HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බ්‍රහස්පතීගේ ගැනිමිඩ් චන්ද්‍රයාගෙන් අද්භූත හඬක්!

පසුගිය ජූනි මාසේ 7 වැනිදා ජූනෝ අභ්‍යවකාශ යානය බ්‍රහස්පතීට අයත් චන්ද්‍රයන් ගෙන් ලොකුම චන්ද්‍රයා වූ ගැනිමිඩ් චන්ද්‍රයා අසලින් ගමන් කරද්දී එයට හසුකර ගත හැකිව තියෙනවා, ගැනිමිඩ් වෙතින් කිසියම් අත්භූත ශබ්දයක් නිකුත් වෙනවා. කුතුහලය දනවනසුලු මේ ශබ්දය ඔබටත් අසන්නට දැන් පුලුවන්. 

වසර 5ක දිගු ගමනකින් 2016 දී බ්‍රහස්පති කක්ෂකයට ළඟා වූ 
සූර්ය බලයෙන් ක්‍රියා කරන ජූනෝ යානය (සිත්තර‍ෙකු ඇඳි දසුනකි.)

නාසා ආයතනය විසින් යවන ලද මේ ජූනෝ යානය ගැනිමිඩ් පෘෂ්ඨයට සැතැපුම් 645ක් (කි.මී. 1,038ක්) දුරින් යද්දී තමයි, මේ අමුතු ශබ්දය ඊට අසන්ට ලැබුණේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති චන්ද්‍රයන් අතරින් තමන්ගේ ම චුම්භක ක්ෂේත්‍රයක් ඇති එකම චන්ද්‍රයා ගැනිමිඩ් තමයි. සැ. 3,280ක (කි.මී. 5,262ක) විෂ්කම්භයක් ඇති ගැනිමිඩ් බුද ග්‍රහයාටත් විතරක් නෙවෙයි, කුරු ග්‍රහයකු ලෙස සැලකෙන ප්ලූටෝටත් වඩා විශාලයි. ජූනි 7 වැනිදා ගැනිමිඩ් චන්ද්‍රයා ආසන්නයෙන් ජූනෝ යානය යන්නට ප්‍රථම 2000 මැයි මාසයේ නාසා ආයතනය යැවූ ගැලීලියෝ යානයත් ඒ චන්ද්‍රයා අසලින් ගමන් කර තිබෙනවා. ඒත් මේ තමයි මිනිසා යැවූ යානයක් ගැනිමිඩ්ට වඩාත් සමීපයෙන් ගිය අවස්ථාව වන්නේ. 

ජූනෝ යානය ජූනි 7 වැනිදා ගැනිමිඩ් චන්ද්‍රයා අසලින් යද්දී ගත් ඡායාරූපයක්.

ජූනෝ අභ්‍යවකාශ යානය ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් ගුවන්ගත කරන ලද්දේ 2011 අගෝස්තු මාසයේ දී බ්‍රහස්පති ග්‍රහයා එහි කක්ෂයක සිට නිරීක්ෂණය කරන්නයි. වසර පහක් තිස්සේ ගිය ගමනකින් පසු එය බ්‍රහස්පති වෙත ළඟා වූයේ 2016 ජූලි මාසයේ 4 වැනිදායි. ජූනෝ යානය මෙසේ යන්නේ පැ. සැ. 41, 600ක (පැ.කී.මී. 67,000) වේගයෙන්. ඒ යානයට මේ අමුතු හඬ අසන්නට ලැබී තියෙන්නේ 34 වැනි වතාවට බ්‍රහස්පති ග්‍රහයා වටා යද්දියි. 

ජූනි 7 වැනිදා ගැනිමිඩ් චන්ද්‍රයාට වඩාත් ආසන්න වෙමින් යද්දී ඇසුණු මේ ගුප්ත ශබ්ද ජූනෝ යානයේ තිබූ තරංග නිරීක්ෂක උපකරණ මගින් හසුකර ගනු ලැබුවා. බ්‍රහස්පති ග්‍රහයා‍ගේ චුම්බකගෝලයේ දැවැන්ත චුම්බක ක්ෂේත්‍රයෙන් නිකුත්වන විද්යුත් හා චුම්බක තරංග හඳුනාගැනීම සඳහා සුසර කර තිබූ ඒ තරංග නිරීක්ෂක උපකරණවලින් තමයි, ගැනිමිඩ් චන්ද්‍රයාගෙන් නිකුත් වූ අද්භූත ශබ්ද හසුකර ගනු ලැබුවේ. 

වීඩියෝව 1 - ගැනිමිඩ් පසුකර යද්දී ජූනෝ යානයට ඇසුණු අද්භූත හඬට සවන් දෙන්න 

ජූනෝ ගැනිමිඩ් අසලින් යද්දී අසන්නට ලැබුණු මේ අමුතු ශබ්දය පිළිබඳ දත්ත පෘථිවියට එවනු ලැබුවා. එහි තරංග ආයාමය වෙනස් කර ශබ්ද තරංග හඳුනා ගැනීමට හැකි වන පරිදි සකසාගෙනයි මේ කටයුත්ත ඉටු කරනු ලැබුවේ. ඒ දත්ත තුළින් ඒ ශබ්ද විශ්ලේෂණය කර විද්‍යාඥන් විසින් තත්පර 50ක හඬ පටයක් ප්‍රති නිර්මාණය කරලා තියෙනවා. ඒ හඬ තමයි, දැන් ඔබට අසන්නට ලැබී තියෙන්නේ. නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ විද්‍යාඥයන් තමයි, මේ හපන්කම කරලා තියෙන්නේ. මේක ඇමරිකන් භූභෞතික සංගමයේ විශේෂ රැස්වීමක දී එළි දක්වනු ලැබුවා. 

'මේ ශබ්ද පටය හොඳටම ප්‍රමාණවත් ඔබට ජූනෝ යානයේ යන විට ඇසෙන ඒ අද්භූත හඬ අසා ඇති වන මවිතය විඳ ගන්නට' යැයි සැන්ට් ඇන්ටෝනියෝහි පිහිටි සවුත්වෙස්ට් පර්යේෂණායතනයේ ප්‍රධාන ජූනෝ පර්යේෂක ස්කොට් බෝල්ටන් කියනවා. 

2021 නොවැම්බර් 29 වැනිදා ජූනෝ 38 වන වතාවට ඒ වටා යද්දී ගත් මේ ඡායාරූපය බ්‍රහස්පතීගේ බමනය වන යෝධ කුණාටු දෙක දැක්වෙන්නකි.

'හොඳ අවධානයකින් ඇසුවොත් ඔබට මේ හඬ පටය මැද දී එක්වරම හඬ වැඩි වී යන අයුරු ඇසේවි. ඒ අවස්ථාවේ දී ජූනෝ යානය ගැනිමිඩ්ගේ චුම්බකගෝලයේ වෙනස් වන කලාපයකට ඇතුළු වන බව පැහැදිලි වෙනවා.' බෝල්ටන් වැඩිදුරටත් කියනවා. 

මේ දත්ත තවදුරටත් විද්‍යාඥයන් අතින් විශ්ලේෂණය කෙරෙනවා. එහි ඇති සමහර අමුතු ශබ්ද විකේතනය කරන්නට සිදුවනු ඇතැයි විද්‍යාඥයන් කියනවා. 

'මෙහි මැද දී ශබ්ද තරංගවල ආයාමය වෙනස් වෙන්නේ ගැනිමිඩ් ග්‍රහයාගේ දවල් කාලය ඇති කොටසෙන් රාත්‍රි කාලය ඇති කොටසට මාරුවන විට විය හැකි' යැයි අයෝවා විශ්ව විද්‍යාලයේ විලියම් කුර්ත් කියනවා. ඔහු මේ ශබ්ද තරංග විමර්ශන ව්‍යාපෘතියේ සම පර්යේෂකවරයායි. 

බ්‍රහස්පතිගේ ප්‍රධාන ධූලි වළලුවල මේ පිළිබිඹුව ගනු ලැබුවේ ජූනෝ යානය බ්‍රහස්පති හා විකිරණ පටිය අතරින් යද්දීයි. ඒ 36 වන වතාවට බ්‍රහස්පති වටා යන අවස්ථාවේදී 2021 සැප්. 2 වැනිදායි. මෙහි එක් පික්සලයකින් කි.මී 32කක පරාසයක් දැක්වෙයි.


බ්‍රහස්පතිගේ මේ චුම්බක ක්ෂේත්‍රය දැක්වෙන සිතියම නිර්මාණය කර ඇත්තේ ජූනෝගෙන් ලද දත්ත අනුවයි. එහි යෝධ නිල් ලපය ද මෙහි දැකගත හැකියි.


බෝල්ටන් කියන්නේ මින් පෙර යැවීමට නොහැකි වූ ආකාරයේ නවීන සංවේදක උපකරණ රැසක් මේ ජූනෝ යානය තුළ ඇති බවයි. ඒවා මගින් බ්‍රහස්පති ග්‍රහයා සහ එහි ගැනිමිඩ් චන්ද්‍රයා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි දත්ත විශාල ප්‍රමාණයක් දැනටමත් පෘථිවියට එවා තියෙනවා. ඒ තොරතුරු විද්‍යාඥයන් තවමත් අධ්‍යයනය කරමින් සිටිනවා. 

ගැනිමිඩ් චන්ද්‍රයා මතුපිට හිම වැස්මත්, එහි ඇති දීප්තිමත් දාර සේ පෙනෙන කඳු වැටි, පැ අඳුරු අගාධ විවරයන් ආදියෙන් සමන්විත වෙනවා. මේ පැළුම් විවර ඒ චන්ද්‍රයා අතීතයේ දී මුහුණ දුන් දරුණු කැළඹීම් වල තරම කෙබඳුදැයි සිතා ගත හැකියි. 

මේ ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ (වමේ) පෘථිවියේ බෝල්ටික් මුහුදේ ස්වීඩනයත් පින්ලන්තයත් අතර 2019 අප්‍රේල් 14 වැනිදා මතුවී තිබුණු ශාක ප්ලවාංග හා (දකුණේ) ජූනෝ එවූ බ්‍රහස්පතිගේ වායුගෝලයේ කුණාටු වලාකුළුවල ස්වභාවයයි.

'ගැනිමිඩ්ගේ හිම තට්ටුවෙහි සුදු සහ අඳුරු පැහැ කොටස් දැක ගන්න පුලුවන්. එහි සුදු කොටස්වල ඇත්තේ මිදුණු පිරිසිදු ජලය බවත්, අඳුරු කොටස්වල ඇත්තේ අපිරිසිදු ජලය ඇති හිම කොටස් බවත් කිවහැකි' යැයි බෝල්ටන් කියනවා. පසුගිය සති අන්තයේ ජූනෝ කණ්ඩායම බ්‍රහස්පතිගේ දූවිලි වළලුවල අලුත් සේයා රුවක් නිකුත් කළා. එය ගන්නා ලද්දේ බ්‍රහස්පතී වටා ගිය 36 වන වතාවේදි, මේ වසරේ සැප්තැම්බර් 2 වැනිදායි. ඒ සමඟ පර්යේෂකයන් බ්‍රහස්පතීගේ චුම්බක ක්ෂේත්‍රයේ සිතියමක් ද ඉදිරිපත් කළා. ඒ සඳහා තොරතුරු ලබා ගෙන ඇත්තේ ජූනෝ කක්ෂගත ගමන් වාර 32කක එවූ දත්ත උපයෝගී කර ගෙනයි. එහි බ්‍රහස්පතිගේ මහා නිල් ලපය ද දක්වා තියෙනවා. 

වීඩියෝව 2 - බ්‍රහස්පති ග්‍රහයාගේ මේ දර්ශන හබල් දුරේක්ෂයෙන් ගත් ඒවායි 

ජූනෝගෙන් ලද තොරතුරු පෘථිවියේ දත්ත හා සැසඳීමක් ද විද්‍යාඥයන් විසින් කර තිබෙනවා. බ්‍රහස්පති ගේ ද්‍රැවවල ඇති කැළඹීම්වල රටා පෘථිවියේ සාගර කුණාටුවල රටා හා ඇති සමානකම් ඔවුන් විසින් පෙන්වා දී තියෙනවා. 

මේ විධියට ඉදිරියේදිත් අපට තොරතුරු ලැබේවි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හා චන්ද්‍රයන්ගේ බොහෝ රහස් විද්‍යාඥයන් හෙළිදරවු කර ගනීවි. බ්‍රහස්පතී අපට වඩා දැවැන්ත එකක් වුනත් අපේ පෘථිවියේ සම්භවය ගැනත් අපට මේ මගින් අනාගතයේ බොහෝ දේ ඉගෙන ගත හැකි වේවි. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments