HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජාතික නිදහස උදෙසා සටන් කළත් නිදහස නුදුටු වීරයෙක්!

1815 සිට බ්‍රිතාන්‍ය යටත්විජිතයක් තිබි ශ්‍රී ලංකාව නිදහස ලැබුවේ 1948 දීය. ඒ වසර 132ක් වූ කාලය තුළ අපේ රට නිදහස් කර ගන්නට වෙර දැර පිරිස අති විශාල ය. ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි දෙකක් ඇති විය. ඒ සියල්ල ඉංග්‍රීසී පාලකයෝ නිර්දය ලෙස මර්දනය කළහ. ඒත් නිදහස උදෙසා කළ අරගලය නිදහස අමුණ කර ගත් පිරිස අත් නො හළහ. එය විවිධ පෙරමුණුවලින් මතු විය. 

එෆ්. ආර්. සේනානායක මහතා

මිෂනාරි අධ්‍යාපනය නිසා ජාතිකත්වයට වන හානි දුටු දෑ හිතකාමී පිරිස් එක්ව බෞද්ධ අධ්‍යාපනය නංවා ලීමට කටයුතු කළහ. ඒ සඳහා පරම විඥාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගත්හ. ඉංග්‍රීසි පාලකයන් සිය ආදායම වැඩි කර ගැනීමටත්, ජනතාවගේ හැදියාවට පහර එල්ල කර දුර්වල කිරීමටත්, ආරම්භ කළ රේන්ද හා තැබෑරුම් ක්‍රමය නිසා අමද්‍යප ව්‍යාපාරය ආරම්භ විය. ජනතාව භේදභින්න කර පාලනය පහසු කර ගැනීමට ඉංග්‍රීසින් දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් සියලු ජන කොටස් එක්ව ජාතික මහ සභාව පිහිටුවා ගත්හ. මේ සියලු ව්‍යාපාරවලට දිරිය, ධනය පමණක් නොව දැක්මත්. දැනුමත් සැපයූ යුග පුරුෂයෙක් විය. හේ නමින් එෆ්. ආර්. සේනානයක ය.

ෆ්‍රෙඩ්රික් රිචඩ් (එෆ්.ආර්.) සේනානායක (Fredrick Richard Senanayake) හාපිටිගම් කෝරලයේ මීරිගම බෝතලේ ග්‍රාමයේ උපන්නේ දොන් ස්පේටර් සේනානයකගේත්, කැතරින් එලිසැබත් පෙරේරා ගුණසේකරගේත් දෙවැනි දරුවා ලෙසයි. ඒ 1882 ඔක්තෝබර් 22 වැනිදා ය. මේ මාපිය දෙපළට, දොන් චාර්ල්ස් (ඩී.සී.), දොන් ස්ටීවන් (ඩී.ඇස්.) යනුවෙන් තවත් පුතුන් දෙදෙනකු ද, මාරියා ෆ්‍රාන්සස් නමින් දියණියක ද ලැබිණ. 

එෆ්. ආර්. මුලින් ම අකුරු ඉගෙනීමට යවනු ලැබුවේ මාතලේ ශාන්ත තෝමස් ඉංග්‍රීසි පාසලටය. දරුවාගේ දක්ෂතා හඳුනා ගත් එහි එවකට සිටි ප්‍රධානාචාර්යවරයා ඔහු කොළඹ උසස් පාසලකට යවන්නැයි කීය. ඒ අනුව එෆ්. ආර්ට කොළඹ ශාන්ත තෝමස් කොලීජියටත්, ඉන්පසු රාජකීය විද්‍යාලයටත්, යාමට සිදු විය. දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය නිම කළ එෆ්. ආර්. එකල මෙරට ධනවත් පවුල්වල සිරිතට අනුව උසස් අධ්‍යාපනය ලබන්නට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඩවුනින් කොලීජියට යවනු ලැබීය. 

එහිදී ඔහු බී.ඒ. උපාධියත්, එල්. එල්. බී නීති උපාධියත් ලබා ගත්තේය. එෆ්. ආර්. එංගලන්තයේ නීතීඥ මණ්ඩලයට නම් කළේ එරට අග විනිසුරු ඇල්වර්ස්ටන් සාමිවරයා විසිනි. එතුමා පුතා එෆ්. ආර්. ගේ සුහද මිතුරු කේම්බ්‍රිජ් සරසවි සගයෙක් විය. කලක් එහි සේවයේ යෙදුණු ඔහු ලංකාවට ඒමට තීරණය කළේ ය. ඒ අනුව බැරිස්ටර්වරයකු ලෙස 1904 දී ආපසු මව්බිමට පැමිණියේය. 

මෙහි පැමිණ කෙටි කලෙකින් ම නුවරඑළියෙහි තැනූ නිවසට 'ඇල්වර්ස්ටන්' කියා නම් කළේ අග විනිසුරු සාමිවරයාට කරන ‌ගෞරවයක් වශයෙනි. 

එ‌ෆ්. ආර් සේනානායක (දකුණේ), නැඟණියගේ සැමියා වූ ඩයස් බණ්ඩාරනායක, ඩී. සී., ඩී. එස්. (පසුව අගමැති වූ) සොහොයුරන් සමග (සිටගෙන) මාරියා නැඟණිය, පියා මුදලිඳු ස්පේටර් හා මව (වාඩි වී)

තරුණ එෆ්. ආර්. අධිනීතීඥයකු වශයෙන් මෙරට සේවය කළ කාලයේ සිදු වූ, ඔහුගේ චරිතය හුවා දැක්වූ එක් කතාවක් මෙසේ ය. 

සියනෑකෝරලයේ හල්ගම්පිටියේ ගැමියකු එක් උදෑසනක අවදිව බලන විට ඔහුගේ ගෙවත්තට කඩා පැන්න 'ඔටුවකු' එළවළු කොරටුව වනසනු දුටුවේ ය. ඔහු කලින් ඔටුවකු දැක තිබුණේ නැත. අමුතු සතකු තම වගාවට කරමින් සිටි වින්නැහිය දැක කෝපයටත් භීතියටත් පත් ගැමියා සිය තුවක්කුව ගෙනවුත් ඌට වෙඩි තැබීය. තුවාල ලැබූ ඔටුවා පැන දිවීය. 

ඔටුවා හොරගොල්ල වලව්වේ පුද්ගලික සත්තු වත්තෙන් පැන ආ එකකු බව හෙළි වූයේ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමන් විසින් ඒ ගැමියාට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවරූ පසුවය. පැමිණිලිකරු මහ මුදලිතුමා වූ නිසා බියට පත් ගම්පහ නීතිඥ මණ්ඩලයේ කිසිවෙකු ඔහුගේ නඩුවට පෙනී සිටීමට කැමති වූයේ නැත. අන්තිමේ දී ඔහු කොළඹට ගියේය. එහි නීතීඥවරුද මහ බලවතකු වූ මුදලිතුමාට එරෙහි වීමට කැමති වූයේ නැත. ගොවියා කිසිත් කර කියා ගත නොහැකි තත්ත්වයට පත් විය. 

තරුණ එෆ්. ආර්. ලංකාවට පැමිණ අධිනීතීඥයකු වශයෙන් සේවය කරන්නට පටන් ගත්තා පමණි. ඔහුට මේ ගැමියා ගැන අසන්නට ලැබුණේ ය. ඔහු වහා ගැමියා ගෙන්වා ඔහුගේ ප්‍රශ්නයට සවන් දුන්නේය. නීති සහය හැම මිනිසකුට ම තිබිය යුතුයි යන මතයේ සිටි තරුණ එෆ්. ආර්. ගැමියා වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේය. 

'නීතීඥ මහත්වරුන්ට එහෙම බැහැ කියන්න බැහැ. මං ඉදිරිපත් වෙන්නම්. මට තමුන්ගෙන් ගාස්තු එපා! දං නඩුවට කතා කරනවා.' තරුණ එෆ්. ආර්. කීවේ ය. කී ආකාරයට ඔහු ගම්පහට ගොස් උසාවි‌යේ පෙනී සිට ගැමියා නිදහස් කර ගත්තේ ය. මහ මුදලිතුමාට දිනා ගත නොහැකි වූ එකම නඩුව ද එය විය. 

යුක්තිය හා සාධාරණත්වය උදෙසා අධිකරණ කාර්ය පටිපාටියට සහාය වෙමින් වෘත්තියේ ආචාරධර්ම සුරකිමින් කෙටි කලක් අගනා සේවයක යෙදුණේය. තරුණ එෆ්. ආර්. 1910 දී විවාහ වූයේ ලංකාවේ ‘මිනිරන් රජ්ජුරුවෝ’ යැයි විරුදාවලි ලත් ඉමහත් ධනස්කන්ධයක හිමිකරුවකු වූ කොළමුන්නේ ඩී. සී. ජී. ආටිගල මුදලිතුමාගේ බාලම දියණිය වූ ඇලන් ආටිගල මෙණෙවිය සමගය, ඉතා වාසනාවන්ත යුග දිවියක් ගත කළේය. පසු කලෙක කීර්තිමත් දේශපාලනඥයකු බවට පත් වූ ආර්.ජී. සේනානායක ඔහුගේ දෙටු පුත්‍රයාය. නීඩ්‍රා, තිස්ස, උපාලි සහ නීලා අනෙක් දූ පුතුන් විය.ඒ විවාහයෙන් පසුව විශාල බූදලයක ප්‍රධාන කොටස්කාරයකු වූ ඔහු ධන බලය ද සමාජ බලයද තහවුරු කර ගත් ඔහු උසාවි සේවයෙන් නික්ම ගියේ ව්‍යාපාර බලා ගන්නත් සමාජ සේවයෙහි යෙදීමත් අරමුණු කර ගෙනය. 

පෙර සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍යයන් විසින් සුරාව ප්‍රචලිත කිරීමට එරෙහි අමද්‍යප ව්‍යාපාරය බිහිවන්නට පටන් ගත්තේ මේ යුගයේ දීමය. පියාගේ උනන්දු කිරීම මත ඩී.සී. බාල සොහොයුරන් දෙදෙනා සමග හාපිටිගම් කෝරලේ අමද්‍යප සභාව අරඹා පසුව එහි සභාපති ධුරයට ද පත්විය. ඔවුන්ගේ අරමුණ වූයේ එවකට ඉංග්‍රීසි ආණ්ඩුව ආරම්භ කළ රේන්ද ක්‍රමය යටතේ සුරාසැල් නිසා ඇති වන මත්පැන් දුරාචාරයෙන් පුරවැසියන් ගලවා ගැනීම ය. පසුව මෙරට නිදහස් සටනේ ප්‍රධාන අවියක් වූ දීප ව්‍යාප්ත අමද්‍යප ව්‍යාපාරය ලෙස ගොඩ නැඟුණේ එයයි. 

එෆ්.ආර්. හා ඩී.සී. සොහොයුරන්ගේ මෙහෙයවීමෙන් 1912 මැයි 23 වැනිදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී ප්‍රසිද්ධ මහා සභා රැස්වීමක් පවත්වා ආරම්භ කරන ලද දීප ව්‍යාප්ත මහ සටනට දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වා, ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, දොස්තර සී. ඒ. හේවාවිතාරණ ආදී දේශප්‍රේමීහු ද එක්වූහ. 

වර්ෂ 1915 සිංහල - මුස්ලිම් ජාතිභේද කෝලහල අවධිය වන විට ජන නායකයකු වශයෙන් ලබා තිබුණු ප්‍රසිද්ධිය නිසා එම අවිචාර සමයේදී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වෛරයට ලක්ව දැඩි හිංසා පීඩාවන්ට ලක් වීමට අනික් දේශ ප්‍රමීන්ට මෙන් ම එෆ්. ආර්.ටත් සිදුවිය. 

එහෙත් එයින් පසුබට නොවී සිරගෙදරදී ලබන ලද පන්නරය ද ඇතිව නිදහස්කාමී හැඟීම්වලින් යුතුව යටත් විජිතවාදීන් මෙරට දේශීය ජනතාවට විරුද්ධව සිදුකරන අකටයුතුකම් සහිත දුර්දාන්ත පාලනයට විරුද්ධව, විශේෂයෙන්ම එම කෝලහල අවධියේ මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි සර් රොබට් චාමස් සහ පොලිස්පති ඩව්බිගින් ඇතුළු නිලධාරීන් විසින් කරන ලද අපරාධ සහ දුෂ්ට ක්‍රියා පිිළිබඳව එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයා වෙත සංදේශයක් යැවීමට දේශප්‍රේමීහූ තීරණය කළහ. ඒ අනුව රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා එය සිය සපත්තුව රුවාගෙන රහසිගතව ගෙන යාමට කැමති විය. එෆ්. ආර්. එම සංදේශය සකස් කිරීමට පමණක් නොව එය ලන්ඩනයට ගෙන යාමට බරපැන පවා දැරුවේය. 

රටට නිදහස ලබාගැනීමේ ව්‍යාපාරය ඉදිරියට මෙහෙයවීම සඳහා ඒකාබද්ධ ජාතික සංවිධානයක අවශ්‍යතාව ශ්‍රී ලාංකීය ජන නායකයෝ 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවන ලද අවස්ථාවේ එෆ්. ආර්. සේනානායක මහතා ද එහි පුරෝගාමියකු වූවේය. එවැනි අවස්ථාවල බොහෝ විට ඔහු නොපැකිලව ධනය පරිත්‍යාග කළේය. කිසිම විටෙක නායකත්වය හෝ නිලතල අපේක්‍ෂාවෙන් තොරව, හුදු ජනතා අභිවෘද්ධිය පමණක් සලකා සේවය කළේය. එහෙයින් එතුමා විරල ගණයේ උතුමකු වූවේය. 

මහජනයා වෙතින් කෙරුණු බලවත් ඉල්ලීම හා අනුග්‍රහය නිසා කොළඹ නගර සභාවේ කොල්ලුපිටිය කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස 1914 දෙසැම්බර් දහ වැනිදා තේරී පත් වූ ඒ මහතා වසර පහක් පමණ එතුමා එම තනතුරට පත්වූවේ නිතරගයෙනි. ඇෆ්. ආර්. සේනානායක මහතා රාජ්‍ය ආයතනයක තනතුරක් සඳහා ඉදිරිපත් වූ එකම අවස්ථාව එපමණක් වූ අතර එය ද එකම වාරයකින් නිමාවට පත් විය. 

1926 දී ඩී. එස්, ඇතුළු පවුලේ ඥතීන් සමග දඹදිව වන්දනාවේ ගිය අතර බුද්ධගයාහිදී හදිසියේ එෆ්. ආර්. රෝගාතුර වූ අතර රෝහල් ගත කරනු ලැබ,  ඇපෙන්ඩිසයිටිස් රෝගය සඳහා රෝහලේ දී සැත්කමත් කළ ද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 44ක් විය. 

අපේ ජාතික නිදහස සඳහා කළ සටන්වලට දිරිය, ධනය, දැනුම, ශක්තිය පරිත්‍යාග කළද එෆ්. ආර්.ට නිදහස උදාවන අවස්ථාව දැක බලා ගැනීමට, නිදහස් සුවය විඳින්නට, වාසනාව තිබුණේ නැත. ඊට පෙර ඔහුගේ දිවිය නිමා විය. එහෙත් ඒ වෙනුවට එෆ්. ආර්ගේ අඩිපාරේ ගිය ඔහුගේ බාල සොහොයුරු ඩී. ඇස්. සේනානායක නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා බවට පත් විය. 

එෆ්. ආර්. සේනානායක මහතා මේ රටේ බිහි වූ තවත් විශිෂ්ට ගණයේ දේශප්‍රේමී ජනතා පුත්‍රයෙකි. මහා දානපතියකු ලෙසත් ජාතික ආගමික සේවයේ නියුතු සමාජ සේවකයකු ලෙසත් ශ්‍රී ලංකා ජනතාවට අතිමහත් සේවාවක් ඉටු කළ අතර එතුමාට සම කළ හැකි වෙනත් චරිතයක් නැති තරම්ය. 

එෆ්. ආර්. ගේ මරණයෙන් පසු ඔහු අනුස්මරණය සඳහා විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට ඔහුගේ ප්‍රතිමාවක් එවකට මෙරට ආණ්ඩුකාර ධූරය දැරූ සර් හියුබට් ස්ටැන්ලි අතින් විවෘත විය. 

- පර්සි ජයමාන්න. 


Post a Comment

0 Comments