HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මොකක්ද ඔබ කරන්නෙ? - මොකක්ද ඔබ කියන්නෙ?

නව යුගයේ දී සෙන් ගෝල පිරිස් ගැන නොයෙකුත් නොවැදගත් කතා කියැවෙනවා. ගුරුවරුන් සිය ප්‍රියතම ගෝලයන්ට වැඩි දෙයක් උරුම කර දෙන බවක් කියැවෙනවා. සත්‍යය ඉක්මනින් වටහා ගත හැකි ආකාරයට තමන්ට බැතිමත් සිසුන්ට විශේෂ කමටහන් දෙන බවක් ද කියැවෙනවා. ඇත්තෙන් ම සෙන් දහම දිය යුත්තේ එහෙමයි. එය හදවතින් හදවතකට දෙන දෙයක්. 


අතීතයේ දී එය ඒ විධියට ම ක්‍රියාත්මක වුණා. වචනය හා ප්‍රකාශ යටපත් කර ගෙන නිහඬ බව හා නිහතමානී බව මතුවුණා. එවැනි ඉගෙනුමක් ලැබූ අයකු ඒ දැනුම රහසක් වශයෙන් වසර විස්සක් පුරා ම සඟවා ගෙන හිටියා. එය තවත් අයකු විසින් තම අවශ්‍යතාව මත ම මතු කර ගන්නා තුරු එසේ සැඟවුණා. තමාගේ නියම ගුරුවරයා තමන් අත ළඟ ම සිටින බවත්, ඔහුගේ ඉගැන්වීමෙන් තොරව එය උගත නොහැකි බවත් ඔහු පසක් කර ගන්නවා. අවස්ථාව ලද සැණෙන් ඔහුට එය ස්වභාවයෙන් ම වැටහී යනවා. එය ඔහු සාක්ෂාත් කර ගන්නේ තමන් විසින්මයි. මොනම හේතුවක් නිසාවත්, මොනම තත්වයක් යටතේවත්, කිසිම ගුරුවරයකු යමකුට ඇඟිල්ල දික්කර “මේ තමයි, අහවල් ගුරුතුමාගේ අනුප්‍රාප්තිකයා කියා කියන කිසි කෙනෙක් නැහැ.” එවැනි ප්‍රකාශයක් හැමවිට ම සාවද්‍ය එකක්. 

මූ-නන් නම් සෙන් ගුරුවරයාට සිටියේ එක ම එක ගෝලයකු විතරයි. ඔහුගේ නම ෂෝජු. ෂෝජු ඔහුගෙන් සෙන් හැදෑරීම සම්පූර්ණ කළාට පස්සෙ මූ-නන් ඔහුව සිය කාමරයට කැ‍ඳ‍ෙව්වා. “මම වයස්ගත වෙනවා. මං දන්නා තරමට මේ ඉගැන්වීම දිගට ම ගෙන යා හැකි එකම තැනැත්තා ඔබ තමයි. මේ තියෙන්නෙ පොතක්. මේක අතින් අතට යමින් ගුරුවරයාගෙන් ගෝලයාට වශයෙන් පරම්පරා හතක් පැවත ආ එකක්. මමත් මගේ දැනුමේ හැටියට මේකට යම් යම් කරුණු එකතු කරලා තියෙනවා. මේ පොත ඉතාමත් වටිනා එකක්. මම මෙය ඔබට දෙනවා, මගේ අනුප්‍රාප්තිකයා ලෙසට.” 

“ඔය පොත ඔච්චර ම වටිනවා නම් ඔබ ම එය තියා ගන්න” ෂෝජු කීවා. “මට ඔබෙන් සෙන් ලැබුණේ ලියූ දෙයින් නොවෙයි. මං ඒ ලැබූ දේ ගැන සෑහීමකට පත් වෙනවා. වෙනත් කිසිවක් මට අවශ්‍ය නැහැ.” 

“මං ඒක දන්නවා” යැයි කී මූ-නන්, ඒ වුනත් මේ කෘතිය අතින් අතට, ගුරුවරයාගෙන් ගුරුවරයාට පරම්පරා හතක් ගෙන ගිය එකක්. ඒ හින්දා මෙහිදී ඔබ ලත් ඉගෙනීමෙහි සංකේතයක් හැටියට මෙය ඔබ තියා ගන්න.” 

ඔවුන් දෙදෙනා කථා කරමන් සිටියේ උදුනක් ළඟයි. ෂෝජු අතට පොත ලත් සැණෙන් ඔහු එය ගිනි උදුනට තල්ලු කළා. ඔහුට කිසිවක් තමන් සතු කර ගැනීමේ ආශාවක් තිබුණේ නැහැ. 

මූ-නැන්ට කවදාවත් එහෙම තරහක් ඇති වුණේ නැහැ. 

“මොකක්ද ඔබ කරන්නෙ?” ඔහු කෑගැසුවා. 

“මොකක්ද ඔබ කියන්නේ?” ෂෝජු කෑගැසුවා. 

(පර්සි ජයමාන්නගේ ‘සෙන් ‍බොදු කතා’ නම් පරිවර්තන ග්‍රන්ථයෙනි.)

Post a Comment

2 Comments

  1. මේකෙ මොන කොටසින් ද අදහස ඉදිරිපත් කරන්නෙ
    ගෝලයා ආශාවක් නැති නිසා මොකුත් ගත්තෙ නෑ කියල එකද?
    එහෙම නැත්නම් පොත ලිපට දැම්මම ගුරුතුමා ප්‍රශ්න කරපු එකද?

    ReplyDelete
  2. දෙකෙන් ම! ඕනැ තැනකින් අල්ලා ගන්න! ගෝලයා කියන්නේ පොතෙන් දැනුමක් ගත්තේ නැත්නම් ඒක කර තියා ගෙන යන්නේ මොකටද?

    ReplyDelete