HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පන්ලක්ෂයක් හරිජනයා බුදුමගට ගෙන ආ අම්බෙඩ්කාර්

බුදු හමුදුරුවන්ගේ කාලයෙන් පසුව මහා පරිමාණයෙන් බුදුදහම වැළඳ ගත් අවස්ථාවක් 1956 දී ඉන්දියාවේ සිදු විය. ඒ 2500 බුද්ධ ජයන්තිය උදාවූ වසරයි. මහත්මා ගාන්ධිගෙන් ඉන්දියාවේ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයකුගේ මැදිහත් වීම නිසයි. ඔහු අන් කිසිවකු නොව 'බාබෂාහීබ්' යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබූ භීම්රාවෝ රාම්ජී අම්බෙඩ්කාර් (Bhimrao Ramji Ambedkar) ය. ඒ එතුමා 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ නාග්පූර්හිදී දෙලක්ෂයක් හරිජනයා සමඟ බුද්ධාගම වැළඳ ගත්තේය.

භීම්රාවෝ රාම්ජී අම්බෙඩ්කාර් මහතා

කුඩා කල සිට ම බුද්ධාගම කෙරෙහි ලැදියාවක් දැක් වූ ඔහු 1950 දී කොළඹ පැවති ලෝක බෞද්ධ සම්මේලනයට ද සහභාගි වූයේ එහි මුල් තැනක් ගනිමිනි. ඉන්පසු ඉන්දියාවේ පූනේහිදී නව බෞද්ධ විහාරයක් විවෘත කරමින් ඔහු තමන් බුදුදහම ගැන පොතක් ලියන බවත් එය අවසන් කළ පසු ඔහු බෞද්ධයකු වන බවත් ප්‍රකාශ කළේය. 1954 දී ඔහු දෙවරක් ම බුරුමයට ගිය ඔහු දෙවන වර එහි ගියේ රැන්ගුන් නගරයේ පැවැත් වූ ලෝක බෞද්ධ සම්මේලනයේ තුන් වන මහා සභාවට සහභාගි වීම සඳහා ය. 

1955 දී ඔහු ඉන්දියාවේ භාරතීය බෞද්ධ මහ සභාව පිහිටුවීය. 1956 දී ඔහු 'බුදුන්වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය' (The Buddha and His Dhamma) නමින් ඉංග්‍රිසි බසින් ලියූ පොත නිම කළේ ය. (ඒ් පොත පළ කරනු ලැබුවේ ඔහුගේ අභාවයෙන් පසුවය.) ඉන්පසු හරිජනයා බුද්ධාගමට හැරවීමේ ව්‍යාපාරයක් අරඹා ඒ පිළිබඳව මහත් උනන්දුවකින් කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2500ක් පිරුණු බුද්ධ ජයන්ති වර්ෂයේ දී´එනම් 1956 ඔක්තෝබර් 14 වැනිදා පන් ලක්ෂයක් හරිජනයා සමඟ බුද්ධාගම වැළඳ ගත්තේය. ඒ වසරේ දෙසැම්බර් 4 වැනිදා එතුමාගේ අභාවය සිදු විය. 

පන් ලක්ෂයක් හරිජනයා සමග බුද්ධාගම වැළඳ ගත් මහෝත්සවයේ දී 
අම්බෙඩ්කාර් මහතා ජනතාව ඇමතූ අවස්ථාව.

ඉන්දියානු කුල සම්මතය අනුව පහත් යැයි සලකනු ලැබූ හය කෝටියක් පමණ වූ හරි(පංචම) ජනයා විසින් තම අසහාය නායකයා ලෙසින් පිළිගනු ලැබූ මෙතුමා උපන්නේ 1893 අප්‍රේල් 14 වැනිදාය. පියා රාම්ජී මලෝජි නම් හරි ජනයෙකි. හින්දු කුලවාදයේ දරුණු පීඩා මැද ඉගෙන ගෙන උසස් තැනකට පත් වීමට ඔහුට හැකි විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ ඉන්දියාවෙහි කුල බේදය නිසා ඉමහත් දුෂ්කරතා හා තාඩන පීඩන මැද ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, මැට්‍රික්‍යුලේශන් විභාගය සමත් වූ ඔහු, ශිෂ්‍යත්වයක් දිනා බොම්බායේ ඇල්පින්ස්ටන් විද්‍යාලයට ඇතුළු වී ඉගෙන ගත්තේ ය. එහි සිටි එකම හීන කුල ශිෂ්‍යයා ඔහු විය. වයස අවුරුදු 19 දී උපාධිය ලැබීය. ඔහු ඉගෙනීමට දැක්වූ දක්ෂතාව නිසා ඔහුගේ ඉදිරි ගමන වැළැක්වීමට කිසිම බලවේගයකට නොහැකි විය. 

ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධි ලැබූ ඔහු ඉන්පසු එංගලන්තයට ගොස් එහි දී අර්ථ ශාස්ත්‍රය සඳහා ආචාර්ය උපාධියක් ලබා ගත් අතර ඒ උපාධිය ලත් ප්‍රථම ඉනිදියානුවා ඔහු විය. ඉන්පසු එහි දී බැරිස්ටර් විභාගයෙන් ද සමත් වූ ඔහු එතෙකින් නො නැවතී< දර්ශන විශාරද උපාධියක් ද නවීන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ද හිමි කර ගත්තේය. ඔහු තරම් විවිධ උපාධි ලත් අයෙක් එකල ඉන්දියාවේ නොවීය. 

ඉන්දියානු ව්‍යවස්ථාව සැකසීමේ කමිටුවේ සභාපති වශයෙන් 
අම්බෙඩ්කාර් මහතා විසින් ඉන්දියානු ව්‍යවස්ථා කෙටුම්පත 
රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාට ඒ කෙටුම්පත පිරිනැමූ අවස්ථාව.

ඔහු සිය ජනතාවගේ විමුක්තිය උදෙසා කැපවෙමින් දේශපාලනයට බැස්සේ ඉන් අනතුරුවය. ඉන්දියාවේ නිදහස් කම්කරු පක්ෂයේ නායකයා වූ ඔහු බොම්බායේ ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරයකු ද විය. ඉන්දියාවට නිදහස ලබා දීමට පැවති සාකච්ඡාවලට ද සහභාගි විය. ඒ් අවස්ථාවේ දී නේරු තුමන්ට ඔහුගේ සහය නො මඳ ව ලැබිණ. නිදහස් ඉන්දියාවේ අභිනව ආණ්ඩු ක්‍රමය සැකසීමේ දී එහි ප්‍රධාන සම්පාදකයකු ලෙස කටයුතු කළේ ය. ඉන්දියාවේ අර්ථ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් මහ බැකුව පිහිටුවීමටත් පුරෝගාමී ඔහු එරට ආදයම් බදු ක්‍රමය දිළින්දන්ට සහන සැලසෙන අයුරින් සැකසීමට ද ඔහු මැදිහත් විය. 

ඔහුගේ කෘතහස්ත භාවය තේරුම් ගත් බ්‍රිතාන්‍ය ඉන්දීය ආණ්ඩුව ඔහුට ප්‍රතිරාජයාගේ විධායක මණ්ඩලයේ අධිකරණ ඇමති ධූරය ද පිරිනැමීය. 1947 නිදහස් ඉන්දියාවේ නේරුතුමන්ගේ ඇමති මණ්ඩලයෙහි අධිකරණ ඇමති පදවිය ද හෙබවීය. එහිදී සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන නීති සම්පාදනය කිරීමට උත්සුක විය. 

එතුමන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථ අතර 'ශුද්‍ර ජනයාගේ සම්භවය' (Orign of Sudra) 'රුපියල පිළිබඳ ගැටලුව' (Problem of the Rupee: Its Origin and Solution), 'පාකිස්ථානය පිළිබඳ චින්තා' (Thoughts on Pakistan) ආදිය කැපී පෙනෙයි. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments