HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිස් සිරුර ගැන කළ අසිරිමත් සොයා ගැනීමක්!

ලොව පුරා විද්‍යාඥයෝ අප මෙ‍ෙතක් නුදුටු තැන් සොයමින් සිටිති. මේ ලියන මොහොතේ දීත් සක්වළ ඇති දේ සොයන්නට දැවැන්ත අභ්‍යවකාශ දුරේක්ෂයක් පෘථිවියේ ඈත කක්ෂයක් බලා යමින් සිටියි. එහෙත් තවමත් අපට නොපෙනුනු දෑ කොතෙකුත් වෙත් ද? කන්නාඩියෙන් හැමදාම මුහුණු බලන අප මෙතෙක් නුදුටු දෙයක් කම්මුල අසලින් සොයා ගැනීමට ස්විට්සර්ලන්ත බැසල් (Basel) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් වී සිටිති. 


නව වායසාභ පේශී ස්තරය පිහිටා ඇකි ආකාරය - ගැඹුරු (D= deep layer) හා සලස්ථ හෙවත් පෘෂ්ඨීය (S= superficial layer) ස්තර දෙක සහ වායසාභ ස්තරය (C= coronoid layer)

මේ සොයා ගැනීම දුර්ලභ ගණයේ මැණිකක් සොයා ගැනීම බඳු අසිරිමත් දෙයකි. මෙය අන් කිසිවක් නොව අපේ හක්ක අස්සේ සැඟ වී සිටි කුඩා මාංශ පේශියකි. සිරුරේ සිතියමෙහි ලකුණු කර නැති, මෙතෙක් නමක් යොදා නැති, මෙය මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇත්තේ අ‌පේ සිරුරේ හනුව ආශ්‍රිත කොටසෙහි පේශීන් දෙකක් අතර හැංගිමුත්තන් කරමින් සිටි නිසාය. මෙය මුහුණෙහි හකුපාඩාවට බද්ධව, හැපීම සඳහා යටි හනුව මෙහෙවන චර්වණියට (masseter) අයත් සුවිශේෂ පේශියකි. 

නවීන ව්‍යවචේඡේද විද්‍යා පෙළ පොත්වල චර්වණියට අයත් පේශී ස්තර දෙකක් ගැන සඳහන් වෙයි. ඒ ගැඹුරු (D= deep layer) හා සලස්ථ හෙවත් පෘෂ්ඨීය (S= superficial layer) ස්තර වශයෙනි. 'කෙසේ වෙතත් ඇතැම් පැරණි ‌පොතක මෙහි තුන්වන ස්තරයක් තිබිය හැකි බවක් සඳහන්ව තිබුණත් එහි පිහිටීම ස්ථිරව තහවුරු කර තිබුණේ නැතැ'යි මෙම නව සිරුරු කොටස අලුතින් සොයා ගැනීමට මුල් වූ ස්විට්සර්ලන්ත බැසල් (Basel) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවෙහි සඳහන් කර තිබේ. එය දෙසැම්බර් 2 වැනිදා පළ වූ Annals of Anatomy ජර්නලයෙහි අන්තර්ජාලයට ඇතුළත් කර තිබේ. 

පැරණි ඓතිහාසික ලේඛනවල අනුමාන කර තිබූ නිසා ප්‍රායෝගිකව ඒ ගැන සොයන්නට බැසල් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය සිල්වියා මෙසෙයි (Dr Szilvia Mezey) තීරණය කළ අතර ඇය සිය පර්යේෂණය ආරම්භ කළේ එහි රසායනාගරයට පරිත්‍යාග කළ මළ සිරුරුවල හිස් 12කිනි. ඒවායේ චර්වණියෙහි ඇති සලස්ථ පේශී ස්තරය ඉවත් කළ පසු චර්වණියෙහි ගැඹුරු පේශී ස්තරය හමු විය. මේ පේශිය ඇයට හමු වී ඇත්තේ චර්වණියෙහි යට ම ස්තරයෙහිය. 

මේ නව පේශිය විද්‍යාඥයන් විසින් නම් කර ඇත්තේ චර්වණියෙහි වායසාභ කොටස (coronoid part of the masseter) කියාය. කෑම විකන අවස්ථාවේ දී හනුව පසුපසට අත තබා තද කිරීමෙන් ඒ පේශිය ඔබේ ඇඟිලිවලට දැනෙනු ඇත. මේ පේශියෙහි පිහිටීම හා හනුව ක්‍රියා කිරීමට උපකාර වීම, පැහැදිලිවම චර්වණියෙහි අනිත් පේශී ස්තර දෙකට ම වඩා වෙනස් යැයි මෙසෙයි මහත්මිය කියයි. 'මෙහි පේශී තන්තූන් පිහිටා ඇති ආකාරය අනුව චර්වණියෙහි ඇති පේශී ස්තර අතරින් හනුව පසුපසට - කන දෙසට අදින්නට උදවු කරන්නේ මේ සුවිශේෂී පේශී ස්තරය බව පැහැදිලි වුණා.' ඇය සිය ලේඛනයෙහි සඳහන් කරන්නීය. 

මේ ගැන සඳහන් කරන එම විශ්ව විද්‍යාලයෙහි දන්ත වෛද්‍ය අංශයෙහි මහාචාර්ය ජෙනස් ක්‍රිස්ටෝප් ටර්ප් (Jens Christoph Türp) පවසන්නේ මෙවන් අදහසකි. 'මේ පැහැදිලි කිරීම් අනුව අපට චර්වණියෙහි ව්‍යුහය ගැන යළිත් වරක් සම්පූර්ණයෙන් ම විමසා බැලීමක් කළයුතු වෙනවා. වසර 100ක් තිස්සේ ම ලෝකයේ ව්‍යවචේඡේද පර්යේෂකයන් මෙය හෙළිදරවු නොකිරීම පුදුමයට කරුණක්. අපේ මේ සොයා ගැනීම සත්ත්ව විද්‍යාඥයන් විසින් නව පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂයක් සොයා ගත්තා හා සමානයි.' කියා ය. 

    - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments