HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නත්තල් අසිරිය යෝධ ඇසක් ගෙන උඩුගුවනට යයි!

නාසායතනයේ නවතම අභ්‍යවකාශ දුරේක්ෂය ඊයේ (දෙසැම්බර් 25) සාර්ථකව උඩුගුවනට යවනු ලැබුවා. ඩොලර් බිලියන 10ක් වැය කොට තැනූ මෙම දුරේක්ෂය රඳවන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන ගණනක් ඈත සූර්ය කක්ෂයකයි. එයින් කියවෙන්නේ මීට කලින් යැවූ, පෘථිවියේ සිට සැතැපුම් 340ක් දුරින් රඳවා ඇති හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් යම් වරදක් සිදුවුවහොත් එය නිවැරදි කරන්නට, අවශ්‍ය සේවා සපයන්නට අපට නොහැකි බවයි. 

ජේම්ස් වෙබ් දුරේක්ෂය උඩුගුවනට ගෙන ගියේ යුරෝපීය අභ්‍යවකාශ 
ආයතනයේ ඒරියන් -5 රොකට්ටුව යොදා ගෙනයි.

නත්තල් අසිරිය (Christmas miracle) යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන මෙම අති නවීන දුරේක්ෂයට ඔවුන් විසින් තබා ඇති නිල නාමය ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝපය (James Webb Space Telescope) යන්නයි. කලින් මෙය උඩුගුවනට යැවීමට සැලසුම් කර තිබුණේ 2007 වසරේදී වුනත් දුරේක්ෂය තැනීමේ දී සිදු වූ ප්‍රමාදයන් නිසා ඒ් නියමිත දිනයට යැවීමට හැකි වුණේ නැහැ. අන්තිමේ දී එය දියත් කෙරුණේ 2021 නත්තල් දවසේදියි. 

මෙතෙක් නොවූ විරූ අංගවලින් සමන්විත මේ දුරේක්ෂය තැනුවේ එක්සත් ජනපදයේ නාසායතනයෙන් වුවත් එය උඩුගුවනට ගෙන ගියේ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට (SPA) අයත් ඒරියන් -5 (Ariane 5) රොකට්ටුව යොදා ගෙනයි. එය උඩු ගුවනට යවනු ලැබුවේ ද ප්‍රංශ ගුයානාවල ඇති යුරෝපීය අභ්‍යැවෙන් වකාශ ආයතනයට අයත් රොකට් චේදිකාවෙනුයි. 

මෙම දුරේක්ෂය තනා නිමකරන ලද්දේ 2016 දී වුවත් ඒ පිළිබඳව බිම දී කරන ලද අත්හදා බැලීම්වල දී ඒ පද්ධතියට අයත් දැවැන්ත සූර්යාවරණය ඉරී ගියා. එය අලුත් වැඩියා කිරීමට තවත් කාලයක් ගත වුණා. ඉන්පසු කොරෝනා වසංගතය එළ‍ෙඹුණා. එයින් තවත් පමා වුණා. 

2021 ඔක්තෝබර් මාසයේ දී ජේම්ස් වෙබ් අයත් කොටස් කොලිබ්‍ර නැවෙන් ප්‍රංශ ගුයානාවට ගෙනෙනු ලැබුවා. කොන්ටේනර්වලින් ගෙනා එහි ප්‍රධාන කොටස් අවසාන වරට එකලස් කළේ ප්‍රංශ ගුයානාවලදියි. එයට ඉන්ධන පිරවීම පටන් ගත්තේ නොවැම්බර් 25 වැනිදායි. නාසායතනය කියන විදියට එයට දින 10ක් ගත වුණා. ඉන්පසු දෙසැම්බර් 11 වැනි සෙනසුරාදා දුරේක්ෂයේ හැකිලූ කොටස් ගුයානා ස්පේස් සෙන්ටර්හිදී ඒරියන්-5 රොකට්ටුව මත සවි කරනු ලැබුවා. දෙසැම්බර් 24 වැනිදා දියත් කරන්න සැලසුම් කළත් සොබාදම් මාතාව ඊට කැමති වුණේ නැහැ. දේශගුණය හරස් වුණ නිසා එය නත්තල් දාට කල් දැමුණා. 

හබ්ල් දුරේක්ෂයේ දර්පණය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ දැවැන්ත දර්පණය

නත්තල් දා එය දියත් කිරීමෙන් මිනිත්තු 28කට පසු දියත් වූ රොකට්ටුවෙන් මිදීමෙන් අනතුරුවයි, ජේම්ස් වෙබ්ගේ විස්මයජනක ගමන පටන් ගත්තේ. 'තනි අභ්‍යවකාශ මෙහෙයුමකදී සිදු කෙරුණ අති සංකීර්ණ පෙළගැස්ම මෙය බවයි' නාසායතනය කියන්නේ. 

මේ දුරේක්ෂය කෙතරම් විශාල ද යත් ඔරිගාමි ඒ ජපන් කඩදාසි කලා රටාවට අනුව නමලයි රොකට්ටුවට තුළට දමාගෙන මේ ගමනට යොදා ගත්තේ. හකුළුවා ගෙන යන මේ දුරේක්ෂයෙහි දැවැන්ත දර්පණ තල ඉබේ ම දිග හැරෙනවා. 

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විෂයාන්තර විද්‍යාඥ මාක් මැකෝරියන් මේ දුරේක්ෂය භාවිත කරමින් දත්ත රැස් කරන්නට වසර 20ක් නොඉවසිල්ලෙන් බලා සිටියා. 'මේකෙදි වැරදීමක් සිදුවේයැයි බියක් මට තිබුණේ නැහැ. ඒ මොකද කීවොත් අපි මේකෙ අඟලක් නෑර හොඳින් පරීක්ෂා කරලා තියෙන හින්දා. මට මගේ ඉංජිනේරු ශිල්පීන් විශ්වාසයි.' ඔහු පවසනවා. 

'දියත් කිරීම ගැන තමයි හැම වෙලාවෙම බයක් තිබ්බෙ. ඒ මොකද අපි මේ දැවැන්ත පිපුරුමක් සමඟ ඉහළ නඟින රොකට්ටුව මත ගෙන යන්න හදන්නේ විශාල වියදමක් දරලා හදලා තියෙන වටිනා දෙයක් නිසා' ඔහු තවදුරටත් කියනවා. 

දියත් කිරීම සැලසුම් කළ විධියට සාර්ථකව සිදුවුනත් බොහෝ තරකා විද්‍යාඥයන් දෙගිඩියාවකින් ඉන්නේ මේ දුරේක්ෂය නියමිත පරිදි සූර්යයාගේ කක්ෂයකට ගිය පසු ඉදිරියේ දී සිදුවීමට නියමිත දේ ගැනයි. ඒ කක්ෂය පිහිටලා තියෙන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියනයක් (16,09,344km) දුරින්. එහි ළඟා වූ පසු, එයට පැවරූ බරපතල රාජකාරියක් තියෙනවා. ඒ තමයි, එතෙක් පොදියක් ව තිබූ එය දිග හැර දැවැන්ත දර්පණ තල, සූර්යාවරණ ආදිය දිග හැර නිසි දිශාවට හැරී ස්ථාන ගත වීමයි. ඒ වගේ ම සූර්යයාගෙන් දැඩි තාපය වළක්වනවා පමණක් මෙහි ඇති අති සංවේදී කැමරා ඇතුළු උපකරණ සිසිල්ව තබා ගැනීමට අවශ්‍ය සිසිලන පද්ධති සකසා ක්‍රියා කරවීමත් පැවරුණු තවත් රාජකාරියක්. මේ සියල්ල මෙහි දී සැලසුම් කර ඇති පරිදි ක්‍රියාවට නැංවීම එහි ඇති පරිගණක පද්ධතියට බාර කටයුත්තක්. මේ සියල්ල සම්පූර්ණ කරන්න මාස 10ක් ගත වෙනවා.

'ඊට පසුවයි, ලොව පුරා සිටින විද්‍යාඥයන්ට එයින් ප්‍රයෝජනය ගෙන විශ්වය පිළිබඳ අපේ අවබෝධය වැඩි කරන්නට මග පෑදෙන්නේ.' නාසායතනය කියනවා. 

මේ දුරේක්ෂයට 'ජේම්ස් වෙබ්' කියා නම් තබා ඇත්තේ නාසායතනයට විශාල මෙහෙයක් කළ දිවංගත ජේම්ස් ඊ. වෙබ් (James E. Webb) සිහිවීම පිණිසයි. ඔහු නාසායතනයේ පරිපාලනය බාර ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වශයෙන් 1961 සිට 1968 දක්වා සේවය කළා. ඇමරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඇරඹූ මිනිසා හඳට ගෙන ගිය ඇපොලෝ වැඩ සටහන ක්‍රියාත්මක වූයේ ඔහුගේ පාලන සමයේයි. ඔහු එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කළා. නීල් ආම්ස්ට්‍රෝං හඳ මත පා තැබූ වසරට පෙර වසරේදී විශ්‍රාම ගිය ඔහු 85 හැවිරිදි වියේ දී මිය ගියා. ඒ 1992 දියි. ඔහුගේ නම තැබීම ගැන බලවත් විරෝධයක් පැන නැඟුණා. ඔහු සමලිංගික භීතිකාවකින් පෙළුණ අයකු ලෙස චෝදනාවක් එල්ල වුණා, ඔහුගේ සේවා කාලය තුළ 1963 දී සේවයෙන් පහ කළ තරුණයකුගෙන්. තමා සමලිංගිකයකු යැයි චෝදනා කොට සේවයෙන් පහ කළා යැයි තරුණයා චෝදනා එල්ල කළේ ඔහුගේ මරණයෙන් පසුවයි. චෝදනා ලැබූ ජේම්ස් වෙබ්ගේ නම දුරේක්ෂයට යොදනවාට ආ විරෝධය ප්‍රතික්ෂේප කළ නාසායතනය එ් නම ස්ථිර කළා. 

හබ්ල් දුරේක්ෂය හා ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයෙහි පිහිටන ආකාරය.

මේ ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝපය මූලික වශයෙන් අධෝරක්ත කිරණ (infrared telescope) භාවිත දුරේක්ෂකයකි. මෙයට හබ්ල් දුරේක්ෂයට වඩා පුළුල් පරාසයක් හසුකර ගත හැකියි. පෘථිවි කක්ෂයට ඈතින් සූර්යයාගේ කක්ෂයක ගමන් කරන නිසා මෙතෙක් නුදුටු දෘෂ්ටි පථයක් ලබා ගත හැකි වෙනවා. 

මැකෝරියන් කියන විධියට මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හැකියාව තියෙනවා අපට පෙනෙන වස්තූන් සමීප කර දක්වන්න. ඊට ප්‍රධාන හේතුව මේ දුරේක්ෂය සෙන්ටිග්‍රේඩ් අංශක -250ක ශීතල එකක් වීමයි. ඒ නිසා අධෝරක්ත කිරණ නිකුත් කරන්නේ ඉතාමත් අඩුවෙන් වන නිසා තාරකා විද්‍යාඥයන්ට ඒ ගැන බිය වීමට දෙයක් නැහැ, 

වෙබ් දුරේක්ෂයට හබ්ල් දුරේක්ෂයට මෙන් දස ගුණයක් පැහැදිලිව හා සිය ගුණයක් ගැඹුරට පින්තූර ගන්න පුළුවන්. හබ්ල් රඳවා ඇත්තේ පෘථිවියේ සිට සැ. 340ක් ඉහළ කක්ෂයකයි. වෙබ් දුරේක්ෂය රඳවා ඇත්තේ පෘථිවියේ සිට සැතැපුම් මිලියනයක් ඈතින්. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කරනු වීඩියෝවෙන් නරඹන්න. 

ඔහියෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිසැකවම වසර පහක් යන්නට මත්තෙන් අප මෙතෙක් නො ගිය දුරක් යමින්, සක්වළ ජීවීන් ඇත්නම් ඒ පිළිබඳ මොනම හෝ සලකුණක් සොයා දේවි කියලයි. පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වූ කැප්රයිස් පිලිප්ස් ගණනය කර පෙන්වා දෙනවා, සූර්යයාගේ කක්ෂයේ ගමන් වාර කීපයක් ඇතුළත අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වාමන වායු ග්‍රහයන්ගේ යම් ජීවයක් වෙතොත් ඔවුන් නිකුත් කරන ඇමෝනියා හඳුනා ගැනීමට සමත් වේවි කියා. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය 'කාල යන්ත්‍රය'ක් කියාත් හැඳින්වෙනවා. ඒ අනුව අපේ විශ්වයේ අතීත රහස් හෙළිදරවු කර ගන්නත්, අතීතයේ විශ්වයේ පැවති වස්තූන් නිකුත් කළ, තවමත් එමින් පවතින, ආලෝක ධාරා හසුකර ගැනීමටාත් එයට පුලුවන්. ඒ වගේ ම මීට වසර බිලියන 13.5කට පෙර ආදි විශ්වයේ ප්‍රථම ගැලැක්සි සොයා මෙම දුරේක්ෂය මෙහෙයවන්නත් අපට හැකි වේවි. 

ලොව පුරා තාරකා විද්‍යාඥයන් මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය නිසා තම අනාගත වෘත්තීන් බිහි කර ගන්නවා නිසැකයි. මේ වෙබ් දුරේක්ෂය පාවිච්චි කර වසර බිලියන ගණනකට පෙර සිදුවූ 'විශ්වයේ උදාව' (cosmic dawn) දැක ගන්න එක් පර්යේෂක කණ්ඩායමක් බලාපොරොත්තුව සිටිනවා.  ‌

නාසායතනය විසින් මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය සැලසුම් කර ඇත්තේ වසර පහක කාලයකට වුවත් ඔවුන් බලාපොරොත්තු වෙනවා දශකයට හෝ ඊට වැඩි කාලයක් එය සක්‍රියව පවතියි කියා. හබ්ල් දුරේක්ෂය බලාපොරොත්තු වූ කාලයට වඩා දශක කීපයක් සක්‍රියව පැවතුන ආකාරයට මෙයත් දිගු කලක් පවතීවි කියා ඔවුන් කියනවා. හැබැයි හබ්ල් දුරේක්ෂය වගේ මේක බිඳ වැටුණොත් අලුත්වැඩියා කරන්න බැරි තරම් දුරකයි තියෙන්නේ. 

මේ දුරේක්ෂය විශ්වය නිරීක්ෂණය කරන්නේ දෘශ්‍ය ආලෝකයට වඩා තරංග ආයාමයෙන් යුතු ආසන්න අධෝරක්ත කිරණ, මධ්‍යම අධෝරක්ත කිරණ යොදා ගෙනයි. ඒ කාර්යය කරන්නට අලුත්ම තාක්ෂණය යොදා ගෙන නිපදවූ නව නිපැයුම් කීපයක් ම ඊට එක්කර ගෙන තියෙනවා. ඒ අතරට අති නවීන කැමරා, වර්ණාවලී රේඛයන්, සූර්ය රැස්වළලු නිරීක්ෂකයන් ආදිය ඇතුළත් වෙනවා. ඒරියන්-5 රොකට්ටුවත්, එය දියත් කිරීමේ සේවාවටත් අමතරව යුරෝපීය අභ්‍යවකාශ ආයතනය අධෝරක්ත කිරණ මැනීම සඳහා විශේෂ උපකරණ කීපයක් හා එම්ආර්අයි උපකරණයක් සපයා දුන්නා. 

පරීක්ෂණ සඳහා මේ දුරේක්ෂය මගින් මුලින් ම ගන්නා රූප අතරට, හබ්ල් දුරේක්ෂයේ දසුනක්, බ්‍රහස්පතී දසුනක් අයත් වෙනවා. ඉන්පසු පළමු වසරේ නිරීක්ෂණවලින් සියයට 30ක් ඇතුළත් වන්නේ බහිර් ග්‍රහයන් පිළිබඳ සියලු තොරතුරු අධ්‍යයනය කරන වැඩ සටහන් තමයි. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඉදිරියේදී අප මවිත කරන තතු අප වෙත ගෙන ඒවි. සක්වළෙහි අප මෙතෙක් නුදුටු දසුන් පෙන්වාවි. හිරු වටා යමින් ඒ අවට ඇති දේත්, ඈත විශ්වය දෙසත් බැල්ම හෙළමින් අපව විස්මයට පත් කරවනවා සිකුරුයි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments