HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පත්‍රවාර්කාකරුවකු දුටු ලෝකය ම හෙල්ලූ විස්මිත හීනය!

මේ දවස්වල මීසාමේරු කියල යමහලක් හෙවත් ගිනි කන්දක් ඉන්දුනීසියාවේ දූපතක විදාරණය වෙනවා. දැනටමත් 13 දෙනෙක් විතර ඒ අනතුරෙන් මියගොස් තියෙනවා. අපේ පැරණි කථාවලත් මහා මේරු කන්දක් ගැන කියනවා ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඒ වගේ ම හින්දු දේවකථාවලත් මහා මේරුවක් ගැන කියනවා. ඒක විශ්වයේ හරි මැද පිහිටි රන් කන්දක්. ලෝකය කැරකෙන්නේ ඒක අක්ෂය කර ගෙනයි. හින්දු කෝවිල්වල ඉහළට විහිදෙන කොතෙන් නිරූපණය වෙන්නෙත් ඒකයි. තවත් මහා මේරුවක් තියෙනවා. ඒ ඉන්දුනීසියානු දූපතක ඇති ගිනිකන්දක්. ඒකට ක්‍රැකටෝවා (Krakatoa) කියලයි, දැන් කියන්නෙ. දැනට 30 වතාවක් විතර ඒ යමහල විදාරණය වුණා. අතීතයේ එහි ලොකු ම පිපිරීම සිදුවුණු වෙලාවෙ ඒ හඬ ලංකාවටත් ඇහුණාලු. 

තවමත් පිපිරෙමින් ඇති ඉන්දුනීසියාවේ මීසාමේරු ගිනි කන්ද ගැන පුවත ඇහුවාම මට මතක් වුණේ පත්තර වාර්තාකාරයකු දැකපු ලෝකය ම හෙල්ලූ විස්මිත හීනයක් ගැන අපූරු කතාවක්. 

ඒක මීට අවුරුදු 138කට ඉස්සර දැකපු හීනයක්. 1883 අගෝස්තු 27 වැනිදා පාන්දර තුනට විතර එඩ්වඩ් සැම්සන්, පත්තර කන්තෝරුවේ කවිච්චියක් උඩ කෙටි නින්දකට වැටුණා. ඔහු වැඩ කළේ ඇමරිකාවේ මැසචුසෙට්ස්වල ‘බොස්ටන් ග්ලෝබ්’ පුවත්පතේ වාර්තාකරුවකු හැටියටයි. එක් වරම එඩ්වඩ් සැම්සන් ඇහැරුණේ මහා භයානක හීනයක් දැකලයි. ඔහු හීනෙන් මහ සයුර මැද අහසේ පාවෙමින් ඉන්නා බවක් ඔහුට පෙනුණා. හදිසියේ ම පහතින් මහා ගිනි කන්දක් පුපුරා ගියා. එයින් නිකුත් වූ ලාවා ගලාගෙන ගොස් ගම්මාන හා ගම්වැසියන් යට කර ගෙන ගියා. 

ඔහු ඒ හීනයෙන් දුටුවේ මහා ගිනි කන්දක් පුපුරා ඇවිත් ඉන්දියානු සාගරයේ ජාවා දූපත අසල පිහිටි ප්‍රාලැප් (Pralape) නම් කුඩා දිවයිනක් එහි වැසියනුත් සමග ගිලගන්නා අයුරුයි. යමහලෙන් වැගිරුණු ගිනි ගෙන දැවෙන ලාවා ලෝ දියටත්, උතුරා නැ‍ගෙන සමුදුරු රළවලටත්, මැදිව දහස් ගණන් වැසියන් මර බියෙන් මහත් විලාප දෙමින් ඒ මේ අත දිව යන අයුරු ඔහු හීනෙන් සවිස්තරව දුටුවා. මඩ රොල්ල අඩි පනහක් පමණ උසට නැඟ ආවා. දරුණු සයුරු රළ අතරට හිර වූ නැව් ඇඹරී විනාශ වී යනු දුටුවා. පොළොව දෙදරුම් කමින් ඒ කුඩා දූපත පුපුරා ගියා. ඉතිරි වු‍ණේ ගිනි කන්දෙන් විහිදුණු ගිනිදැල් හා අහස සිසාරා ගිය අළු වලාව පමණයි. ඉන් ඔහු මහත්සේ කම්පනයට පත් වුණා. ඔහුගේ ගත දහදියෙන් නෑවී ගියා. ඔහුට දැනු‍ණේ තමා ද ඒ ගිනිකන්දේ ලාවාවලට මැදිවුණු සෙයකි. 

ඒ භයානක සිහිනයෙන් අවදි වූ ඔහු සිහි එලවාගෙන තමා දුටු දෙය ඒ පාන්දර ම සවිස්තර වාර්තාවක් ලෙස සටහන් කළා. ලිපියේ ඉහළින් ‘ඉතා වැදගත්!’ කියා ලියා ලිපිය සිය මේසය මත තිබිය දී ම ඔහු ගෙදර ගියේ පසුවදා ඇවිත් කතුතුමාට තමා දුටු සිහිනය ගැන කියා එය ප්‍රබන්ධයක් ලෙස පළ කරන්න යෝජනා කරන්නයි. 

ඒ අතර පුවත්පතේ කතුවරයා සැම්සන් සේවයට එන්නට කලින් පැමිණියේ ඔහු ලියා තිබූ වාර්තාව දැක කියවා බැලුවා. සැම්සන්ට රාත්‍රියේ ලැබුණු තොරතුරක් අනුව ලියූ සත්‍ය වාර්තාවක් යැයි සිතා ග්ලෝබ් කතුවරයා එය කියවා බලා දෙවරක් කල්පනා නොකර යෝධ සිරස්තලයක් යොදා මුල් පිටුව පුරා ම පළ කළා. උදෙන් ම වෙළඳපොළට යවනු ලැබූ බොස්ටන් ග්ලෝබ් පුවත්පත උණු කැවුම් මෙන් විකිණුණා. ඔහු ඒ වාර්තාව ඇසෝසියේටඩ් පුවත් සේවයටත් දුන්නා. 

ඊළඟ මොහොතේ එය මුළු රටපුරා වෙනත් පුවත්පත්වලට ද යැවුණා. මුළු රට ම ඒ පුවතින් කැළඹී ගියා. අනෙක් පුවත්පත් කතුවරුන් ද ඒ ගැන වැඩි විස්තර විමසුවා. ඔහු පළ කළ කරුණුවලට වැඩි දෙයක් කතුවරයා දැනගෙන සිටියේ නැහැ. ඒ කාලේ දැන් වගේ සන්නිවේදන පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ජාවා දිවයින සමග සම්බන්ධකම් පවත්වා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ මදිවාට මේ තොරතුර ලැබුණු හැටි දැන ගන්නට ප්‍රවෘත්තිය ලියූ වාර්තාකරුත් හිටියේ නැහැ. වැඩිදුර විස්තර විමසන අය නිසා කතුවරයා අමාරුවේ වැටලයි, සිටියේ. 

පසුවදා උදේ නැඟිට බලන විට තමා රෑ දුටු සිහිනය සත්‍ය පුවතක් ලෙස තමන්ගේ ම නමින් පුවත්පතේ පළ වි තිබෙනු දැක සැම්සන් බියට පත් වුණා. ඔහු බලාපොරොත්තුව සිටියේ තමා දුටු සිහිනය කතුතුමාට දන්වා අපූරු ප්‍රබන්ධයක් ලෙස පත්‍රයේ පළ කරන්නටයි. එහෙත් සිදු වී ඇත්තේ නොසිතූ දෙයක්. ඔහු වහ වහා කාර්යාලයට ගියේ කතුවරයාට ඒ බව දැන්වීමටයි. ඒ වන විට අනෙක් පත්තරවලත් එය පළ වී තිබුණා. 

කතුවරයා පුස්තකාලයෙන් විමසා සිටියා, ප්‍රාලැප් කියා දිවයිනක් ඉන්දියන් සාගරයේ ජාවා දූපත හරියේ තියෙනවා ද කියා. පුස්තකාලයේ අය සිතියම් පෙරළා බලා එවැන්නක් ලෝකයේ කොහේවත් නැති බවට තහවුරු කළා. කතුවරයා ඉන් බලවත් සේ කෝපයට පත්වුණා. 

ඒ අතරතුර තමයි, සැම්සන් කාර්යාලයට ගොඩවුණේ. ඔහු ගිය ගමන් ම ඒ කලින් දා රාත්‍රියේ කාර්යාලයේ සිටියදී දුටු සිහිනයක් බව කීවා. සිදුවුණු වරද ගැන සමාව ඉල්ලුවාට වැඩක් වුණේ නැහැ. ඔහු ඒ මොහොතේ ම සේවයෙන් පහ කරනු ලැබුවා. 

ග්ලෝබ් කතුවරයා දුන් පුවතින් තමන් අසීරුවට පත් වූ බව කියමින් ඇසෝසියේටඩ් පුවත් සේවය ඒ ගැන ඉහළ පෙළේ විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක් කළා. ග්ලෝබ් කතුවරයාගේ වගකීම් විරහිත භාවය නිසා සිදු වූ අලාභය ගැන යම් කිසිවක් කළයුතු යැයි ඔවුන් කීවා. ඒ පුවත පළ කළ අනෙක් ප්‍රධාන පුවත්පත්වලිනුත් චෝදනා එල්ල වුණා. වෙන කළ හැකි දෙයක් තිඉුණේ නැහැ. ‘බොස්ටන් ග්ලෝබ්’ පුවත්පත වරද පිළිගෙන සමාව ඉල්ලා පුවතක් මුල් පිටුවේ ම පළ කරන්නට තීරණය කළා. අනතුරුව අනෙක් කතුවරුන්ගෙන් එල්ලවන පරිහාසයට මුහුණ දීමට සූදානම් වුණා. 

සො‍බාදහම වැඩට බැස්සේ ඉන් අනතුරුවයි. ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ මුහුදු රළ අසාමාන්‍ය ලෙස ඉහළ යන්න පටන් ගත්තා. ඇතැම් තැන්වලින් උස් උදම් රළ තත්වයක් ඇති වුණා. මුහුද ගොඩ ගැලුවා. ඒ සමග ඉන්දියාකු සාගරයේ මහා ව්‍යසනයක් හට ගෙන ඇති බව කියැවෙන විදුලි පණිවිඩ තැනින් තැනින් ගලා එන්නට පටන් ගත්තා. උදම් රළ ඉන්දියානු සාගරයේ දුපත්වල මිනිස් ජීවිත රැසක් බිලිගෙන ඇති බව ඒවායින් කියැවුණා. ඒ අවට මුහුදේ යාත්‍රා කළ නැව් අතුරුදන් වී ඇති බවත් කියැවුණා. 

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා, ඒ මහා පිපිරීමේ හඬ එහාටත් ඇහුණු බව. ඇමරිකා එක්සත්ජනපදයේ මුහුදු වෙරළ පමණක් නොව, මෙක්සිකෝව හා දකුණු ඇමරිකාවේ වෙරළවලටත් ඒ බලපෑම එල්ල වූ බව දැක්වෙන පණිවිඩ ආවා. 

තත්වය මෙසේ තිබිය දී ඒ ප්‍රදේශයෙන් උපද්‍රවයෙන් ‍ගැලවී ආ නැවක් වාර්තා කළා සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි දූපතක ගිනිකන්දක් පුපුරා ගිය බව. එයින් ඇති වූ කම්පනය තෙවරක් පෘථිවිය වටා ගිය බව භූකම්පන මානවල සටහන් වූ පව කියැවුණා. එවැනි මහා පිපුරුමක් එතෙක් සිදු නොවූ බවත් හෙළිවුණා. 

පසුවදා ඒ පුවත මෙතෙක් ලෝකයේ පළවූ විශිෂ්ටතම ප්‍රවෘත්තිය ලෙස පුවත්පත්වලින් ම හඳුන්වනු ලැබුවා. වාර්තාකරු වහා සේවයට කැඳවනු ලැබුවා. ග්ලෝබ් පුවත්පත සමාව ඉල්ලීම ඉවත් කර වාර්තාකරුගේ පින්තූරයක් පළ කරමින් ඔහුගේ විශිෂ්ට සේවය අගය කළා. ඒත් වාර්තාව ඔහුට ලැබුණු හැටි හෙළි කළේ නැහැ. පසු කලෙක තමයි, ඒ ඔහු දුටු හීනයක් බව කීවේ. ඒ වාර්තාවේ ඇති විස්තරයෙහි ඔහුට වැරදී තිබුණේ ගිනිකන්දේ නම ප්‍රාලැප් පමණක් බවත් කියැවුණා. 

පුදුමය නම් එදා සැම්සන් හීනෙන් දුටුවේ ඔහු නිදා සිටි තැන සිට ලෝක ගෝලයේ අනික් පැත්තේ සිදු වූ දෙයක්. එය සිදුවන මොහ‍ොතේ ම ඔහු එය හීනෙන් දැක තිබීම පුදුමයට කරුණක්. 

ඒත් පුදුමයෙනුත් පුදුමය නම් ඒ නමත් නිවැරදි බව වසර ගණනාවකට පසුව හෙළි වීමයි. ඒ ලන්දේසි ඉතිහාස සංගමය විසින් සැම්සන් වෙත ඔවුන් සතු ඉන්දියානු සාගරයේ පැරණි සිතියමක් එවීමෙන් පසුවයි. ඒ සිතියමෙහි ක්‍රැකටෝවා ගිනි කන්ද හඳුන්වා තිබුණේ එයට ස්වදේශිකයන් කියන නමින්. ඒ තමයි, ප්‍රාලැප්. වසර 150ක් තිස්සේ භාවිත නොකළ ඒ නම සැම්සන් හීනෙන් දැකීම වඩාත් පුදුම සහගතයි.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments