HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැමරා ලෝකයේ ලොකුම පෙරළිය මෙන්න!

සිනා වෙන්න! ඡායාරූපයක් ගන්න. ලුණු කැටයක් තරම් කාචයක් සහිත අන්වීක්ෂක කැමරාවක් දැන් තනා තියෙනවා. ඒ කාචයක් සාමාන්‍ය දියුණු කැමරා කාචයකට වඩා 500,000 ගුණයක් ප්‍රබලයි. එයින් සම්පූර්ණයෙන් වර්ණයෙන් ඡායාරූප ගත හැකියි. කැමරාවේ ප්‍රමාණය මිලිමීටර් බාගයක් විතර ඇති. එයට ඉතා කුඩා සිලින්ඩරාකාර ප්‍රකාශිත ඇන්ටෙනා (cylindrical optical antennae) මිලියන 1.6ක් ඇති පාර පෘෂ්ඨයක් (metasurface) යොදා තියෙනවා. ඒවායින් හසු කර ගන්නා ආලෝකයන් ඇල්ගොරිතම් ගණිත ක්‍රමය භාවිත කොට රූපවලට පෙරළනවා. මේ කැමරා යොදා ගෙන අති කුඩා රෝබෝලාට තමා අවට වටාපිටාව සංවේදන මගින් හඳුනා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි වෛද්‍යවරුන්ට මිනිස් සිරුර තුළ ඇති ගැටලු සහගත තත්වයක් දැක බලා ගන්න පුලුවන්. 

මේ ඇඟිලි තුඩ මත ඇත්තේ, ලුණු කැටයක් තරම් වූ ඒ ඉතා කුඩා කැමරාවයි.

මේ අති සූක්ෂම ප්‍රකාශික මෙවලම තනා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේත්, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසිනුයි. මින් පෙර මයික්‍රො ප්‍රමාණයේ කැමරාවලින්, සීමිත දෘෂ්ටිපථවල ඡායාරූප ගැනීමේ දී ඇති වන විකෘති හෝ අවුල් සහගත වූ ඡායාරූප නිසා මුහුණපාන්නට වන ගැටලු මේ නව තාක්ෂණයෙන් මඟ හරවා ගන්න අවස්ථාව සැලසෙනවා. 

සම්පූර්ණයෙන් විශාල සාම්ප්‍රදායික කැමරාවක දී සිදුවන්නේ ඒ තුළට එන ආලෝක කිරණ වක්‍ර කළ වීදුරු හෝ ප්ලාස්ටික් කාචයක් මගින් ලබා ගෙන පටලපට කැබැල්ලකට හෝ ඩිජිටල් සංවේදකයක් මතට නාභිගත කර සටහන් කර ගැනීමක්. 

මේ නව ක්‍රමයට සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ අති සූක්ෂම කැමරාව තනා ඇත්තේ පරිගණක විද්‍යාඥයකු වූ ඊදන් ටිසෙන් (Ethan Tseng) ඇතුළු කණ්ඩායමක් විසින්. ඔවුන් මේ සඳහා මිලියන 1.6ක අති සියුම් සිලින්ඩකාර කූරු ඇල්ලූ විශේෂ පාර පෘෂ්ඨයක් නිර්මාණය කළා. ඒ එක කූරක් ප්‍රමාණයෙන් එච්අයිවී වෛරසයක් තරම් ඇති. අ‍පට පියවි ඇහෙන් දැක ගන්න පුලුවන්කමක් නැහැ. ඒවාට ආලෝකයේ හැසිරීම සියුම්ව හා නිවරදිව මැන ගන්න පුලුවන්. මතුපිට මිලිමීටර් 0.5ක් තරම් වන මේ එක කූරක් එහි විශේෂ හැඩය නිසා ඇන්ටෙනාවක් සේ ක්‍රියා කරනවා. 

දැනට පවතින නවීන පන්නයේ අන්වික්ෂ කැමරාවකින් ම ගත් මලක රූපයක් (වමේ), 
නව නිපැයුමක් වන ක්ෂුද්‍ර කාචයෙන් ගත් ඒ මලෙහිම රූපය (දකුණේ)

යාන්ත්‍රිකව ඉගෙනීමට යොදා ගන්නා ඇල්ගොරිතම, ඒ සෑම කූරක් මගින්ම හසුකර ගන්නා ආලෝකය යොදා ගෙන රූපය සකසනවා. මේ දක්වා ලෝකයේ තනා ඇති උසස් ම තත්වයේ ඡායාරූප ලබා දිය හැකි, පුළුල් පරාසයක පූර්ණ වර්ණ ඡායාරූප ගත හැකි, පාර පෘෂ්ඨ කැමරාවකින් ලබා දෙන ඡායාරූපවලට වඩා හුඟාක් දියුණු තත්වයේ විශිෂ්ට ඡායාරූප ලබා දෙන්න මේ ඉතා කුඩා මෙවලමට පුලුවන්. 

කලින් තනනු ලැබූ කැමරාවලින් ඡායාරූප ගැනීමේ දී තිබුණු ප්‍රධාන විකෘති වීම ඇති වූයේ, දෘෂ්ටි පථයේ පවතින සීමා වගේම, සමස්ත පූර්ණ වර්ණාවලියම හසුකර ගැනීමට ඇති ආලෝකය මදිකම වැනි හේතු නිසයි. රූපවාහිනී කැමරාවකින් රූ ගැන්වීමේ දී දෘශ්‍යාලෝකයේ පූර්ණ වර්ණාවලිය ලබා ගැනීම 'RGB' ක්‍රමය කියලයි, හැඳින්වෙන්නේ. එසේ කියන්නේ මූලික වර්ණ වෙන්කර ගැනීමට එහිදී රතු (Red), කොළ (Green) හා නිල් (Blue) පෙරන යොදා ගැනීම නිසයි. මේ ක්‍රමයෙන් ග්‍රහණය කර ගන්නා ඡායාරූප යළි සැකසීමක් සිදු වෙනවා, වර්ණ මුසු කිරීමෙන්. හරියට අපි කුඩා අවදියේ ප්‍රාථමික පන්තිවල දී රතු, කහ, නිල් පාට මුසු කර අනික් පාට හදා ගත්තා වාගේ. 

  
විශාල කර බලන විට ඒ ක්ෂුද්‍ර කාචය පෙනෙන හැටි. 
ආලෝක හසු කර ගන්නේ එහි ඇති සියුම් ඇන්ටෙනා කූරුවලිනි.

මේ නව කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී රාමුව වටේ සුළු බොඳ වී යාමක් සිදු වුවද ඒවා, වර්තන කාච හයක් යොදා ගෙන පූර්ණ කැමරා පද්ධතියකින් ගන්නා ඡායාරූප හා සසඳන විට වඩාත් සුපැහැදිලි යැයි කිව හැකියි. 

එසේ ම මේ නව කැමරාවට ඕනෑම ස්වාභාවික ආලෝක තත්වයක් යටතේ වුවත් ඡායාරූප ගැනීම කළ හැකියි. කලින් පැවති පාරපෘෂ්ඨ කැමරාවලට එහෙම බැහැ. ඒවා මගින් හොඳින් රූ ගන්වන්නට නම්, ශුද්ධ ලේසර් ආලෝකයක් හෝ වෙනත් සංකීරණ ආලෝකකරණ ක්‍රම යොදා ගැනීම අවශ්‍ය වෙනවා. 

‘මෙවැනි සූක්ෂම මයික්‍රෝ ව්‍යුහයන් සහිත ‍මෙවලම් තැනීමේ දී ඒවා සැලසුම් කිරීම හා අපට අවශ්‍ය දේ ඒ ආකාරයෙන් ම කරවා ගැනීමට ඒවා මෙහෙයවීම ලොකු අභියෝගයක්.’ යැයි නිව් ජර්සියේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ඊදන් ටිසෙන් පරිගණක විශේෂඥයා පවසනවා. 

ක්ෂුද්‍ර කාචය යොදා නව තාක්ෂණයෙන් ගත් පලතුරු බඳුනක් (වමේ), දැනට භාවිතයේ ඇති 
කාච හයක් සහිත නවීන පන්නයේ කැමරාවකින් ගත් ඒ පලතුරු බඳුනම (දකුණේ) සසඳා බලන්න.

‘පුළුල් දර්ශන ක්ෂේත්‍ර 'RGB' ක්‍රමයට ග්‍රහණය කර ගැනීමේ විශේෂිත කාර්යය සඳහා තනන මෙවලම අභියෝගාත්මක එකක් වූයේ පාරපෘෂ්ඨය මත ඇති මයික්‍රො ව්‍යුහයන් මිලියන ගණනක් හැසිරවීමට සිදු වීම නිසයි. අනික් අතට එය ප්‍රශස්ත ආකාරයට කරන්නේ කෙසේද යන්න පැහැදිලි අවබෝධයක් අපට තිබුණේ නැත. ඒ ගැටලුව නිරාකරණය ගැනීම සඳහා, වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ දෘෂ්ටික විශේෂඥයකු වූ මහාචාර්ය ෂේන් කෝල්බර්න් (Shane Colburn ) අපට උපකාර කළා. ඔහු ඒ වෙනුවෙන් ඒ කාර්යය විඩම්බනය කළ හැකි ඩිජිටල් මොඩලයක් තැනුවා. එහි දි පාරපෘෂ්ඨය මත වැටෙන රටා හඳුනාගෙන ඡායාරූපයක් නිර්මාණය කිරීම සිදුවෙනවා. ඒ මගින් විවිධ වින්‍යාසන් අත්හදා බලන්නට අවස්ථාව පර්යේෂකයන්ට සලසා දෙනවා. 

මහාචාර්ය ෂේන් කෝල්බර්න් කියන විදියට මෙහි සෑම පෘෂ්ඨයක ම ඇති ඇන්ටෙනා රාශිය කොතරම් විශාලද යත් ඒවා ආලෝකය සමග කරන අන්තර්ක්‍රියා ඉතා සංකීර්ණයි. ඒ නිසා හැම අනුකාරකයක් සඳහා දැවැන්ත මතකයක් හා කාලයක් අවශ්‍ය වෙනවා. 

මේ දෘෂ්‍ය නිර්මාණ භාවිතය අපට අලුත් දෙයක් නොවුනත්, ඉදිරි කෙළවරේ මතුපිට දෘෂ්‍ය තාක්ෂණයත්, පසුපසින් ස්නායු පදනම් කර ගත් සැකසුම් ක්‍රියාවලියක් ඒකට යොදා ගත් පළමු පද්ධතිය මෙයයි. 

මේ පිළිබඳ වීඩියෝව පහතින් බලන්න 

දැන් මේ කණ්ඩායම පර්යේෂණ පවත්වන්නේ ස්මාට් ෆෝනයට මේ නව සොයා ගැනීම එක් කිරීමටයි. ඒ මගින් ජංගම දුරකථන මගින් මෙය වඩාත් ප්‍රායෝගික ය‍ෙදුම් සඳහා, අඩු ආලෝකය ඇති තැන්වල වඩාත් පැහැදිලි පින්තූර ගැනීම, යම් යම් වස්තූන් හඳුනා ගැනීම වැනි භාවිත කිරීමට හැකි වේවි. දැනට කැමරා කාච තුනේ ෆෝනය වෙනුවට මුළු ෆෝනය පසුපසම කාචවලින් පිරුණු එකක් වේවි. 

පර්යේෂකයන් කියන විධියට සාමාන්‍ය කැමරා සවි කළ නොහැකි ඉතා කුඩා රොබොටික මෙවලම්වලට මේ ක්ෂුද්‍ර කාච සවි කළ හැකියි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments