නස්රුදින් බිරිඳත් සමග ගමනක් ගිහින් ආපසු එන කොට නිවසට හොරු පැනලා ගෙනියන්න පුලුවන් හැම දෙයක් ම ගෙනිහිල්ලා! ගෙදර සම්පූර්ණයෙන් ම වාගේ හිස්වෙලා! ඒ ආරංචිය අහල අහල පහළ අයත් එතැනට රොක් වුණා.
‘ඔයාගෙ තමයි වැරැද්ද’ නස්රුදින්ගේ බිරිඳ කිව්වා. ‘ඔයා හොඳට හොයලා බලන්න එපායැ අපි එළියට යන කොට ගෙදර දොර අගුළු හරියට දාල තියෙනවාද කියලා’
නස්රුදින්ගෙ බිරිඳගෙ කියමන අල්ලගෙන අහල පහළ අයත් නස්රුදින්ට දොස් කියන්න ගත්තා.
‘ඔහෙ යන කොට ජනෙල්වල අගුළු දාලා ගියේ නෑ නේද?’ එකෙක් කිව්වා.
‘මේ වගේ දෙයක් වෙයි කියලා ඔහෙ හිතුවෙ නැද්ද?’ තව එකෙක් ඇහුවා.
’මේ බලන්න මේ අගුල් පරණයි! ඇයි ඒවට අලුත් ඒවා දැම්මෙ නැත්තෙ?’ තුන් වැන්නෙක් ඇහුවා.
‘පොඩ්ඩක් ඉන්න! මං විතරද මේකට දොස් පවරන්න ඉන්නේ? වරද මගේ විතරද?’ නස්රුදින් ඇහුවා.
‘වෙන කාටද දොස් පවරන්න තියෙන්නෙ?’ පිරිස ඇහුවා.
‘ඇයි හොරු!’ නස්රුදින් කිව්වා.
- පර්සි ජයමාන්න
(ළඟදී ම නිකුත් වන අලුත් ම 'නස්රුදින්' කෘතියෙන්. නස්රුදින් පොත් පෙළ ගුණසේන ප්‍රකාශනයක්)
0 Comments