HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕනැම බරක් ඉසිලිය හැකි රෝද හතරේ රොබොට්ටෙක්!

හයිඋන්දායි නම ඔබට නුහුරු නමක් විය නොහැකියි. නොවෙයි. සමහර විට ඔබට ඒ සන්නාමයේ කාරෙකක් ඇති. ඒත් මා කියන්නට යන්නේ කාරෙකක් ගැන නෙවෙයි. ඔබට ඕනැම වැඩක් කර දිය හැකි රොබොට්ටෙක් ගැන පුවතක්, මේ. මේ රොබොට්ටා සැලසුම් කරලා තියෙන්නෙ ඕනෑම දෙයක් පරිස්සමෙන් ඔසවාගෙන යා හැකි විධියටයි. නිදසුනක් වශයෙන් ඕනෑම බරක පාර්සලයක්, බීම පිරවූ වීදුරු 'පිරමීඩයක්', ළදරුවෙක් වුනත්, පරිස්සමෙන් පඩිපෙළක් වැනි මඟකින් වුනත්, ගෙන ගොස් දෙන්නට ‌ මේ රොබොට්ටාට පුලුවන්.

පැතලි හැඩයක් ඇති ඉතාමත් සුහුරු ආකාරයෙන් හැසිරවිය හැකි 
කාර්යක්ෂමතාවෙන් හා ස්ථායිතාවෙන් උසස් රොබොට්ටෙක්.

දකුණු කොරියාවේ පිහිටි හයිඋන්දායි මෝටර් රථ සමාගමේ මොබයිල් එක්සෙන්ට්‍රික් ඩ්‍රොයිඩ් (MobED) ආයතනය තමයි, මේ පැතලි හැඩයක් ඇති ඉතාමත් සුහුරු ආකාරයෙන් හැසිරවිය හැකි කාර්යක්ෂමතාවෙන් හා ස්ථායිතාවෙන් උසස් මේ රොබොට්ටා ගැන ඔවුන් වීඩියෝවක් නිකුත් කර තියෙනවා. 

ඒ ප්‍රචාරක වීඩියෝ පටයේ දැක්වෙන හැටියට ෂැම්පේන් පිර වූ බීම වීදුරුවලින් තැනූ පිරමීඩයක් එක මත්පැන් බිඳුවක්වත් බිම නොවැටී අවශ්‍ය තැනට ගෙන ගොස් දෙන්නට ඒ විස්මිත රොබොට්ටාට පුලුවන්. 

ෂැම්පේන් පිර වූ බීම වීදුරුවලින් තැනූ පිරමීඩයක් 
එක මත්පැන් බිඳුවක්වත් බිම නොවැටී අවශ්‍ය තැනට ගෙන යා හැකිය.

මේ අඟල් 26ක් (67 cm) දිගින් හා පළල අඟල් 23 (60 cm) කින් යුතු උස අඟල් 13ක් (33 cm) රාත්තල් 110 (50kg) ක් බර ඇති බොට්ටාට පහසුවෙන් ම මහලු හා ආබාධිත අයට අවශ්‍ය ඕනෑම සේවයක් ඕනෑම උදවුවක් සපයා දෙන්න පුලුවන්. 2022 ජනවාරියේ දී මෙය පාරිභෝගික ඉලෙක්ට්‍රොනින ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළි දැක්වීමට නියමිතයි. ඒ ප්‍රචාරක වීඩියෝ පටයට අනුව ෂැම්පේන් පිර වූ බීම වීදුරුවලින් තැනූ පිරමීඩයක් නොසොල්වා බාධක උඩින් පදවමින් ගෙන යන හැටි විස්මිතයි. ඒ විතරක් නොවෙයි කන්දක් නඟිමින් දරුවකු පරිස්සමෙන් ගෙන ගිය හැටි වුනත් අදහන්න බැරි තරම් පුදුමයි. 

මෙය සැලසුම් කරලා තියෙන්නේ චතුරස්‍රාකාර පැතැලි තලයක් සහිත වෙන වෙන ම හැසිරවිය හැකි රෝද හතරක් ඇතිවයි. මෙයට මෘදු මතුපිටක විතරක් නොවෙයි, ඕනෑම බොරලු සහිත වළවල් ඇති පාරක වුනත් ගැස්සීමක් නැතිව සීරුවෙන් යන්න පුලුවන්. මෙහි සුළං පුරවන රෝදවල විෂ්කම්භය අඟල් 12ක්. මෙහි වේගය පැ.හැ.18.6 (30kmh) ක්, බැටරි ධාරිතාව 2kWh. ධාවන කාලය පැය 4ක් වෙනවා. 

පැතැලි තලයක් සහිත වෙන වෙන ම හැසිරවිය හැකි 
රෝද හතරක් ඇතිවයි මෙය තනා ඇත්තේ

 'අපි මේ රොබොට්ටාව සැලසුම් කරලා තියෙන්නේ ඕනෑම බර දෙයක් ඔසවා ගෙන යා හැකිවන පරිදියි. 'මොබ්එඩ් වේදිකාව' (MobED platform) කියා හඳුන්වා ඇති මෙය වයසක අයගෙ හැම වැඩක් ම පහසු කරවන ක්‍රමයක්. ගෙදරදොර කටයුතුවලට හුරුබුහුටි රොබොට්ටෙක්' යැයි හයිඋන්දායි මෝටර් ගෲප් හී රොබෝටික පර්යේෂණාගාර ප්‍රධානී ඩොන් ජින් හයුන් කියනවා. 

'අපි මෙහි ඉලක්ක කණ්ඩායම්වල අවශ්‍යතා විමසා බලා මෙය අනාගතයේ දී තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි ඇති ඕනෑම අතකට හැරවිය හැකි රෝද සවි වී ඇති පදනම ගමන් කරන මතුපිට අනුව හැඩගැස්වීමට එහි පරිගණකයට පුලුවන්. තිරිංග යොදා ඇති ආකාරයත් එහි ඇති නව තාක්ෂණයත් ඉතා උසස්.' ඔහු වැඩිදුරටත් කියනවා. මිනිසකුගේ සහය නොමැතිව ඕනෑම දෙයක් සිතා බලා කරන්න මේ රොබොට්ටාට පුලුවන්. 

ප්‍රචාරක වීඩියෝ පටය පහතින් තරඹන්න

තවමත් මෙයට අලෙවි කරන්න මිලක් දමලා නැහැ. වෙළඳ පොළට නිකුත් කෙරෙන දිනයත් නම් කරලා නැහැ. හයිඋන්දායි විතරක් නොවෙයි, ටොයෝටා සහ හොන්ඩා ආයතනත් මේ විධියේ රොබොට්ටන් නිපදවීමට දැනටමත් අත ගහලයි, තියෙන්නෙ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments