HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ ළමයින්ගේ උපාධි සිහිනය බොඳ කරන්න එපා!

ශ්‍රී ලංකාවේ පාසල් ආයිත් පටන් ගත්තා. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳලා ආයිත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තාම ළමයින්ට මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න මෙතෙකැයි කියන්න බැරි තරම්. ඉදිරියේ දී මූණ පාන්නට වන ප්‍රශ්න ළමයින්ට පේන්නෙත් නැහැ. විද්වත් කතිකාවක් හා බුද්ධිමත් විමසුමක් නොමැති නම් වැඩිහිටියන්ට පේන්නෙත් නැහැ. සීත කාමරවල ඉඳන් හිතලු අනුව විසඳුම් දීමෙන් පලක් නැහැ. 

සංඥා ලැබුණු එකම තැන වූ ලුණුගල ප්‍රදේශයේ රක්ෂිතයේ තැනක සිය දියණියට හා 
ඇගේ මිතුරියන්ට අන්තර් ජාල පාඩමක් ඉගෙනීම සඳහා කාන්තාවක් සිය ජංගම දුරකථනය 
අල්ලා ගෙන සිටි අන්දම.

කොවිඩ් -19 නිසා පාසල් වහල තිබුණු කාලෙ අන්තර් ජාලය යොදා ගෙන උගන්වන්න පුලුවන් කියල හිතුවට ඒක ක්‍රියාවට නංවන්න ගියාමයි, රට පුරා ම සිග්නල් නැති බව, ළමයින්ට ඒ පාඩම්වලට එකතු වෙන්න පහසුකම් නැති බව, පෙනුනෙ. ඒ කොයි දේ තිබුණත් ‘ඩේටා’ ගන්න සල්ලි නැත්නම් වැඩේ කොට උඩ. සමාගමකින් ප්‍රචාරය සඳහා ‘ඩේටා’ ශිෂ්‍යත්ව දීමත් ප්‍රමාණවත් විසඳුමක් නෙමෙයි. 

මෙදා පාර අයවැයෙන් මුළු රට ම ආවරණය කරන්න සන්නිවේදන පහසුකම් සපයන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ‘ටැබ්ලට්’ දීලා, පෙළ පොත් ඔක්කොම බාගත කර ගන්න දුන්නා ම, ළමයින් ‘ගොඩ’ කියලා හිතුවට විදුලි බලය නැති වුණාම ඔක්කොම ඉවරයි. මේ ඔක්කොම විසඳුම් ‘ඇති හැකි අය’ටයි. ඒත් රජයක වගකීම ‘නැති බැරි අය’ට විසඳුම් දීමයි. ඒකයි රජයකින් සිදු විය යුත්තේ. ‘සල්ලි නැතිකමට අපට කරන්න දෙයක් නෑ’ කියන ආර්ථික විශේෂඥ ඇමතිවරුන් ඉන්න රජයකින් ඒවා ඉටු වෙයි කියල හිතන්න අමාරුයි. 

ඉල්ලීම දිනා ගැනීමට කෙරුණු ශිෂ්‍ය උද්ඝෝෂණයක්

ඒත් මං අද කතා කරන්න යන්නේ ළමයින්ට තියෙන පොදු ප්‍රශ්න ගැන නෙමෙයි. ඒ ළමයින්ට අනාගතයේ මුහුණ පාන්නට වන ප්‍රශ්නයක් ගැනයි. ඒ අද ළමයින් පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මවන උපාධි සිහිනය ගැනයි. දුප්පත් පවුලක දරුවකුට අම්මලා තාත්තලා නොකා නොබී, ණයතුරුස් වෙමින් උගන්වන්නේ හොඳ රස්සාවක් ලබා දෙන්නයි. ඒ සිහිනයත් උපාධි සිහිනය සමග බැඳුණු එකක්. විශ්ව විද්‍යාල තිය‍ෙන්නේ උසස් අධ්‍යාපනය දෙන්න මිසක් රස්සා දෙන්න නෙමෙයි, කියන අය හිතන්නෙ නැති දෙයක් තමයි, ලොව පුරා ම විශ්ව විද්‍යාලවලින් සිදුවෙන්න වෘත්තීන් සඳහා දරුවන් පෙළ ගැස්වීම බව. අපේ රටේ වුනත් වෛද්‍ය විද්‍යාවට හා ඉංජිනේරු විද්‍යාවට ලොකු ඉල්ලුමක් ඇති වුණේ වෘත්තීය පුහුණුවක් දෙන බව ඒ නමෙහි ම සඳහන් වෙන නිසයි. 

ඒ නිසා පාසල් මට්ටමෙන් ම ළමයින්ගේ කුසලතා හඳුනාගෙන, රටේ වෘත්තීය අවශ්‍යතා හඳුනාගෙන, ඒ වෘත්තීන් සඳහා යොමු කරන විධිමත් වැඩ පිළිවෙළක් ඇති කරන්න ඕනෑ. එවැනි ව්‍යාපෘති වරින්වර ඇති කළත් ඒවා විධිමත්ව සිදු වුණේ නැහැ. වෘත්තීය ඉල්ලුමක් නැති උපාධි සඳහා ළමයින් යොමු කිරීමෙන් වන්නේ ‘රැකියා විරහිත උපාධිධාරීන්’ කියා පිරිසක් බිහි වීමයි. මේවාට විසඳුම් සෙවිය යුත්තේ ළමයින් විශ්ව විද්‍යාලවලට යොමු කිරීමට පෙර, පාසල් මට්ටමේදියි. නැත්නම් සිදු වන්නේ විශ්ව විද්‍යාලයට ගිය පසු දරුවන්ට උපාධි සිහිනය සැබෑ කර ගැනීමට ඇති ගැටලු වැඩි වීමයි. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 15ක් තියෙනවා. වසරකට උසස් පෙළ කරන සිසුන් 350,000ක විතර සංඛ්‍යාවකගෙන් 30,000ක් විතරයි, ඒවාට ඇතුළත් කර ගන්න‍ෙ. ඒ කියන්නේ සියයට 9ක විතර ප්‍රතිශතයක්. ඒ එන අයගෙනුත් සමහර දරුවන්ට විශ්ව විද්‍යාල තුළ දී විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ, සබරගමු අනුබද්ධ විශ්ව විද්‍යාලය පිහිටු වූ මුල් කාලේ ‘දිනමිණ’ පත්‍රයේ දැන්වීමක් දැක ඊට ඇතුළත් වුණු සබරගමු පළාතේ සිසුවකු තම උපාධි සිහිනය බොඳ වීම ගැන තම නොසතුට පළ කළ හැටියි. 

“උපාධිය සිහිනයක් පමණයි 
ලැබෙන දිනයක් නෑ 
එදා දිනමිණ නොබැලුවා නම් 
මෙදා මේ දුක නෑ” 

“අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ....එදා සෙනෙහෙන් නොබැඳුණා නම් - මෙද‍ා වියොවක් නෑ.” යනුවෙන් කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ඒ ජනප්‍රිය ගීය, උපාධිය බලාගෙන විත් එය නොලැබෙන බව දැනගත් පසු ඇති වූ තම සන්තාපය පළ කරන්නට, නිර්මාණශීලීව යොදා ගෙන තිබුණු ආකාරය අපූරුයි! 

1991 වර්ෂයේ දී අනුබද්ධ විශ්ව විද්‍යාල ආරම්භ කරද්දී ඒ මගින් උපාධියක් දීමට තීරණය කර තිබුණේ නැත. ඒ අනුව ඇතුළත් වන සිසුන්ට ලබා දුන්නේ ඩිප්ලෝමාවක් පමණයි. සබරගමුව විශ්ව විද්‍යාලයත් ආරම්භ වුණේ ඒ විධියටයි. විශ්ව විද්‍යාලවල තදබදය මකා ලන්නත්, ඒ ඒ පළාත්වල සිසුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමත් අරමුණු කර ගත් මේ අනුබද්ධ විශ්ව විද්‍යාලවලට ළමයින් බඳවා ගත්තේ පුවත්පත්වල පළ කළ දැන්වීම් මගිනුයි. ප්‍රධාන විශ්ව විද්‍යාලවලට තෝරා නොගන්නා උසස් පෙළ සමත් සිසුන්ට මේ විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කළ හැකි බැව් ප්‍රකාශ කර තිබුණා. 

අනුබද්ධ විශ්ව විද්‍යාල ලබා දුන්නේ විශේෂයෙන් ම ඒ පළාත්වල සිසුන්ටයි. ඉඩකඩ ඇත්නම් අනිත් පළාත්වල අයටත් ඉඩ දුන්නා. ඒ අතින් තවත් අසාධාරණයක් එය ආරම්භයේ දී ම සිදු වුණා. ඒ එහි ඉගැන්වීම සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසියෙන් පමණක් සිදු කිරීමයි. සබරගමුව බොහෝ දුරට පිටිසරබද ප්‍රදේශයක් වූ නිසා එහි අනුබද්ධ විශ්ව විද්‍යාලයට තෝරා ගැනුනු සිසුන්ට ද ආරම්භයේ දී කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාවක් තිබුණ ද බොහෝ සිසුනට ඒ ඉංග්‍රීසි ඉගෙනීම පවා අසීරු වුණා. වානිජ වැනි විෂයයන් ඉංග්‍රීසියෙන් උගන්වන්නට අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ ඉගෙන ගන්නා දරුවන්ට රැකියා ලබා ගැනීම පහසු කරවන්නට විය හැකියි. නගරයෙන් යන ඉංග්‍රීසි දැනුම ඇති යමක් කමක් ඇති අය ගේ දරුවන්ට නම් ඒක ගැටලුවක් වුණේ නැහැ. එ්ත් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි ගුරු හිඟය නිසා ඒ පළාත්වල ළමයින්ට පාසල් මට්ටමින් ඒ පහසුකම ලැබෙන්නේ නැති නිසා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලව හැදෑරීමත් දුෂ්කර එකක් වුණා. 

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී නේවාසිකව පැවති දින පහක ඉංග්‍රීසි කඳවුරට සහභාගි වූ පිරිසක්.

ඒ බව සබරගමුවේ තවත් සිසුවකු කුරුටු ගීයකින් පළ කළේ මෙහෙමයි. ඔහුත් ‘දිනමිණ’ දැන්වීම ගැන සිහිපත් කරනවා. 

බැලූ පාපෙට එදා දිනමිණ - මෙද‍ා සරසවි බිමට ආවා 
කෙරුණු පාපෙට විෂය වානිජ - අතරමං වී පාර හෙව්වා 
නොවූ පාපෙට තද Familyයක - මැරූ පර බස වාත වූවා 
මලලසේකර ළඟ තබා ගෙන - උපාධියෙ සුබ සිහින මැව්වා 

ඔහු තම ඉංග්‍රීසි බැරිකම දකින්නේ පන්ති පරතරය නිසා ඇති වූවක් ලෙසයි. එය පන්ති පරතරයක් වගේ ගමත් නගරයත් අතර ඇති පරතරයක් ද වෙනවා. 

අනික් අතට අපේ පැරණි ජාතික විශ්ව විද්‍යාලවල පවා සිංහලෙන් හැදෑරීමට සිසුන්ට ඉඩකඩ ලැබුණු අතර මෙසේ පළාත්බද සිසුන්ට විශේෂයෙන් ආරම්භ කළ අනුබද්ධ විශ්ව විද්‍යාලවල ඒ පහසුකම නොලැබෙතැයි ඔවුන් ඉල්ලුම් කරන විට කිසිවිටෙකත් නොසිතන්නට ඇති 

සබරගමුව දැන් අපේ රටේ විශ්ව විද්‍යාල අතර හොඳම 10 අතරට තේරී තිබෙනවා.

පසුව අනුබද්ධ විශ්ව විද්‍යාලයට ආ සිසුන්ට සිදුවුණා, වසර ගණනාවක් උද්ඝෝෂණය කර ජාතික විශ්ව විද්‍යාල තත්වය හා උපාධිය දිනා ගන්නට. සබරගමුව අනුබද්ධ විශ්ව විද්‍යාලය වසර පහකට පසු ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරුණා. ඒ 1996 දී තමයි, උපාධි පාඨමාලා ආරම්භ වුණේ. ඒ නිසා 1992 ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගත් සිසුන් උපාධිය ලැබුවේ 1997 වසරේදියි. තවත් පිරිසක් උපාධිය සම්පූර්ණ කළේ 1998දියි. කලින් විධිමත් සැලසුමක් තිබුණු නිසා උපාධි සහිනය සැබෑ කර ගන්නට වැඩිපුර කාලයක් ගත කරන්නට සිසුන්ට සිදු වුණා. දැන් සබරගමුව විශ්ව විද්‍යාලය සැම අතින් ම අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් වී තියෙනවා. 

ආරම්භයේ දී විශ්ව විද්‍යාලවල දී සිසුන්ට මුහුණ පාන්නට වන ගැටලුවලට උදාහරණයක් ලෙසයි, ඉහත කී කරුණ ගෙන දක්වූවේ. ඒ වගේ ම උපාධි පාඨමාලා සැකසීමේ දී ඇතැම් අවස්ථාවලදී රටේ හා සිසුන්ගේ අවශ්‍යතා නොසලකා ආචාර්යවරුන්ගේ අවශ්‍යතා අනුව, මහාචාර්ය පදවි, අංශ ප්‍රධාන තනතුරු සඳහාත් උපාධි පාඨමාලා සැකසෙනවා. කුමන විෂයයක් හෝ හොඳින් ප්‍රගුණ කරන්නේ නම් ශිෂ්‍යයකුට අවැඩක් වෙන්නේ නැහැ. ඒත් දිළිඳු සිසුවකුට වැඩක් වෙන්නට නම් ඉක්මනින් රස්සාවක් සොයා ගත හැකි උපාධියකට ඔහුව යොමු කරවන්න ඕනෑ. ඒක රජයේ මෙන් ම විශ්ව විද්‍යාල ප්‍රජාවගේ යුතුකමක්. ඒ නිසා දුර දිග නොබලා කරන කටයුතුවලින් අපේ ළමයින්ගේ උපාධි සිහිනය බොඳ වෙන්න දෙන්න එපා! 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments