HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දීය කොදෙවු පිලට සවියක් වූ බාබඩෝස් රාජ්‍යය නව රජයක් වෙයි!

රටක් තවත් රටකට වහල් වී සිටීම වර්තමාන ලෝකයේ පිළිගැනීමට ලක්වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා නාමිකව වත් එසේ සිටීමට කිසිම රටක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි, නිදහස ලබා 55 වසරකට පසු, බ්‍රිතාන්‍ය ජාතික කොඩියේ සෙවණ අතහැර බ්‍රිතාන්‍ය මහරැජනගේ නායකත්වයෙන් මිදී නව කොඩියක් යටතේ බාබඩෝස් රාජ්‍යය පසුගියදා නව රජයක් බවට පත් වුණේ. 

බාබඩෝස් නව ජනරජයේ නව ජාතික කොඩිය හා ඒ දූපත

වසර 200ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් පැවති බාබඩෝස් මුල් යුගයේ වහල් වෙළදාමට ප්‍රසිද්ධව සිටියා. 1966 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා බ්‍රිතාන්‍ය මහරැජනගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් අයත් රටක් ලෙස තිබී පසුගියදා එහි අගනුවර වූ බ්‍රිජ්ටවුන්හිදී පැවති එරට 55 වැනි නිදහස් දිනයේ දී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එතෙක් පැවති මහ රැජිනගේ ආණ්ඩුකාර පදවිය අහෝසිවී ගියා. ඉංග්‍රීසි ජාතික කොඩිය පහත හෙළා නව ජාතික කොඩියක් ද ඔසවනු ලැබුවා. මෙම උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා වූයේ දෙවැනි එළිසැබත් මහ රැජනගේ පුත් චාල්ස් කුමරුයි. 

බාබඩෝස් නව ජනරජ උළෙලට එක් වූ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු (දකුණේ) 
නව ජනපතිනි සැන්ඩ්‍රා මේසන් ආර්යාව හා ලෝක ප්‍රකට පොප් ගායිකා රිහානා 
සමග සර් ගාෆීල්ඩ් සෝබර්ස් (වමේ) උත්සවයට සහභාගිවෙමින්.

එහිදී චාල්ස් කුමරු සිය කථාවේදී මේ කැරිබියානු දූපත (බා‍බඩෝස්) වහල්භාවයේ කුරුරිකමින් පීඩාවට පත් වූ බව පිළිගත්තා පමණක් නොව ‘එය අපේ ඉතිහාසයට නොමැකෙන කැලලක් එක් කළ බවද කීවා. ඒ වගේ ම රටේ පාලනය වෙනස් වුවත් දෙරට අතර සබඳතා නොකඩවා පවතිනු ඇතැයි පැතීමට ද අමතක කළේ නැහැ. දෙවැනි එළිසැබත් මහ රැජන ද නව ජනරජයට අනාගත සතුට, සාමය හා සමෘධිය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් එවා තිබුණා. 

එරට නිදහස් උත්සවයට සමගාමීව පැවති විශේෂ උත්සවයකදී 2018 සිට එරට ආණ්ඩුකාරවරිය සිටි සැන්ඩ්‍රා මේසන් ආර්යාව තමයි නව ජනරජයේ ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නේ. ජනරජයක් බවට පත් වීමේ සැලැස්ම ඇය පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළ අතර තවදුරටත් පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ රැඳී සිටින බව ද කියැවුණා. 

දිවුරුම් දුන් අවස්ථාවේ දී කතා කළ ඇය කීවේ, ‘බාබඩෝස් ජනරජ නෞකාව ඇගේ මංගල ගමන ආරම්හ කළා. ඇයට සියලු කුණාටුවලට සාර්ථකව මුහණ දෙමින්, අපේ රටත්, පුරවැසියනුත්, ඈතින් ඇති ක්ෂිතිජය සහ වෙරළ ඉම කරා ආරක්ෂිතව ගෙන යාමට හැකිවේවා පතමි’ කියායි. ඒ පැතුම ඉටු කර ගන්නට නායකත්වය දෙන කපිතාන්වරිය ඇය ම බැවින් ඇයට එය සාර්ථක කර ගැනීමට හැකි වේවි. 

බාබඩෝස් දූපත එංගලන්තය අල්ලා ගත් පළමු වහල් ජනපදවලින් එකක්. 1627 දී අල්ලා ගන්නා ලද එම දූපත භාවිත කෙරුණේ ඉංග්‍රීසින් සිය පාලනය යටතේ තිබූ අප්‍රිකානු රටවලින් ගෙනා වහලුන් ලවා උක් වගා කිරීමටයි. 1834 දී වහල් භාවය අහෝසි කෙරුණත් රටට නිදහස ලබා දුන්නේ 1966දියි. පසුගිය සතියේ තමයි, සියලු බැමිවලින් මිදී නව ජනරජයක් බවට පත් වුණේ. 

බා‍බඩෝස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බටහිර ඉන්දීය කොදෙවු පිලට සිදු වූ මහ මෙහෙය ‍

මේ පුවත ඔස්සේ බැඳුණු අපට විශේෂ වන තවත් කරුණු කීපයක් ගැන කතා කරන්න හිතුනා. මේ දිනවල බටහිර ඉන්දීය කොදෙවු දූපත් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන බවත් මේ පැවැත්වෙන්නේ ‍දෙවන ටෙස්ට් තරඟය බවත්, පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. 

ඒ කණ්ඩායමට මෙවර නායකත්වය දෙන්නේ බා‍බඩෝස් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ තමයි, ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට් (Kraigg Clairmonte Brathwaite) බා‍බඩෝස් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේත් ඔහුයි. 

ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට් මෑත ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරලයේ දී 
ශ්‍රී ලංකාවට එරෙහිව පනහක් වාර්තා කළ අවස්ථාව.

බටහිර ඉන්දීය කොදෙවු කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් තිබුණාට ඒ නමින් රටක් ලෝක සිතියමේ කොතැනකවත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව නිසා එක්වුණු රටවල් හයක ක්‍රිකට් සංගම් එක්ව පිහිටුවා ගත් ‘ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස්’(Cricket West Indies) කියන ක්‍රිකට් මණ්ඩලීය කණ්ඩායම තමා බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් කණ්ඩායම ලෙස ජාත්‍යන්තර තරඟවලට සහභාගි වන්නේ. අද අපේ රටේ සිටින කණ්ඩායමත් එහෙමයි. වැඩි හරියක් ඉන්නේ බා‍බඩෝස් ක්‍රීඩකයන් තමයි. දැන් නායකයා වූ ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට් විතරක් නොවෙයි, කලින් නායකයා වූ ජේසන් හෝල්ඩර් වගේ කණ්ඩායමේ ඉන්නා කයිල් මේයර්ස්, කේමාර් රෝච්, ජොමෙල් වෝරිකන් ආදී ක්‍රීඩකයනුත් එහෙමයි. වර්තමාන නායක ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට්ගේ අයියා, කාලෝස් බ්‍රැත්වෙයිට් කලින් බාබඩෝස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බටහිර ඉන්දීය කොදෙවු පිලේ විස්සයි විස්ස නායකයා ලෙසත් වරක් කටයුතු කළා. 

වර්තමාන නායක ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට් හා අයියා කාලෝස් බ්‍රැත්වෙයිට්

බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට්වලට බා‍බඩෝස් ක්‍රීඩකයන් බොහෝ දෙනකු එක්වී කීර්තිය ගෙනත් දුන්නා. ජෝර් චැලෙනර්, ජොයෙල් ගානර්, ගෝඩ්න් ග්‍රීනීඩ්ජ්, ඩෙස්මන්ඩ් හේන්ස්, කොන්රඩ් හන්ට්, මැල්කම් මාර්ෂල්, ගාෆීල්ඩ් (ගැරී) සෝබර්ස්, කල්යිඩ් වැල්කොට්, එවර්ටන් වීක්ස් හා ෆ්‍රෑන්ක් වොරල් යන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම බාබඩෝස්වලින් ආ ක්‍රීඩකයන්. ඔවුන්ගෙන් ලෝක ක්‍රිකට්වලට සිදු වූ සේවය අති විශාලයි. 

‘ක්‍රිකට් වෙස්ට් ඉන්ඩීස්’ මණ්ඩලයට අයත් වන්නේ බාබඩෝස්, ගුයානා, ජැමෙයිකා, ලීවර්ඩ් දූපත්, ට්‍රිනිඩෑඩ් හා ටොබාගෝ, වින්වර්ඩ් දූපත් යන වෙනස් රටවල් හයක ක්‍රිකට් සංගම්වල එකතුවකින් සමන්විත පාලන අධිකාරියක්. 

බටහිර ඉන්දීය කොදෙවු හෙවත් වෙස්ට් ඉන්ඩීස් කීවාම ඔය රටවල් හය විතරක් නොවෙයි, තවත් රටවල් නවයක් ඇතුළත් වෙනවා. ඒවා නම් ඇන්ටිගුවා හා බාබුඩා, ද බහමාස්, බෙලිස්, ඩොමිනිකා, ග්‍රෙනෙඩා, හයිට්, මොන්සේරට්, සෙන්ට් කිටීස් හා නෙවිස්, සෙන්ට් වින්සන්ට්, ද ග්‍රෙ‍නඩීන්ස්, සුරිනාම් ආදිය අනෙක් රාජ්‍යවලට අයත් වෙනවා. මුළු බටහිර ඉන්දීය කොදෙවු නමින් හැඳින්වෙන රාජ්‍ය 15 ම ඉංග්‍රීසි කතා කරන රාජ්‍ය වන අතර ඒ අතරට වෙනත් ලොකු රටවලට අනුබැඳි රාජ්‍ය කීපයකුත් ඇතුළත් වෙනවා. ඒ හැරෙන්නට වෙස්ට් ඉන්ඩීස්වලට අයත් රාජ්‍යයක් වන වර්ජින් අයිලන්ඩ්ස් මෙන් ම පුවර්ටෝ රිකෝ රාජ්‍යයත් අයත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. 

බාබඩෝස්වලින් ආ තවත් විශිෂ්ට ක්‍රීඩකයකු වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් සිය ජීවිත කතාව නිකුත් වූ 
මොහොතේ වත්මන් නායක ක්‍රෙග් ‍බ්‍රැත්වෙයිට් හා ඔහුගේ කණ්ඩායම 
හා එක්ව ඔහුට සුබ පැතූ අවස්ථාව.

භෞතික පිහිටීම් අනුව බටහිර ඉන්දීය කොදෙවු දූපත් සමූහය සමන්විත වන්නේ, කියුබානු දූපත් සමූහය, ජැමෙයිකාව, හිස්පැනියෝලාව (හයිටි හා ඩොමිනිකන් ජන රජය) ඇතුළත් ග්‍රේට් ඇන්ටිලීස් හා පුවර්ටෝ රිකෝ සමග වර්ජින් අයිලන්ඩ්ස්, ඇන්ගුයිලා, සෙන්ට් කිටීස් හා නෙවිස්, ඇන්ටිගුවා හා බාපුඩා, මොන්ට්සේරට්, ගෙවිඩෙලූප් යන ලෙසර් ඇන්ටිලීස් ආදි රාජ්‍යවලිනුයි. 

මේ දූපත් සියල්ලම පාහේ සංචාරක ව්‍යාපාරයෙන් තමයි විශාලම ආදායම ලබන්නේ. කොවිඩි නිසා දැන් විශාල ආර්ථික අර්බූදයකට මූණ දීලයි තියෙන්නේ. කැරිබියන් මුහුදේ පිහිටි 7000කට අධික මේ කොදෙවු රැස, සමාජ විද්‍යාඥයන් හා ඉතිහාසඥයන් හඳුන්වන්නේ කැරිබියානු දූපත් කියලයි. ක්‍රිකට් නිසා තමයි, බටහිර ජාතීන් මේ කොදෙවු ‘වෙස්ට් ඉන්ඩීස්’ කියා හඳුන්වන්නේ. ඒ වදනත් යුරෝපීය බලවතුන් දුන් එකක්. ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත රටවල් 100කට අධික ගණනක් ක්‍රිකට් නිසා බටහිර ඉන්දීය කොදෙවු පිලටත් ඔවුන්ගේ ක්‍රිකට්වලටත් ආදරය කරනවා. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments