HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇමසන් ඇලෙක්සා පුංචි ළමයෙකුව අමාරුවේ දාන්න හදලා!

ඇමසන් යාවත්කාලීන කර ඉදිරිපත් කළ නවතම කටහඬ සහායකයා (voice assistant) වූ ඇලෙක්සා 10 හැවිරිදි පුංචි දැරියකට දුෂ්ඨ උපදේශයක් දීලා අමාරුවේ දාන්න හදලා. ඒක සිද්ධවෙලා තියෙන්නේ ඒ දැරිය ඒකත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාගෙන් 'කරන්න අභියෝගයක්' (challenge to do) ඉල්ලීම නිසයි. දැරිය කැමතිවෙලා තියෙනවා, ඇයට කරන්න අසීරු දෙයක් කීවොත් ඒක කරලා පෙන්වන්න. 

ඇලෙක්සා හා එකෝ යන මෙවලම්

ඉතින් අභියෝගය හැටියට ඇලෙක්සා දීලා තියෙන්නේ මොකක් ද දන්නවද? 'පුලුවන් නම් ෆෝන් චාර්ජරය බිත්තියෙ තියෙන විදුලි පේනුවක් තුළට බාගෙට ගහලා, ඒ අතර හිඩැසට කාසියක් රිංගවන්න' යැයි ඇලෙක්සා කියලා තියෙනවා. ඒ දැරියගේ අම්මා, ක්‍රිස්ටීන් ලිවුඩාල් ඇගේ ට්වීටර් පණිවිඩයකින් මේ සිද්ධිය විස්තර කරලා තිබුණා. 'අපි සාමාන්‍යයෙන් කායික අභියෝග දෙනවා, බිම වැතිරිලා කකුලෙ සපත්තුව අල්ලා ගෙන පෙරළෙන්න වගේ දේවල්. එළියෙ වහින හින්දා එයා වෙන එකක් ඉල්ලලා තියෙනවා. එකට තමයි ස්මාට් හඬ සහායකයා, අන්තර් ජාලයෙන් අහුල ගත්තු ඔය අභියෝගය දීලා තියෙන්නෙ. අනේ ඇලෙක්සා ඒක කරන්න එපා!' යැයි ඇය සඳහන් කරලා තියෙනවා. 

එවැනි දෙයකින් සිදු විය හැකි දේ හරිම භයානකයි. දරුණු තුවාල සිදුවෙන්න පුලුවන්. විදුලි සැර වැදීමෙන් ජීවිතය වුනත් අහිමිවෙන්න ඉඩ තියෙනවා. අතේ ඇඟිලි ඔබට අහිමි වෙන්න පුලුවන්. මේ ගැන ඇමරිකානු බලධාරීන් පවා විරෝධය පළ කරලා තියෙනවා. කෙසේ වෙතත් ඇමසන් වහාම මැදිහත් වී එවැනි වරදක් මින් පසු නොවන විදියට ඇලෙක්සාගේ කෘත්‍රිම බුද්ධිය යළි සකස් කරලා තියෙනවා. ඉදිරියේ දී එවැනි දේ සිදු නොවන බවට ඔවුන් සහතික වී තියෙනවා. 

මෙහිදී මට තවත් යමක් කියන්න හිතෙනවා. මිනිසාට යම් ආකාරයකින් හෝ අනතුරක් පරිගණකයේ කෘත්‍රිම බුද්ධිය නිසා සිදුවෙයි කියා සිතා දිවංගත විද්‍යා ලේඛක ඉසාක් ඇසිමෝව් (Isaac Asimov) ඔහුගේ 1942 දී ලියූ විද්‍යා ප්‍රබන්ධය, 'රන්අරවුන්ඩ්' (Runaround) නම් කෙටිකතාවෙන් ඔහු රොබෝටික විද්‍යාවට නියමයන් තුනක් ඉදිරිපත් කළා. ඒවා නම්, 1. රොබෝ කෙනෙක් කිසිවිටෙක කිසිම මිනිසකුට හානි නොකළ යුතුවා පමණක් නොව සිය කිසිම ක්‍රියාවක් තුළින් මිනිසාට හානි සිදු නොවිය යුතුය. 2. රොබෝ කෙනෙකු හැම විට ම මිනිසා දෙන විධාන පිළිපැදිය යුතුය. 3. රොබෝ තමන්ට හානි සිදුවිය හැකි සියලු දෙයින් හා ක්‍රියාවලින් හැම විට ම වැළකී සිටිය යුතුය. ඇසිමෝව් මෙයට පසුව තවත් සංශෝධනයක් එක් කළා. එය මෙසේයි. 'රොබෝ කෙනෙකු කිසිම විටෙක මනුෂ්‍යත්වයට හානි නො කළ යුතු වන අතර රොබෝ‌ සම්බන්ධ කිසිම ක්‍රියාවකින් මනුෂ්‍යත්වයට හානි වීමට ඉඩ නො තැබිය.' 

මෙයින් පෙනී යන්නේ කෘත්‍රිම බුද්ධිය සහිත උපකරණ කිසිවකින් මිනිසාට හානි නොවිය යුතු බවයි. ඒ අනුව කටින් විතරක් වැඩ කරන, ඇලෙක්සා වැනි උපකරණවලින් ද මිනිසාට හානි නොවිය යුතු බවයි. ඇමසන් විතරක් නොවෙයි, ගූගල් ආයතනත් කෘත්‍රිම බුද්ධිය සහිත උපකරණ නිපදවනවා. ඒ හැම එකක් ම මිනිසාට හානිකර නොවීමට වග බලා ගැනීම ඔවුන්ගේ වගකීමක්. මිනිසාත් කිසියම් ආකාරයකින් හෝ එවැනි දෙයින් හානි සිදුවේදෝයි විමසිලිමත් විය යුතුය. 

ඇලෙක්සා ගැනත් තවත් යමක් කිවයුතුය. ඇලෙක්සා (Alexa) කියන්නේ ඇමසන් ආයතනය ඉදිරිපත් කරලා තියෙන අලුත් ම කටහඬ සහායකයා (voice assistant) යි. එය හඬ පදනම් කර ගත් කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වුණු සමස්ත ස්මාර්ට් උපකරණ පද්ධතිය සඳහා ම නිර්මිත කටහඬ සහායකයෙක් කීවොත් වඩාත් නිවැරදියි. ඔබ කතා කරලා කියන හැම දෙයකටම ප්‍රතිචාර දක්වන ඇප් (app) එකක්. ඒ කියන්නේ යෙදවුමක්. ඔබේ කටහඬ හඳුනාගෙන ඒ අනුව දෙන නියෝග අනුව ක්‍රියා කරන්නත් එයට පුලුවන්. එ්ක ඔබේ ස්මාර්ට් ෆෝන් ඒකට හරි පරිගණකයට හරි අන්තර්ජාලයෙන් බා ගෙන පාවිච්චි කරන්න පුලුවන්. ඒත් එක වෙන ම උපකරණයකට යොදා ගෙන පාවිච්චි කරන්නයි ඇමසන් සැලසුම් කරලා තියෙන්නෙ. ගෝලාකාර හෝ සිලින්ඩරාකාර හෝ හැඩයක් ඇති ඒ කුඩා උපකරණය හැඳින්වෙන්නේ 'එකෝ' හරි 'ඇලෙක්සා' හරි කියලයි. 

ඇලෙක්සා ගැන ඇමසන් කියන කතාව පහත වීඩියෝවෙන් 

ඇලෙක්සාත්  එක්තරා විදියක රොබොට්ටෙක්. හොමිනිඩ් වගේ මිනිස් හැඩරුවක් නැති නිසා මෙවලමක් කියන එකයි වඩා හරි. ඔබ කතා කරලා ඔබේ කටහඬ ඒක හඳුනා ගත්තට පස්සේ ඔබට පුලුවන් ඒක සමග කතා බහේ යෙදෙන්න. ප්‍රශ්නයක් ඇහුවොත් ඊට උත්තර දෙනවා. ඔබ වැඩක් පැවරුවොත් ඒක කරන්නත් පුලුවන්. උදාහරණයක් වශයෙන් ඔබ කීවොත් කිසියම් වෙලාවකට ඔබව ඇහැරවන්න කියලා, ඒක කරන්න පුලුවන්. ඔබේ දෛනික රාජකාරි ලැයිස්තුව උදේට කීවොත් මතක තියාගෙන ඉඳලා නියමිත වෙලාවට ඒක මතක් කරන්නත් පුලුවන්. නොදන්න දෙයක් ඇහුවොත් ඒකත් කියලා දෙන්න පුලුවන්. මේ උපකරණයට ගෙදරදොර සිදුවන සියලු ශබ්දවලට සවන් දිය හැකියි. එසේ සවන් දෙමින් තමන්ට එක් විය හැකි හැමවිටකම ඊට ප්‍රතිචාර දැක්විය හැකියි. 

ඇලෙක්සාට සංගීතය වාදන කරන්නත්, තොරතුරු සන්නිවේදනය කරන්නත්, ප්‍රවෘත්ති සපයන්නත්, ක්‍රීඩා තොරතුරු ලබා දෙන්නත් පුලුවන්, මෙවැනි කෘත්‍රිම බුද්ධියෙන් යුතු මෙවලම් වර්තමාන ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒවා හානි නොවන අයුරින් යොදා ගැනීම හැම කෙනෙකෙුගේ ම වගකීමක්. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments