HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උයනක් බේරා ගන්න ගහක් කරකාර බැඳි කතක්!

 ශ්‍රී ලංකාවේ මහනුවර අධිවේගී මාර්ගය තැනීමට යද්දී කපන්න ගිය දුර්ලභ පණු කරඬු ගහක් බේරා ගන්න වන අඩවි නිලධාරිනියක් වූ දේවානි ජයතිලක හා අපේ පරිසරවේදීන් කළ සටන ගැන 'මල් කැකුළු' තුළින් විස්තර සහිතව ගෙනාවා, ඔබට මතක ඇති. ඒ වගේ අධිවේගී මාර්ගයකට අතුරු පිවිසුම් මඟක් තනන්න උයනක් මැදින් පාරක් කපන්න තැනූ උත්සාහයක් වළක්වන්න ඉදිරිපත් වුණු අපූරු කාන්තාවක් ගැන එංගලන්තයෙන් වාර්තා වෙනවා. 

කේට් කනිංහැම් විවාහ වූයේ මේ එල්ඩර් (Elder) ගස සමඟයි.

පරිසර ක්‍රියාකාරිනියක් වන ඇය මේ උයන බේරා ගන්න උද්ඝෝෂණය සඳහා ගිය මුල් දවසේ ම දුටු මේ එල්ඩර් (Elder) ගසට ආදරය කරන්න පටන් ගත්තා. ඊළඟට ඇය කළේ බලධරයන් තනන්න සැලසුම් කළ ඒ මාර්ගයේ තිබූ ඒ පැරණි එල්ඩර් ගස විවාහ කර ගැනීමයි. එයින් උද්ඝෝෂකයන්ට ජවයක් ලැබුණා. ඒ ප්‍රශ්නය කෙරෙහි ලෝක අවධානය යොමුවුණා. උයනට තිබූ උවදුර වළක්වා ගන්න හැකි වුණා. මේ අපූරු විවාහයට දැන් අවුරුදු තුනක් වෙනවා. ඇය තවමත් එය පවත්වාගෙන යනවා. 

විවාහයෙන් පසු ඇය සිය කේට් ක නිංහැම් යන ඇගේ වාසගමත් 
වෙනස් කර ගත්තා, කේට් එල්ඩර් කියලා.

37 හැවිරිදි කේට් කනිංහැම් 2019 වසරේ සැප්තැම්බර් මාසේ තමයි, මර්සේ සයිඩ්හි සෙෆ්ටන්වලදි මේ එල්ඩර් ගහ සමග විවාහ වුණේ. ඒ විවාහයෙන් පසු ඇය සිය කේට් කනිංහැම් යන ඇගේ වාසගමත් වෙනස් කර ගත්තා, 'කේට් එල්ඩර්' කියලා. විවාහය සිදු වුණේ රිම්රෝස් වැලි කන්ට්‍රි පාක්හිදියි. ඇය ශ්‍රවණාබාධිත සිය පුත්‍රයා බලා ගන්නා අතර සතියකට පස් වතාවක් සිය 'සැමියා' බලන්නත් යනවා. මේ විවාහයෙන් පස්සෙ ඇගේ ජීවිතය නව මඟකට යොමුවුණු බවයි ඇය කියන්නේ. කොවිඩ් සමයේ ඇය මේ ගමන් වාර ගණනත් වැඩි කළා. 

විවාහ මංගල්‍යයට ඇය ඇන්දේ ගසක පොත්තකින් සකස් කළ ‌මේ ඇඳුමයි.

වසර තුනකට පෙර පැවති ඒ විවාහ මංගල්‍යයේ දී ඇය පැලඳුවේ ඇගේ සීයා වසර කීපයකට පෙර ඇගේ උපන්දිනයට තෑග්ගක් වශයෙන් දුන් මුදුවක්. එය පැලඳගෙන ඉන්නේ මහත් ආඩම්බරයෙන්. 

කලින් ගුරු සහායිකාවක් වශයෙන් සේවය කළ ඇය මේ 'විවාහය' ගැන මහත්සේ සතුටු වෙනවා. ඇය මෙවරත් නත්තල් සුබපැතුම් පත් යැව්වේ ‘With Winter Wishes, from Mr and Mrs Elder’ කියලා සැමියාගේ නමත් විශේෂයෙන් යොදලා. 

නත්තල් කාලයට මේ 'සැමියා' සරසන්නත් ඇය අමතක කරන්නේ නැහැ

නත්තල් කාලයට මේ  'සැමියා' සරසන්නත් ඇය අමතක කරන්නේ නැහැ. මෙවර බොක්සිං නිවාඩු දිනය (දෙසැම්බර් 26 වැනිදා) සිය සැමියා සමඟ ගත කරන්න ඇය බලාපොරොත්තුව සිටිනවා.  මේ කටයුතුවලට ඇයට ඇගේ පෙම්වතාත් ලොකු උද්‍යෝගයකින් සහය වෙනවා. ඔහු ඇය සමග ගොස් ගහ සරසන්න උදවු වෙනවා. ඇය ගස සිප වැළඳ ගන්නවා පවා සතුටින් බලා සිටිනවා. 

 
විවාහ මංගල්‍යය දා පැවති සාදය

ගහක් සමග කෙරුණු ‌‌කරකාරය ගැන ඇගෙන් අසනවාට ඇය කැමතියි. ඒකෙන් ඇයට ගසක වැදගත්කම, පරිසරය හා දේශගුණය ගැන කියා දෙන්න අවස්ථාවක් ලැබෙනවා. සමහර අය අහනවා, 

"ඔයා ඇත්තට ම ඒ ගහට ආදරය කරනවාද?" කියලා. 

"ඇත්තට ම මම එයාට ආදරෙයි" ඇය ගත් කටට ම කියනවා. 

‌කේට්ගෙ පවුලෙ අයත්, හිතවත් සැම දෙනාමත් ඇයට මෙයට උදවු කරනවා. කේට් කියන්නේ "ගසුත් හරියට අපි වගෙයි, ඔවුන්ට ශක්තිය තියෙනවා සම්බන්ධකම් පවත්වාගෙන යන්න" කියායි. මෙම ගස තමන්ගේ දිවියට ලොකු සවියක් බවත් ඇය තවදුරටත් කියනවා. 

මීට වසර තුනකට පෙර, ලිවර්පූල් වරාය තෙක් යන අධිවේගී මාර්ගයට පිවිසුමක් ලෙස ද්විත්ව මඟක් තැනීමට බලධරයන් සැරසුණා. එය මේ රිම්රෝස් නිම්නයේ පිහිටි උද්‍යානය හරහා ඉදිකරනවාට එරෙහිව ඒ පළාතේ නිවැසියන් උද්ඝෝෂණය කළා. එයින් ඒ කලාපයේ පරිසරය රථවාහනවලින් නික්මෙන දුමෙන් දූෂණ වන බවත්, මෙතෙක් ඔවුන්ගේ  සුවසෙතට හේතු වූ උද්‍යානය ඉවත් කිරීම තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ඔවුන් කියා සිටියා. 

ඔවුන්ගේ සටනට සහය දෙන්නත්, ඊට ලෝක අවධානය දිනා දෙන්නත් තමයි, ඇයට මේ අදහස ඇති වුණේ. මේ සඳහා ඇයට මග පෙන්වූ තවත් කාන්තාවකගේ කතාවක් ගැන ඇය මතක් කරනවා. ඒ මහා පරිමාණයෙන් ගස් කැපීමට එරෙහිවූ මැක්සිකානු කාන්තාවක්. ඇයත් තමා මෙන් ම ගස් හා විවාහ වූ බවත් ඇය කියනවා. 

ඇය ගහට ආදරය කරන තරම පහත වීඩියෝවෙන් නරඹන්න.  ‌

"මේ ගස නිසා මගේ දිවියට නව ජවයක් ලැබුණා. ඒ වගේ ම මගේ කාලගුණය සුරැකීමේ ව්‍යාපාරය ගෙනයාමට ලොකු ශක්තියක් ලැබෙනවා" ඇය වැඩි දුරටත් කියනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments