සුප්‍රකටයකුගේ අප්‍රකට කතාවක්
පලබර ගසක කතාව
ඉතාලි ජාතික මහා චිත්‍රශිල්පියා වන ලියනාඩෝ ඩා වින්චි (1452-1519) වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මොනාලිසා වැනි අපූරු අර්ථ කථනයන් සමුදායක් දිය හැකි චිත්‍ර නිර්මාණය කළ මහා ශිල්පියෙකු වශයෙනි. ඊට අතිරේකව ඔහු යාන්ත්‍රික ශිල්පියේ ද සංගීතයේ ද අපූරු කතා වස්තු නිර්මාණයේ ද හසලයකුව සිටියේ ය. ඔහු ඉඳහිට ලියූ ඇතැම් කවි හා කතා පිළිබඳ ඒ හැටි කතා නොකෙරේ. එහෙත් වරින් වර ඒවා සොයා නැවත පළ කිරීම ද සිදුවේ. ඔහු ඇන්ද චිත්‍රවලට වැඩි ඉල්ලුමක් ඇති කතා සංග්‍රහයක් මෑත දී ඉතාලි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය විය. එය හැඳින්වී ඇත්තේ ලියනාඩෝ ඩා වින්චි ගේ උපමා කතා යනුවෙනි. (The Fables of Leonardo Da Vinci) ඒ කෘතිය මුලින් ම ඉංග්‍රීසි බසින් පළ වූයේ 1972 දී ය. එය බෘනෝ නාර්දිනී (Bruno Nardini) නමැති ශාස්ත්‍රඥයාගේ සංස්කරණයක් විය. ඉන් උපුටා ගැනුනු එක් උපමා කතාවක් මෙසේය.
එකෝමත් එක කාලෙක ෆිග් වර්ගයේ ගසක් තිබුණා. ඒ ගසේ ගෙඩි හට ගත්තේ නෑ. ඒ නිසා ගහ ළඟින් ගිය කිසිවකු ඒ ගස දෙස බැලුවේ නෑ. වසන්ත කාලෙදි මේ ගහේ කොළ ලියලන්න පටන් ගන්නවා. එහෙත් ගිම්හාන කාලය වන විට දී අනිත් ගස්වල මෙන් ඵල හට ගත්තේ නැහැ. කොළවලින් විතරක් පිරෙනවා. කොළවලින් අතු බර වෙන්න පටන් ගන්නවා.
"අනේ මං ගැනත් මිනිස්සු හොඳක් කතා කරනවා නම් කොච්චර හොඳද?" ගස කල්පනා කළා.
"ඒත් ඉතින් මගේ හොඳක් කතා කරන්ට වෙන්නේ අතු ඉති පිරෙන්න ඵල හට ගත්තොත් විතරයි. කෝ ඉතින් එහෙම වාසනාවක් මට නැහැ නොවැ."
මේ විදිහට කල්පනා කරලා තමන්ගේ අතු පිරෙන්නට ගෙඩි හැදේවා යි කියලා ගහ ප්‍රාර්ථනා කළා.
එක් ගිම්හාන කාලයක දී මේ ගහේ අතු ඉති බර වෙන්නට ගෙඩි හට ගත්තා.
අහසේ පෑයූ හිරු රැස් වැදිලා ඒ ගෙඩි ලොකු වුණා. මැනවින් රසවත් වුණා. සුවඳවත් වුණා.
ගහ ළඟින් ගිය මිනිසුන්ට ගස පල බර වී ඇති අයුරු පෙනුණා. දැන් ඉතින් මිනිසුන්ට උවමනා කළේ, ඒ ගෙඩි ඉක්මනට ඉක්මනට තරගෙට වාගේ කඩා ගන්නයි.
සමහරු ගහේ කඳ දිගේ බඩගෑවා. ගහේ අතු බිමට නැමුවා. සමහරක් අතු ඉති නැමිලා කැඩිලා බිඳිලා ගියා. හරිම රසවත් ගෙඩි කම්මුතු වුණා. අනේ! අන්තිමට මොකද වුණේ? අසරණ ගස අර මුලින් තිබුණාටත් වඩා නිසරු වුණා.
අතුඉති කැඩිලා ගෙඩි හිඳිලා හිස් අසරණ ගහක් බවට පත් වුණා.
උවමනාවට වඩා දේවල් ඉල්ලන අයට අන්තිමට සියල්ල නොපිරිහෙලා ලැබුණත් හිටියට වඩා දුක්මුසු තත්ත්වයකට පත් වෙන්නට ද ඉඩ ඇති බව මතක තබාගත යුතුයි.
0 Comments