කොවිඩ්-19 නිසා තවත් අලුත් නිපැයුමක් ලෝකයට ලැබී තිබෙනවා. ඒ ඉඳිකටුවක් භාවිත නොකොට ප්‍රතිශක්තිකරණ එන්නතක් ශරීරගත කළ හැකි නව ක්‍රමවේදයක්. රොබෝවෙකු යොදා ගෙන මෙම නව එන්නත ක්‍රියාත්මක කළ හැකියි. දැනට ඉඳිකටුවක් භාවිත නොකොට දෙනු ලබන ප්‍රතිශක්තිය වඩවන එන්නතකට ඇත්තේ පෝලියෝව සඳහා දෙන මුඛ එන්නතයි. මෙය එවැන්නක් නොවෙයි. සාමාන්‍යයෙන් දැනට භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම අතේ බාහුවට විදින්නක්. මේ සඳහා ඉඳිකටුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. රෝබෝ එන්නත ශරීරගත කිරීමට බාහුව ස්පර්ශ කළ වහාම, සමේ ඇති කෙස් ගහක් තරම් ඉතා කුඩා සිදුරකින් එන්නත් මාත්‍රාව ශරීරගත වෙනවා.
මේ නව ක්‍රමය නිසා කොවිඩ් -19 එන්නත්කරණය වැනි සේවාවන් වේගවත් කිරීමට හැකිවී තියෙනවා. කෝබී (Cobi) රොබොට් තැනූ කැනඩාවේ ඔන්ටාරියෝහී වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායම තමයි, නව නිපැයුම කර ඇත්තේ. පසුගිය දා පළමුවරට මේ නව රොබොට්ටා යොදා ගෙන අධි පීඩන ජෙට් ධාරාවක් මගින් එම එන්නත් මාත්‍රාව සාර්ථකව ශරීරිගත කළ බව ඔවුන් පවසනවා.
ලේසර භාවිතයෙන්, මාර්ග සිතියම් කියවමින් ස්වයංක්‍රීයව පාර සොයා යන, වාහනවලට යොදා ගන්නා ලිඩාර් (LiDAR) තාක්ෂණය තමයි, මේ රොබෝගේ කටයුතුවලටත් පාවිච්චි කර ඇත්තේ. ලිඩාර් සංවේදක භාවිත කරමින් එන්නත් කළ යුතු පේශිය හා එන්නත සිරුරට ඇතුළු කළ යුතු සිදුර තෝරා ගන්නට මේ රොබෝට පුලුවන්.
‘අපි පරිගණක කෘත්‍රිම බුද්ධිය සඳහා පාවිච්චි කරන මෘදුකාංගයක් සංවර්ධනය කළා, පුහුණු සෞඛ්‍ය සත්කාරකයකුගේ උපකාරයක් නැතිව, ඉඳිකටු භාවිත නොකොට, ඉතා ඉක්මනින් එන්නතක් ලබා දිය හැකි ක්‍රමයක්.’ යැයි කොබිනික්ස් සමාරම්භක නිමා ශමානි (Nima Zamani) පවසනවා.
කෝබීරොබී වැඩ කරන හැටි පහත වීඩියෝවෙන් නරඹන්න!
ඒ අය සකසා ඇති ක්‍රමය අනුව රෝගියා කළ යුත්තේ අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී අනතුරුව ශායනයට හෝ අදාළ ඔසුහලට යාමයි. එහිදී තම අනන්‍යතා පත්‍රය තහවුරු කර ගැනීමට සඳහා ස්පර්ශක තිරයට නිරාවරණය කිරීමයි. එහිදී බහු ත්‍රිමාන සංවේදක මගින් රෝගියාව හඳුනා ගන්නවා. ඊළඟට කෝබි රොබෝ අතට එන්නත් කුප්පිය රැගෙන, ඉන් මාත්‍රාවක් ලබාගෙන රෝගියා ළඟට විත් එහි ඇති ලිඩාර් සංවේදක යොදා ගෙන පළමුව රෝගියාගේ පරිගණක ආකෘතියක් සකසා ගන්නවා. එන්නත් කරන්නේ ඉන් පසුවයි. මේ සියල්ලට ම ගත වන්නේ ඉතාමත් සුළු කාලයක් පමණයි. මේ පිළිබඳ විස්තර New Atlas වෙබ් අඩවියෙහි දක්වා තියෙනවා.
‘මේ කෝබි වැනි රෝබෝලා මගින් එන්නත්කරණය කිරීම සෞඛ්‍ය සත්කාරකයන්ගේ හිඟයට පිළියමක්. දුර බැහැර පළාත්වල එන්නත් ශායනවල කාර්ය සංවිධන පහසුකම් හිඟ, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පමණට තැන්වලට භාවිත කළ හැකි වියදම් අඩු ක්‍රමයක්.’ ශමානි තවදුරටත් කියනවා.
මේ නව ස්වයංක්‍රීය එන්නත්කරණ ක්‍රමය සංවර්ධනය කළ ගැස්වෙල් හා ශමානි යන දෙදෙනා මීට දසක දෙකකට පෙරයි, එකිනෙකා හඳුනා ගත්තේ. ඒ කැනඩාවේ ඔන්ටාරියෝහී වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරන්නට පැමිණි පසුවයි. ඔවුන් දෙදෙනා එකතුවයි, 2019 දී මේ කෝබියෝනික්ස් ව්‍යාපෘතිය ආරම්භ කළේ. ‘අප දෙදෙනාටම පොදු දැක්මක් තිබුණා. අතපය හකුළා ගෙන අනාගතය අප ඉදිරියේ දිග හැරෙනවා බලා ඉන්නවාට වඩා, අප දෙදෙනාටම ඕනෑ වුණා, අනාගතය නිර්මාණය කරන්න දායක වෙන්න. ඒ අනුව තමයි, මේ ව්‍යාපෘතිය සැලසුම් කළේ.’ ශමානි කියනවා.
මේ රොබෝව නිර්මාණය කළේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයේ වෙලෝසිටි නමින් හැඳින්වෙන නව රොබෝ නිෂ්පාදනාගාරයේදියි. එහි අධ්‍යයන කටයුතු කරමින් සිටියදියි, ඔවුන්ට පෙනී ගියේ කොවිඩ් එන්නත්කරණයට ඇති අපහසුකම් හා සෞඛ්‍ය සේවක හිඟයක් ඇති බව. ඒ අනුව නිර්මාණය කළ මේ රොබෝ අතට එන්නත්කරණයට අදාළ කාර්යයන් සියල්ල සියයට සියයක් ස්වයංක්‍රීයව කරන්න පුලුවන් බවයි, ලැස්වෙල් පෙන්නා දෙන්නේ.
දැනට සම්පූර්ණ කළ යුතු අත්හදා බැලීම්වලින් පසු තවත් වසර දෙකකින් මේ රොබෝ වානිජ වශයෙන් වෙළඳ පොළට ඒවි යැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.
ඔබ දන්නවද, මේ කොවිඩ් වසංගතය නිසා, රොබෝ තාක්ෂණය භාවිත කර ගෙන කොයි තරම් නව නිපැයුම් ඇවිත් තියෙනවාද කියලා. ඊජිප්තුවේ කයිරෝ නගරයේ රෝහලක් ඉදිරියේ ‘සිරා 03’ කියා හෙදියකගේ හැඩරුවක් ඇති රොබොට්ටියක් සේවයේ යොදවා තියෙනවා, එයාට පුලුවන් කොවිඩ් ඇද්දැයි පරීක්ෂා කර බලන්න. ඒ අතරතුර කිසියම් අයකු මුවාවරණය නැතිව හෝ නිසි ලෙස මුඛ ආවරණ පලඳින්නේ නැතිව ආවොත් නිසි ලෙස මුවාවරණය පලඳින්නැයි උපදෙස් දෙන්නත් එයාට පුලුවන්.
කෝවිඩ් නිසා බිහි වූ රොබොටික මෙවලම් පහත වීඩියෝවෙන් නරඹන්න!
ඒ වගේ ම ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉන්නවා, බොස්ටන් ඩයිනමික්ස් (Boston Dynamics) ආයතනය නිර්මාණය කළ ‘ස්පොට්’ (Dr Spot) නම් වූ රොබෝටික සුනඛයෙක්. ඌට පුලුවන්, අඩි හයක් දුර තියා කෝවිඩ් වැළඳුණු රෝගියෙකු හඳුනා ගන්න. මේ රොබෝ සුනඛයාට, රෝගියකුගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කර අවශ්‍ය දත්ත ලබා දෙන්නත්, අන්තර්ශිරා කැතීටර තැන්පත් කරන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි, රොබෝ සුනඛයාගේ පාමුල සවිකර ඇති අයිපෑඩ් එක මගින් වෛද්‍යවරුන්ට හා හෙදියන්ට එසැණ රෝගීන් සමග දුරස්ථ ටෙලි කතා බහේ යෙදෙන්නත් පුලුවන්.
- පර්සි ජයමාන්න
0 Comments