගෙන ඇත්තේ. ඒ විතරක් නෙවෙයි, මේ සයිලික්ස් ටුපරියෝමේනයියා නව සත්ත්ව විශේෂයක් පමණක් නොවෙයි, නව සත්ත්ව ගණයක් ද නවා. නවසීලන්තයෙන් මේ නළාකාර මුහුදු අශ්ව විශේෂයක් වාර්තා වූයේ වසර 100කට පසුවයි. 

ආචාර්ය ෂෝට් මේ සතාගේ සීටී ස්කෑන් ඡායාරූප අනෙක් නළාකාර මුහුදු අශ්ව විශේෂ හා සසඳා බලා මේ වෙන ම සත්ත්ව විශේෂයක් බව තහවුරු කරගෙන තියෙනවා. මෙහි ගණ නාමය වූ 'සයිලික්ස්' යන්න බිඳී ආවේ ලතින් බසින් chalice යන්නෙන්. එහි අරුත 'ශුද්ධ කුසලාන'යි. 

'වසර සිය ගානක් තිස්සේ මේ නවසීලන්ත කොරල් පර ගවේෂණයේ යෙදුනත් අප තාමත් හඳුනාගෙන ඇත්තේ ඉතාමත් ටිකයි. තවත් ගැඹුරට ගියොත් තවත් නව සත්ත්ව විශේෂ හමුවේවි' ආචාර්ය ෂෝට් කියනවා. ආචාර්ය ෂෝට්ගේ මේ සොයා ගැනීමත් සමග සීෂෙල්ස් දූපත් හා දකුණු අප්‍රිකාව ආශ්‍රිත සයිලික්ස් ගණයේ තවත් නව සත්ත්ව විශේ දෙකක් හමුවී තියෙනවා. 

මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් Ichthyology & Herpetology ජර්නලයේ පළ වී තියෙනවා. 

2. පාස්කු දූවේ බිත්තර වීවිල් කුරුමිණියා (Easter Egg Weevil) 

පිලිපීනයේ කඳුකර වනාන්තරවල මීටර 914ක් (අඩි 3000ක්) උස කඳුන්මුදුන් ඉතා දීප්තිමත් වර්ණවලින් යුත් අමුතු කුරුමිණි විශේෂයක් හමු වුණා. අලුතින්  පැකිරින්කුස් ඔබුමනුවු (Pachyrhynchus obumanuvu) නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ සතා සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ කීට විද්‍යාඥ මැතිව් වැන් ඩෑම් (Matthew Van Dam) ඇතුලු පිරිසටයි. 

පාස්කු දූවේ බිත්තර වීවිල් කුරුමිණියා

මේ කුරුමිණියා දිගින් මිමී 3.5ක් ‌හෙවත් අඟල් බාගයක් විතර ඇති. උඩු වියනක් යට වෙසෙන ඌ හමු වී ඇත්තේ පිලිපීනයේ මින්දනාවෝ දූපතේ තෙත් කලාපීය මහ වැසි වනාන්තරවල සුරැකිව ඇති පෙඳවලින් ආවරණය වුණු තැන්වලදියි. එහි සත්ත්ව විද්‍යාත්මක නාමය යොදා ඇත්තේ එහි වර්ණය අනුවයි. අනිත් බොහෝ වීවිල් කුරුමිණියන් තනි වර්ණයෙන් යුක්ත වුවත් මේ සතා දීප්තිමත් කහ හා කොළ පැහැයන්ගෙන් යුක්තයි. ඒ වර්ණ රටා මින්දනාවෝ දූපතේ වෙසෙන ඔබු මනුවු ගෝත්‍රිකයන්ගේ ඇඳුම්වල රටාවන් සිහිපත් කරවනවා. මේ නම තැබීම ගැන මින්දනාවෝ විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා විද්‍යාඥ ආචාර්ය ඇනලින් කැබ්රාස් මෙහෙම සඳහනක් කරනවා. 

'අපි කාලයක් එක්ක ලොකු සටනක් කරනවා, මේ වනාන්තරවලට නිරන්තරව සිදුවන විනාශය වළක්වාලන්නට. මේ සතාට ගෝත්‍රිකයන්ගේ නම දැමීමෙන් තව දෙයක් සිද්ධ වෙනවා. ඒ ගෝත්‍රිකයන් උනන්දුවෙන් වනාන්තර සංරක්ෂණයට අප හා එක් වෙිවි. හඳුනා නොගත් කෘමි සතුන් රැසක් මේ වනාන්තරවලට සිටිය හැකියි.' ඇය කියනවා. ඇය මේ නව විශේෂය ා කාර්යයේ දී මැතිව් වැන් ඩෑම්ට සහාය වූ විද්‍යාඥවරියක්. 

මේ පැකිරින්කුස් ඔබුමනුවු ගැන විස්තර Baltic Journal of Coleopterology පළ වී තියෙනවා. 

3. දීප්තිමත් මුහුදු තාරකා මාළුවෝ (Scintillating Sea Stars) 

පසුගිය වසරේ දී අපෘෂ්ඨවංශී සත්ත්ව විද්‍යාඥ ක්‍රිස්ටෝපර් මා (Christopher Mah) සොයා ගත්තා ශල්‍යචර්මී නව සත්ත්ව විශේෂ පහක් රපා නූයි (එස්තර් හෙවත් පාස්කු දූව) සහ නිව් කැලිඩෝනියාව යන දූපත් ආශ්‍රිත මුහුදෙන්. තාරකා මාළුන්, මූදු ඉකිරියන්, මූදු කැකිරි ආදී සත්ත්ව කාණ්ඩයක් ඊට අයත් වුණා. ඔහුගේ එක් සොයා ගැනීමක් තමයි, ඉන්දු පැසිපික් තරුකා මාළුවා වූ 'උඔකිස්ටාර් අහි' (Uokeaster ahi) විසූ කොරල් පරවලට දීප්තිමත් දොඩම් පැහැයකින් ආලෝකමත් කළා. රපා නූයි බසින් 'අහි' යන්නේ අරුත 'ගින්දර' යි. අනික් නාමය වූ 'උඔකි' යනු මහා දූපතක් සයුරේ ගිල්වා රපා නූයි දූපත බිහි කළ ඔවුන්ගේ ප්‍රවාදවල එන විනාශකාරී දෙවියාගේ නමයි. 

ඉන්දු පැසිපික් තරුකා මාළුවා

ආචාර්ය මා කියන විධියට කොරල් පරවල පැවැත්මට මේ තරුකා මාළුන් විශාල මෙහෙයන් ඉටු කරනවා. ඔවුන් අධ්‍යයනය කිරීමෙන් මේ කොරල් පර ආරක්ෂාවට කළ යුතු බොහෝ දේ ඉගෙන ගත හැ කියි. 

මේ 'උඔකිස්ටාර් අහි' නව තාරුකා මාළුවා ඇතුළු නව විශේෂ පහක් ගැන වැඩිදුර විස්තර Zootaxa ජර්නලයේ පළ වී තියෙනවා 

4 ගස් නඟින ගොනුස්සෝ (Tree-climbing Scorpions) 

ගෝතමාලාවේ හා මෙක්සිකෝවේ වනාන්තරවල ගස් මුදුන්වල සිට නව ගෝනුසු විශේෂ පහක් සොයා ගෙන තියෙනවා. ගෝනුස්සන් පිළිබඳ විශේෂඥයන් දෙපළක් වන සත්ත්ව විද්‍යාඥ ලොරේන් එස්පොසිටෝ හා ඒරන් ගුඩ්මන් යන දෙදෙනා තමයි, මේ සත්ත්ව විශේෂ හය ලොවට මුල්වරට හඳුන්වා දුන්නේ. 

මේ ගෝනුස්සන් සොයා ගැනීම රාත්‍රි කාලයේ දී ඉතා දුෂ්කර කාර්යයක් වුණා. පීවීසී බටවලින් ගස්වලට තට්ටු කළ විට ඒ සතුන් එසැණින් පැන වියළි කොළ අතර සැඟවුණා. ඒ නිසා තට්ටු කරන අතර දැල් යොදා ඔවුන් අල්ලා ගැනීමට ඔවුන් සමත් වුණා. සෙන්ටෲරියෝඩිස් කැටමාකොඑන්සිස් (Centruroides catemacoensis) ඇතුළු මේ නව ගෝනුසු ප්‍රභේද හය ගැන විස්තර Bulletin of the American Museum of Natural History. හි පළ වී තියෙනවා. 

5. ගිටාර් හෙවත් වේලාවා (guitarfish) මසුන් නව විශේෂ දෙකක් 

නිල් පුල්ලි වැටුණු වේලාවන් නව විශේෂ දෙකක් දැන් සොයා ගෙන තියෙනවා. ගිටාරයක හැඩය ඇති නිසා මේ නම ලැබී තිබෙනවා. මේ සත්ත්ව විශේෂ හඳුනා ගනු ලැබුවේ මත්ස්‍යයන් පිළිබඳ විශේෂඥයකු වූ ඩේවිඩ් ඊබට් (David Ebert) විසින්. 

ගිටාර් හෙවත් වේලාවා

එක් විශේෂයක් වූ ඇක්‍රෝටෙරියෝබේටස් ඇන්ඩිසැබිනි (Acroteriobatus andysabini) සොයා ගනු ලැබුවේ මැඩගස්කරයේ මුහුදුකරයෙන්. එහි කුඩා ප්‍රභේදයක් වන ඇක්‍රෝටෙරියෝබේටස් ස්ටෙහ්මානි (Acroteriobatus stehmanni) යේමන මුහුදු වෙරළාසන්න දූපත් සමූහයට අයත් සොකොට්‍රා (Socotra) දූපත අසල මුහුදෙන්. 

මේ නව ඇක්‍රෝටෙරියෝබේටස් විශේෂයන් දෙකක් ගැන Marine Biodiversity ජර්නලයෙහි සඳහන් වෙනවා. 

මේ වගේ සතුන් හා ශාක ගැන නව සොයා ගැනීම් තවත් රැසක් තියෙනවා. ඒවා ඉදිරියේ දී ලැබෙන පරිදි පළ කිරීමට බලාපොරොත්තු වෙනවා 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments