HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බුදුරජාණන්වහන්සේ උපමා කතාවකින් දුටු ගමනක අවසානය

අද දුරුතු පුන්පෝදා නිසා ඔබ හොඳින් දන්නා කතාවක නො දන්නා පැතිකඩක් පෙන්වා දෙන බොදු උපමා කතාවක් දැක්වීමට අවසර පතමි. 


ගමනක අවසානය 

අංගුලිමාල තරුණයා කැලයක සිට ඒ තුළින් ගමන් ගන්නා මිනිසුන් මරා ඇඟිලි මාලයක් සාදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ඔහු දමනය කීරීම උදෙසා ම එම කැලය තුළින් වඩිමින් සිටි අවස්ථාවකි. අංගුලිමාල සන්සුන් ගමනින් යන එම පැවිදි රුව ඈත තබා ම දැක්කේය. ඔහු මෙසේ සිතී. මිනිස්සු තිහ හතළිහ පණහ සෑදී මේ කැළය මැදින් යාමට උත්සාහ කළත් ඒ හැම මගේ ග්‍රහණයට හසුවෙති. මේ නිසා නිරායුධ ව පියවි ගමනින් යන මේ ශ්‍රමණයා මරා ගැනීම මට අපහසු නැත. මෙසේ සිතූ හෙතෙම ඈත වඩින බුදුරජාණන් වහන්සේට මෙසේ කීය. "ශ්‍රමණය, ඔහොම නවතිනු" එම අණ කිරීම සැලකිල්ලට නො ගත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ යෙදෙමින් සිටි ගමන නො නවත්වාම, අංගුලිමාලට මෙසේ වදාළ සේක. 

"මම නැවතී සිටිමි. ඔබත් නවතින්න!" 

අංගුලිමාලට එක් අතකින් විමතියකුත් තවත් අතකින් පුදුමයකුත් දැනුණි. පුදුමය, එම ප්‍රකාශය කළ ශ්‍රමණයා තුළ තැති ගැන්මක් නො දැකීමය. විමතිය නම් යමින් සිටි අතර "මම නැවතී සිටිමි" යන බොරු බස කනට වැටීමයි. ඔහු දෙවනුව ද තෙවනුව ද ගමන නවත්වන ලෙස අණ කළේය. එහෙත් උන්වහන්සේගේ පිළිතුරත් ගමනත් එක සේ ම විය. 

මෙහිදී බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට තමන් වහන්සේ ළඟට පැමිණීම සිදු නො වන ආකාරයේ ඍද්ධියක් අධිෂ්ඨානයක් කළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ තමන් සතුව තිබූ ඍද්ධි ප්‍රාතිහාර්ය බලය යොදා ඇත්තේ කිහිප අවස්ථාවක පමණි. වරක් බුදුරජාණන් වහන්සේ ගඟක් තරණය කිරීමට තිබූ අවස්ථාවක, බුදුන් ගඟට උඬින් ඍද්ධියෙන් ගියහොත් තමන් ද එසේ යන බව ආජීවක කොට්ඨාසයක් අභියෝග කළ බවත් ඒ අනුව එහිදී ගඟට උඩින් ඍද්ධියෙන් ගමන් කරන ලෙස බෞද්ධයන් විසින් ඇවිටිලි කරමින් මහත් බලාපොරොත්තුව සිටිය දී පවා එම ගඟ හරහා ඔරුවකින් වැඩිය බවත් සඳහන් වේ. එසේ කළේ එම ආජීවක පිරිසගේ සිවුපසයට අන්තරායක් වන බව හොඳ හැටි අවබෝධ කර ගෙන සිටි බැවිනි. මෙය බුදුවරයකු තුළ ඇති මහා කාරුණික ගුණයයි. බෞද්ධ පක්ෂය උන්වහන්සේට එදින කළ අගෞරව උන්වහන්සේගේ අවධානයට ලක් වී නැත. එය තාදී ගුණය නම් වේ. 

අංගුලිමාලගේ කෝපය ඇවිස්සුණි. කොතරම් දිව ඒමට සූදානම් වුවත් දිවීමට නො හැකි තැන අංගුලිමාල මෙසේ කීය. 

මා සිතා සිටියේ කහවත් දරන, හිස මුඬු කළ ශ්‍රමණයන් බොරු නො කියන පිරිසක් බවයි. එහෙත් මේ ශ්‍රමණයා බොරු ද කියන්නේ ය. ‌මේ කියන්නේ කුමක් දැයි ඇසිය යුතු යැයි සිතූ අංගුලිමාල බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවේය. 

'ශ්‍රමණය, ඔබ ගමන් කරන අතර "සිටියෙමියි" කියන්නේ ඇයි? මට එය නො වැටහෙයි. එය පහදා දෙන්න.' 

බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කළ සේක. "අංගුලිමාල, මම ද ඔබ වාගේ ම මේ අනන්ත සසරෙහි නො නැවතී භවයෙන් භවයට ඇවිද්දෙමි. මම සියලු භව සංයෝජනයන් සිඳ දැමූ නිසා නැවත උත්පත්ති වශයෙන් ගමනක් නැත. එහෙයින් මම සංසාර ගමනෙන් නැවතුණෙමි. ඔබට ද එසේ ම භව ගමන අවසාන කළ හැකිය. එහෙයින් ඔබට නවතින ලෙස කීවෙමි. 

දුනු ඊතල තෝමර කඩු ආදිය කැළයට විසි කළ අංගුලිමාල තෙමේ බණ ඇසීය. පසුව පැවිද්ද ඉල්ලා සිටියේය. මේ අවස්ථාවේ දී "ඒහි භික්ඛු" (එව මහණ) යයි බුදුරජාණන් වහන්සේ විසින් ආමන්ත්‍රණය කළෙන් එයම ඔහුගේ පැවිදි උපසම්පදාව විය. සසුනෙහි ඉතාමත් සුළු පිරිසකට පමණක් ලැබුණු මෙම 'ඒහි භික්ඛු උපසම්පදාව' ලබන්නන් පෙර සසර පින් කළ අය යයි ධර්මයෙහි සඳහන් වේ. 

පසු කලෙක හුදෙකලාව භාවනා වැඩූ උන්වහන්සේ රහත් භාවය ලබා මේ උදාන වාක්‍යය පවසා තිබේ. 

යො ච පුබ්බෙ පමජ්ජිත්වා - පච්ඡා සො නප්පමජ්ජති 
සො ඉමං ලොකං පභාසෙති - අබ්හා මුත්තොව චන්දිමා
 

යමෙක් මුල දී කුසල් කිරීමෙහි උත්සාහ නො වී සිටි නමුත් පසුව හරි අවබෝධය ලබා කුසලයෙහි උත්සාහ වේ ද, ඔහු වලාකුළුවලින් තොර චන්ද්‍රයා මෙන් බැබලෙන්නේය. (ම.නි.ම.ප අංගුලිමාල සූත්‍රය 516 පිටුව.) 

(මීරිගම ගෝතම ස්ථවිරයන් වහන්සේ විරචිත 'සූත්‍ර පිටකය ඇසුරෙන් බුදුන් වදාළ උපමා' නම් ග්‍රන්ථයෙනි.)

Post a Comment

0 Comments