HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 75කට පෙර පැවති මහා සිනමා තරඟයක්!

සිංහල සිනමාවට පසුගිය 21 වැනිදාට අවුරුදු 75ක් පිරුණා. ඒ නිසා ඒ ගැන සටහනක් තබන්න සිතුණා. අපේ මුල් ම කතානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' මෙරට සිනමා ලෝලයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණේ 1947 ජනවාරි 21 දින වීම නිසයි. ඒත් සිංහල සිනමාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය මේ ඉතිහාසය තවත් ටිකක් අතීතයට ගෙනි යනවා. ඒ මතය අනුව දේශීය චිත්‍රපටයක් නිපදවීමට ඉදිරිපත් වූ ප්‍රථමයා වන්නේ මෙරට මුල් යුගයේ සිටි චිත්‍රපට ප්‍රදර්ශකයකු වූ ජී. ඒ. ජේ. නූර්බායි නම් බෝරා ජාතිකයෙක්. 1925 දී 'ශාන්තා නොහොත් රාජකීය වික්‍රමය' නමින් චිත්‍රපටයක් නැතීමට පියවර ගත්තා. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ ඉන්දියානු කැමරාකරුවකු හා අධ්‍යක්ෂවරයකු වූ ගුප්තායි. ඒ අනුව මෙරට චිත්‍රපටයක් තනන්නට එක් වූ ප්‍රථමයා ඔහුයි. 


'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් රුක්මණී දේවි හා බී. ඒ. ඩබ්ලිව්

ඉන්දියාවෙන් ගෙන්වා ගත් අතින් කරකවන කැමරාවකින් එහි රූගත කිරීම් කළේ බම්බලපිටියේ නිවසක් තුළ ඉදිකළ චිත්‍රාගාරයකයි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවකට පාසල් ශිෂ්‍යයකු වූ ඇන්. ඇම්. පෙරේරා (පසු කලෙක ඇමතිවරයකු වූ) සමඟ සිබිල් පීට් නම් බර්ගර් ජාතික තරුණියකි. නිහඬ චිත්‍රපටයක් වූ එහි දෙබස් ලිව්වේ ඇම්. සාර්ලිස් හා ජී. ඇස් ප්‍රනාන්දු දෙදෙනායි. චිත්‍රපටය රූප ගතකොට නෙගටිව් පටය එහි රසායනාගාර හා මුද්‍රණ කටයුතු සඳහා ඉන්දියාවේ මදන් සමාගමට යැවුවා. එය ඉන්දියාවේ හා සිංගප්පූරුවේ ඔවුන්ට අයත් සිනමාහල් කීපයක 'ශාන්තා' නමින් 1925 දී ප්‍රදර්ශනය වූ බව ඉන්දියාවේ පළ වූ 'ඉන්දියානු චිත්‍රපට නාමාවලියක (1912-1967)' සඳහන් ව ඇතැයි ගාමිණී වේරගමගේ 'දේශීය සිනමා වංශයේ' ප්‍රථම කාණ්ඩයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එහි පිටපත් ලංකාවට ගෙන ඒමට ප්‍රථම ඉන්දියාවේ චිත්‍රාගාරය තුළ දී හටගත් ගින්නකින් විනාශ වූ බව ද සඳහන් වෙනවා. ඒ නිසා එයට මෙරට සිනමාව ආරම්භ කිරීමේ‍ ගෞරවය හිමි වුණේ නැතැයි ගාමිණී කියනවා. 

ඉන්පසු පළමු නිහඬ චිත්‍රපටය තනන්නට උත්සාහයන් කීපයක් ම ගත්තත් ඒවා එකක්වත් සාර්ථක වූයේ නැත. එයින් මෙරට ප්‍රථම අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍යය හිමි කර ගත්තේ ටවර් හෝල් සංගීතඥයකු වූ ඩබ්ලිව්. දොන් එඩ්වඩ්ය. ඔහුගේ අධ්‍යක්ෂණය, 'පළිගැනීම' නම් වූ විනාඩි 30ක කෙටි චිත්‍රපටයක්. එය 1936 මැයි 19 වැනිදා ගෙයිටි සිනමා හලේ දී අතිරේක චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කෙරුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑ ටවර් හෝල් නළු ඇන්. ආර්. ඩයස් මෙරට ප්‍රථම චිත්‍රපට නළුවායි. නිළිය වූයේ එහි රඟපෑ ශ්‍රියාකාන්තා (ඩබ්. මිලී ආරියවතී)යි. ඒ චිත්‍රපටය ගැන 'ස්වදේශ මිත්‍රයා' පුවත්පතට ඩී. වී. සෙනෙවිරත්න ලියූ ලිපිය මෙරට ප්‍රථම සිනමා ලිපියයි. 

අශෝකමලා' චිත්‍රපටයෙන් ශාන්තිකුමාර් හා එමලින් දිඹුලාන

මින් පසු ප්‍රථම කතානාද වෘතාත්න චිත්‍රපටය තැනීමට බොහෝ අය උත්සාහ කළත් ඒවා දෙවන ලෝක යුද සමය එළඹීම නිසා පල දරුවේ නැත. 1940 දශකයේ අග භාගයේ දී මුලින් ම කතානාද චිත්‍රපටයක් තැනීමට ඉන්දියාවට ගියේ එන්. තුරෙයිසිංහම් හා කොලින් විජේසූරිය ප්‍රම්‍රඛ පිරිසයි. ෂන්මුග චිත්‍රපට නම් සමාගමක් පිහිටුවා ගෙන 'ලයිලා මජ්නු' නම් තෙළිඟු චිත්‍රපටය ඇසුරෙන් 'දිව්‍ය ප්‍රේමය' නමින් චිත්‍රපටයක් තැනීමේ අරමුණ ඇතිවයි. ඒ අතර එස්. එම්. නායගම්, ශාන්තිකුමාර් සෙනෙවිරත්න හා එක්ව චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමක් පිහිටුවාගෙන 'ශ්‍රී වික්‍රම රාජසිංහ' චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට කතාබහ කළත් පිරි වැය අධික නිසා එය අත හැර දමා 'අශෝකමාලා' පුවත දෙසට හැරුණා. නායගම්ට ඒ කතා පුවත සඳහා පිටපත සොයා ගැනීමට තරඟයක් පැවැත්වීමට අවශ්‍ය වුණා. එහි ජයග්‍රාහකයාට රු. 500ක් පිරිනැමීමට නායගම් තීරණය කර තිබුණා. 

ඒ චිත්‍රපට කතා තරඟයෙන් ජය ගත්තේ ශාන්තිකුමාර් සෙනෙවිරත්න ඉදිරිපත් කළ පිටපතයි. පුවත්පතට පොරොන්දු වූ පරිදි නායගම්, ජයග්‍රාහකයාට රු. 500යේ තෑගි මුදල ගෙවා පිටපතේ අයිතිය ලබා ගන්නට සූදානම් වුවත් ජයග්‍රාහකයා වූ ශාන්තිකුමාර් ඊට කැමති වුණේ නැහැ. ඒ මුදලට එකඟ වූ නොවූ ශාන්ති කුමාර් හා නායගම් අතර අධ්‍යක්ෂණය සඳහාත් මතබේදයක් ඇති වුණා. එහි ප්‍රතිඵලය වූයේ ශාන්තිකුමාර් චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමෙන් ඉවත් වී සිය කතා පිටපතත් රැගෙන සිලෝන් තියටර්ස් අධිපති චිත්තම්පලම් ඒ. ගාඩිනර් හමුවට යාමයි. චිත්‍රපටයක් නිෂ්පාදන කිරීමේ අභිලාෂය ඇතිව සිටි නිසා එයට එක පයින් කැමති වුණා. ඔහු 'අශෝකමාලා' චිත්‍රපටය නිපදවීමටත් අධ්‍යක්ෂණය ශාන්තිකුමාර්ට දීමටත් කැමති වුණා. 

            'අශෝකමාලා' චිත්‍රපටයෙන් කොටසක් පහතින් නරඹන්න 


'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් කොටසක් පහතින් නරඹන්න

නායගම් එයින් අධෛර්යයට පත් වුණේ නැහැ. ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සොයා මිනර්වා නාට්‍ය කාර්යාලයට ගියා. ඔවුන්ගේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ඇසුරෙන් චිත්‍රපටයක් තැනීමට තමා කැමති බව ප්‍රකාශ කළා. ඒ සඳහා තෝරා ගත්තේ දිවයින පුරා 800 වාරයක් පමණ වේදිකා ගත වූ නාට්‍යයක් වන 'කඩවුණු පොරොන්දුව'යි. ඒ ගැන පැහැදුණු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඇතුළු නාට්‍ය කණ්ඩායම ඒ සඳහා මුදල් අවශ්‍ය නැතැයි කීවත්. නායගම් කීවේ 'මේක බිස්නස් එකක්. ගනුදෙනු කතා කර ගනිමු' යයි කියා චිත්‍රපටය තැනීමට ඉන්දියාවට යා යුතු බවත් එහි ගත කරන මුළු කාලය තුළ මාසයකට මිනර්වා නාට්‍ය කණ්ඩායමට රු. 25,000ක් බැගින් ගෙවීමටත්, වියහියදම් දැරීමටත් බාර ගත් නායගම් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු ලැබෙන ආදායමෙන් සියයට 2ක් ගෙවීමටත් යෝජනා කළා. ඊට ඔවුන් එකඟ වූයෙන් ඒ පිරිස 1946 ජූනි 26 වැනිදා ඒ සඳහා ඉන්දියාවට ගියා. 

එහි වැඩ කටයුතු මදුරෙයි නගරයේ ජෙමිනි චිත්‍රාගාරයේ දී ඇරඹුණා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වූයේ ජේ. (ජ්‍යෝතිශ්) සිං නම් බෙංගාලි ජාතිකයෙක්. එහි කතාව, දෙබස් හා නළු නිළියන් පුහුණු කිරීම ඇතුළු සියලුම නිර්මාණ කාර්යයන් කළේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවි, එඩීජයමාන්න, ස්ටැන්ලි මල්ලව ආරච්චි, පීටර් පීරිස්, ජෙමිනි කාන්තා රංගනයෙන් දායක වුණා.

'කඩවුණු පොරොන්දුව' තැනූ ආකාරය ගැන එඩී ජයමාන්න ජීවත්ව සිටියදී සිනාසෙමින් මා සමග විස්තර කළ හැටි මට අද වාගේ මතකය. "අපි ඒ වෙලාවේ අන්දෝ සංසාරයක් චිත්‍රපට තැනීම දැන ගෙන හිටියේ නැහැ. අපිට ඒ ගැන කියා දෙන්න කෙ‍ෙනක් හිටියෙත් නැහැ. ඉතින් අපි පසුතලවලට දාන තිර රෙදි වේදිකා සැරසිලි ඔක්කොම මෙහෙ ඉඳලා උස්සාගෙන ගියා. එහෙදි ඔවුන් අපට දිනයක් දීලා නාට්‍යය කරලා පෙන්නන්න කිව්වා. අපි නාට්‍යය කරලා පෙන්නුවා. වේදිකාවේ තැනින් තැන කැමරා අටවලා තිබුණු හින්දා අපි හිතුවා ඔවුන් ඒක කැමරාවට නැඟුවා කියලා. ඒ හින්ද අපි පස්සෙන්දා තිර රෙදි අකුළගෙන එන්නයි ලෑස්ති වුණේ." එඩී කීවේ මහ හඬින් සිනාසෙමින්. 

"ඊට පස්සෙ තමයි, ඔවුන් කිව්‍‌වෙ, 'මේකට තිර පිටපතක් ලියලා, මේකෙ ජවනිකා වෙන වෙනම කෑලි කෑලිවලට කඩලයි රූප ගත කරන්නේ කියලා. ඒකට මාස කීපයක් ගත වෙනවා. ඒවා එකතු කරලා තමයි අන්තිමේදී චිත්‍රපටය හදන්නේ.' ඔවුන් අපට පැහැදිලි කරලා දුන්නා." යයි එදා එඩී කිව්වා. 

'අශෝකමාලා' චිත්‍රපටය තැනීම සඳහා ඉන්දියාවට ගිය ශාන්ති කුමාර් සෙනෙවිරත්න ඇතුළු පිරිස ඊට වඩා වෙනස්. 1946 නොවැම්බරයේ දී ඔවුන් ගියේ මදුරාසියේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයටයි. ශාන්ති කුමාර් සෙනෙවිරත්න කලින් ඉන්දියාවට ගිහින් නැටුම් ඉගෙන ගත් අයෙක්. ඒ වගේ ම චිත්‍රාගාරවල කටයුතු දැන කියාගෙන සිටි අයෙක්. ඔහුට දේශීය සංගීතය, නැටුම් හා කලා සම්ප්‍රදායන් ගැන අවබෝධයක් තිබුණා. ඔහු 'අශෝකමාලා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඒ චිත්‍රාගාරයේ සංස්කරණ ශිල්පියා වූ ටී. ආර්. ගෝපු සමගයි. 

සංගීත අධ්‍යක්ෂණය සඳහා මොහොමඩ් ගවුස් ද ඔහුගේ ස්වතන්ත්‍ර තනු නිර්මාණ ද යොදා ගත්තා. ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) හා මොහිදීන් බෙග් ගායනයෙන් කරළියට ආවේ ඒ චිත්‍රපටයෙන්. මෙහි රඟපෑවේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න, හර්බි සෙනෙවිරත්න, එමලින් දිඹුලාන, මයිකල් සන්නස් ලියනගේ, දොන් එඩ්වඩ් ඇතුළු පිරිසක්. 

මුලින් ම 'දිව්‍ය ප්‍රේමය' තැනීමට ඉන්දියාවට ගිය තුරෙයිසිංහම් ප්‍රමුඛ පිරිසගේ ප්‍රථම ප්‍රයත්නය අසාර්ථක වූයේ එහි ප්‍රධාන චරිතය රඟපෑ ඊ.සී.බී. විජේසිංහ ඉන් ඉවත් වීම නිසයි. ඉන්පසු ඒ නළු නිළියන් යොදා ගනිමින් 'ග්‍රිහ ප්‍රවේශම්' නම් තෙළිඟු චිත්‍රපටය 'මන ප්‍රයත්නය' නමින් දෙබස් කවනු ලැබුවා. එය දෙබස් කැවූ ප්‍රථම චිත්‍රපටය ලෙස 1947 මැයි මාසයේ දී මෙරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඉන්පසු තුරෙයිසිංහම් අලුත් නළු නිළියන් යොදා ගෙන යළිත් 'දිව්‍ය ප්‍රේමය' නිපදවූවත් එහි මෙරට ප්‍රදර්ශනය කෙරුණ් සිව් වන චිත්‍රපටය ලෙසයි. ඒ 1948 මැයි මාසයේදියි. 

'දිව්‍ය ප්‍රේමය'ට තරඟයෙන් ඉවත් වීමට සිදු වූ නිසා ප්‍රථම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය වීමේ මහා තරඟයට ඉතුරු වූයේ 'අශෝකමාලා' හා 'කඩවුණු පොරොන්දුව' යන චිත්‍රපට දෙක පමණයි. මීට වසර 75කට පෙර ඔවුන් අතර වූ ඒ තියුණු තරගයෙන් ජය ගත්තේ එස්. එම්. නායගම් හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න යන දෙදෙනා මූලිකත්වය ගෙන තැනූ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයයි. එය ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1947 ජනවාරි 21 වැනිදායි. දෙවන චිත්‍රපටය ලෙස තිරගත වූයේ 'අශෝකමාලා'යි. ඒ 1947 අප්‍රේල් 09 වන දායි. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments