HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ කොල්ලෝ වෙනස් නොකර, දිරිමත් කරමින්, ඉදිරියට යමු!

ක්‍රිකට්වලට මගේ හිත ඇදී ගියේ මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙරයි. ඒ කාලේ අපට දැන් මෙන් ක්‍රීඩා ගැන දැන කියා ගන්නට තිබුණේ දිනමිණ, ලංකාදීප, ජනතා පුවත් පත්වල පළ වූ ක්‍රීඩා පුවත් තීරුත්, ඉංග්‍රීසියෙන් පළ වන ඩේලි නිවුස් පුවත්පතේ පසු පිටුවත්, සතියකට වරක් අපට තිබූ එකම ගුවන්විදුලියේ ‘ක්‍රීඩා විසිතුරු’ වැඩසටහනත් පමණයි. 

<
ශ්‍රී ලංකා කණ්ඩායම

වසරකට වරක් පැවැත්වෙන විද්‍යාලාන්තර තරග සඳහා ප්‍රචාරය ගන්නට පිටුවක් පුරා පින්තූර සහිත විස්තර පළ කර ගන්නටත් ගෙවීමක් කිරීමට සිදු වුණා. එහි දීත් ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ අගනුවර ඉහළ පෙළේ විදුහල්වලට පමණයි. අද තත්වය එසේ නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පමණක්, අන්තර් ජාලයේ පුවත් ඩෙබ් අඩවි පමණක් නොව සමාජ මාධ්‍ය ද මෙතෙකැයි කිව නොහැකි ප්‍රමාණයක් ක්‍රීඩා වෙනුවෙන් කැපවී තිබෙනවා. සමහර විටෙක ක්‍රීඩාවටත්, ක්‍රීඩකයන්ටත් හානිවන තරමට ඇතැම් මධ්‍ය අදහස් පළ කරනවා. 

අපේ ජනතාව, වොලිබෝල්, පාපන්දු, එල්ලේ, ක්‍රිකට්, මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ගණනාවක් ආදරයෙන් වැළඳ ගෙන තිබුණත් ඒ සියල්ල ම අබිබවමින් ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ඉදිරියෙන් සිටින බව කියන්න ඕනෑ. එයට හේතුව අපට තවමත් ලෝකයේ ඕනෑම රටක් හා කරට කර සිටින්නට, තරඟ කරන්නට ඇති එකම ක්‍රීඩාව ක්‍රිකට් වීමයි. ඒ බව අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගැනීමෙන් ම ඔප්පු වෙනවා. 

ක්‍රිකට් ක්‍රීඩාවට නව මානයක් එක්ක කළ විස්සයි විස්ස (T20) 


දැන් ලොව පුරා වඩාත් ම ජනප්‍රිය ක්‍රිකට් මාදිලිය, විස්සයි විස්සේ (T20) ක්‍රීඩා තරඟයි. වෘත්තීය මට්ටමෙන් මෙම ක්‍රීඩා මාදිලිය ආරම්භ වූයේ 2003 දී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) නිල වශයෙන් ආරම්භ කළ අන්තර් ක්‍රීඩා සමාජ (intercounty) තරඟාවලියෙන්. එහිදී තරඟාවලිය පවත්වන ලද්දේ තරඟ කළ කණ්ඩායම් දෙකට පන්දු ඕවර 20ක උපරිමයකට සීමා කළ එක් ඉනිමක් බැගින් ලැබෙන ලෙසටයි. ඒ තරඟාවලිය නම් කරන ලද්දේ ‘ද ටී ටුවෙන්ටි 20 කප්’ (the Twenty20 Cup) කියායි. 


මේ විස්සයි විස්සේ තරග මාදිලිය කෙතරම් ඉක්මනින් ජනප්‍රිය වූවාද කීවොත් දශක එකහමාරක් වගේ කෙටි කාලයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙක් නොතිබුණු ආකාරයට ජනප්‍රිය වුණා. ලෝකයේ අයිපීඑල් (IPL) වලින් පටන් ගත්තු මේ තරගාවලිවලට වෙළඳ ආකර්ෂණයත් නො අඩුව තියෙනවා. අද ලොව පුරා ම ප්‍රධාන රටවල් හැම එකක ම එවැනි තරගාවලි පැවැත්වෙනවා. දැනට ඇෆ්ඝනිස්ථානයේ APL, ඕස්ට්‍රේලියාවේ BBL (Big Bash), එංගලන්තයේ හා වේල්සයේ T20 Blast, බංගලිදේශයේ BPL, ඉන්දියාවේ IPL, නවසීලන්තයේ Super Smash, පාකිස්ථානයේ PSL, දකුණු අප්‍රිකාවේ Mzansi Super (MSL), බටහිර ඉන්දීය කොදෙවු CPL ඇමරිකා එක්සත් ජනපදයේ Minor league Cricket යනුවෙන් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ හැරෙන්නට 2022 දී අයර්ලන්තය, නෙදර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් එක්ව Euro T20 Slam, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Primier League T20, තරගාවලීන් ඇරඹීමට නියමිතයි. 2023 දී ඇමරිකා එක්සත් ජනපදයේ Major League Cricket තරගාවලියක් ඇරඹීමට සැලසුම් කර තියෙනවා. 

2020 දී ඇරඹුණු ශ්‍රී ලංකාවේ LPL එල්පිඑල් තරගාවලිය 2021 දෙසැම්බර් 5-25ත් අතර පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් පහක් තරග විදිනවා. සෑම පිලකටම විදේශ ක්‍රීඩකයන් පවා සහභාගි වෙනවා. 

ICC නිල තරගාවලිය වූ ලෝක කුසලාන T20 තරගාවලිය 


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) නිල තරගාවලිය වූ ලෝක කුසලාන T20 තරගාවලිය 2007 ආරම්භ වී දැන් වසර දෙකකට වරක් ලෝකයේ සත්කාරක රටක පැවැත්වෙනවා. කොවිඩ් වසංගතය නිසා කල් ගිය 2020 තරගාවලිය පැවැත් වුණේ 2021 දී, සාජා හා ඩුබායි නගරවලයි. සත්කාර රට වූයේ ඉන්දියාවයි. මේ නිසා ලබන වසරේ දී 2022 දී මීළඟ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. 

සත්කාරක රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. අපට ඒකට සභාගිවෙන්නත් සුදුසුකම් ලැබීමේ වටයකට යන්න සිදු වෙනවා. මෙවර අපත් සමඟ සුදුසුකම් වටයට එක්වූ බංගලිදේශය ලබන වතාවේ කෙළින් ම සුපිරි තරගකරුවන් අතරට එක් වෙනවා. ඒ වෙනුවට බටහිර ඉන්දීය කොදෙවුවන් අපත් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වේවි. 
ශ්‍රී ලංකා පිල මෙහෙය වූ දසුන් චානක

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේ දී හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන ඕවරයට ළඟා වෙත්ම සිටියේ තීරණාත්මක මොහොතකයි. දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය ලබන්න නම් අවසාන පන්දු හයේ දී ලකුණු 15ක් ගත යුතුව තිබුණා. දසුන් චානක ඒ වන විට ඉතිරිව සිටි එකම වේගවත්ම පන්දු යවන්නා වූ තරුණ ළහිරු කුමාරට පන්දුව බාර කළේ තරගය අවසන් කරන්නයි. කලින් වතාවක අවසාන ඕවරය සාර්ථකව නිමා කළ, කුමාරට එවර ද පන්දුව බාර දුන්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්. ලෝකයේ වේගවත්ම T20 ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයකු වූ ඩේවිඩ් මිලර් ඒ වෙල‍ාවේ පන්දුවට පහර දෙන්න සිටි බව සමහර විට දසුන් චානක ‘නොදකින්න’ ඇති. කෙසේ වෙතත්, සංත්‍රාසයෙන් පිරි අවසානයක් සලකුණු කරමින්, අත්දැකීම්වලින් වැඩි මිලර් පිට පිට හයේ පාර දෙකක් සමග තරගය නිමා කළේ නරඹන්නන්ට විශිෂ්ට නිමාවක් දැක ගැනීමට සලස්වමිනුයි. 

ඒ විස්සයි විස්සේ තරගවල ස්වභාවය එහෙමයි. ඒ නිසා නරඹන්නන්ට අවසානය තෙක් ම කුමක් වේදෝයි දෙගිඩියාවෙන් බලා සිටීමට සිදුවෙනවා. අවසාන පුර්ව වටයට එන්නට නොහැකි වුනත් ‘අපේ කොල්ලෝ’ ඒ තරගාවලියට අමුතු පණක් එක්කළා. 
‘මෙම තරගාවලිය තුළ දී අපට මෙතෙක් මුහුණ දීමට සිදු වූ බරපතලම පීඩනය එල්ල කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.’ එංගලන්ත නායක ඉයන් මෝගන් කියනවා.

එංගලන්තය හා පැවති ශ්‍රී ලංකාව පැරදුණේ තියුණු තරගයක් සමගයි. තරගය අවසානයේ දී එංගලන්ත නායක ඉයන් මෝගන් විශේෂයෙන් පැවසූ දෙයක් ද මගේ මතකයට එනවා. ‘මෙම තරගාවලිය තුළ දී අපට මෙතෙක් මුහුණ දීමට සිදු වූ බරපතලම පීඩනය එල්ල කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ඔවුන්ගෙන් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ඉහළ දස්කම් දැක්වීමට සමත් වී ‍තිබෙනවා. එබැවින් ඔවුන් මෙතෙක් ලබාගෙන ඇති ඇදහිය නොහැකි ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන් ආඩම්බර විය යුතුය.’ 

අපේ තරුණ ක්‍රීඩකයන් දැන් වූ විස්මිත දස්කම්! 


බටහිර ඉන්දියානු කොදෙව්වන් සමග තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20කින් ජයගත්තා. ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ හා කිරන් පොලාඩ් වැනි විස්සයි විස්සේ ශූරයන් ලෙස සලකනු ලැබූ ජ්‍යේෂ්ඨයන් අසාර්ථක වුණා. අපේ නවක තරුණ ක්‍රීඩකයන් වන 24 හැවිරිදි චරිත් අසලංක 68කුත්, 23 හැවිරිදි පැතුම් නිස්සංක 51ක් ද ලබා ගත්තා. 24 හැවිරිදි වනිඳු හසරංග තවත් විකට් දෙකක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලියක වැඩි ම කඩුලු (16) ලාභියා වෙමින් වාර්තාවක් පිහිටෙව්වා. වනිඳු හසරංග මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) T20 ශ්‍රේණි ගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර තුන් වැනි තැනටත්, පන්දු යවන්නන් අතර පළමු වන තැනටත් පත් ව ඇති බව අද ප්‍රකාශ කෙරුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් T20 ශ්‍රේණි ගත කිරීම්වල දී සිව්වැනි තැනට පත්ව තිබුණා. 
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් 
ක්‍රීඩකයකුට උපදෙස් දෙමින්

බටහිර ඉන්දියානු කොදෙව්වන් සමග තරගයට පෙර ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අවධාරණය කළේ අප හැමවිටම ක්‍රීඩාවට අනුකූලතාව එක හා සමානව පවත්වා ගෙන යායුතු බවයි. ඔහු කියන්නේ ක්‍රීඩකයන් තේරීමේ දීත්, ක්‍රීඩකයන්ට පණිවිඩ දීමේ දීත්, අප හැම එක හා සමාන අනුකූලතාවකින් ක්‍රියා කළ යුතු බවයි. ඒ වගේ ම ක්‍රීඩාවේ ගුණාත්මක භාවය පවත්වා ගෙන යාමේදීත් මේ අනුකූලතාව ඒ හා සමානව රැක ගතයුතු බවයි. ඔහු කියන්නේ අපට ජයග්‍රාහී මාවතට අවතීර්ණ විය හැක්කේ එහෙම කළොත් විතරයි. ශ්‍රී ලංකාවට ස්ථිර අනුකූලතාවක් වසර ගණනාවක් ම තිබුණේ නෑ. එහෙම වුනාම ක්‍රීඩකයන්ට තමන් සුරක්ෂිත යැයි හිතෙන්නේ නැහැ. ක්‍රීඩා කණ්ඩායමේ තමාට හිමි තැන සුරක්ෂිත යැයි හැම ක්‍රීඩකයකුටම සිතන්න සලස්වන්න ඕනෑ. එහෙම නූනොත් ක්‍රීඩකයන් තමන්ගේ තැන රැක ගැනීමට වැඩි අවධානයක් යොමු කරනවා. එවිට කාණ්ඩායම් හැඟීම ඈත් වෙනවා. මිකී ආතර් කියන්නේ ලොකු ඇත්තක්. ඒ නිසා ඉදිරියට ඒ ගැන වැඩි අවධානයක් යොමු වේවි. 

2021 නොවැම්බරයේ 3 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කී තවත් කතාවක් මට මතක් වෙනවා. ‘මේ අවුරුද්දේ විස්සයි විස්ස ලෝක කුසලානට අප සුදුසුකම් ලබන්නේ නැහැ. ඒත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ අතට හැරිලායි තියෙන්නෙ.’ 
වනිඳු හසරංග කෙටි කාලයකින් ලෝකයේ විශිෂ්ටයන් අතර එක් වුණා. ඔහු කණ්ඩායම සමග.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක නවකයන් හසුුුුරවපු හැටි හරිම අපූරුයි. ‘අතපසුවීම් කීපයක් වුණා. ඒකයි අපට අර්ධ අවසාන තරගවලට යන්න බැරි වුණේ. ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපේ ක්‍රීඩකයන් ‍හැමෝම ඉතා හොඳින් සෙල්ලම් කළා. මුල තරගවලදී අප හා එක්වුණු මහේල අයියා අපට බොහෝ දේ කියා දුන්නා. ඒ වගේම ප්‍රතිවාදීන්ගේ දුර්වලකමුත් කියා දුන්නා. අපේ සාර්ථකත්වයට ඔහුගෙන් ලොකු සහයක් ලැබුණා. මහේලගේ දායකත්වය ගැන මිකී ආතර් පවා ප්‍රශංසා මුඛයෙන් කතා කළා. 

සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් විචාරක හර්ෂ භෝග්ලේ මෙහෙම කියනවා, ‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ටික දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන ගැන කලකිරී සිටින්නට පුලුවන්. ඒත් අසලංක, නිස්සංක වගේ ක්‍රීඩකයන් පෙන්වන සුවිශේෂ දක්ෂතා දකින්නත් ආසයි. ඒ වගේම, රාජපක්ෂ, හසරංග, චමීර, කරුණාරත්න වැනි ක්‍රීඩකයන් විශිෂ්ට පදනමක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනඟන්න.’ 
අපේ කණ්ඩායම දිරිමත් කරන්න ආ ක්‍රීඩා ලෝලීන් පිරිසක්

අපේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අපේ කණ්ඩායමට සුබපැතුම් මෙහෙම එක් කර තියෙනවා. ඇන්ජිලෝ මැතිව් කියන්නේ, ‘හැම අතින් ම තරගාවලිය තුළ හොඳට සෙල්ලම් කළා. වනිඳු, පැතුම්, චමීර, ඉතා දක්ෂයි. අනෙක් හැමදෙනාමත් හොඳ දායකත්වයක් දුන්නා. ඉතා හොඳට ක්‍රීඩා කළා.’කියලයි. 

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කියන්නේ, ‘ඉතා හොඳට ක්‍රීඩා කළා. අපට අවසාන පූර්ව වටයට යන්න බැරි වුණාට ඔයාලා ක්‍රීඩා කළ හැටි විස්මයජනකයි! චරිත්, පැතුම් හරිම අපූරුයි! වනිඳු හැමදාම එයාගෙ වැඩේ අපූරුවට කරනවා. යළිත් කියන්නේ හැමදෙනාම හොඳටම කළ බවයි. දසුන් චානක කණ්ඩායම මෙහෙයවපු හැටි ඉතා හොඳයි.’ කියලයි. 

රසල් ආනෝල්ඩ් කියන්නේ, ‘කැපීපෙනෙන විශිෂ්ට දස්කම් පෑමක්! සැලසුම් කිරීමත්, පිත්තෙන් හා පන්දුවෙන් කළ දස්කම් විශිෂ්ටයි! විශේෂ පිතිකරුවන්ට විශේෂ පන්දු යවන්නන් යෙදීමත්, උපක්‍රම අතින් ප්‍රතිවාදීන්ට වඩා ඉහළින් සිටියා.’ යැයි බටහිර කොදෙවු තරගය ගැන සඳහන් කරමින්. 

පර්වීස් මහරූෆ් ඒ තරගය ගැන කීවෙත් ඒ වගේ දෙයක්. ‘විශිෂ්ට ජයක්! තරග විලාසයත්, සැලසුම් ක්‍රියාත්මක කළ ආකාරයත් අපූරුයි. දුෂ්කර කාලයකට පස්සේ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර වෙන්න පුලුවන්. මේ තත්වය දිගටම පවත්වා ගෙන යාම අමාරු දෙයක්. මට විශ්වාසයි අපේ කොල්ලෝ ඒකත් කරාවි’ ඔහු කියනවා. 
අපේ ක්‍රිකට් ප්‍රවීණයන් ඔවුන්ගේ සුබපැතුම් එක්කළ හැටි.

ඉන්දියාව අපට කලින් මැදපෙරදිග ගිහින් ඔය ක්‍රීඩාංගනවලම අයිපීඑල් ක්‍රීඩා තරග පවත්වලා, වඩා හොඳට පුහුණු වෙලා, T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් කරපු හැටි දකින කොට මට හිතෙනව ඒ තරම් පළපුරුද්දක් නැති අපේ තරුණ කණ්ඩායම අවසන් කරපු හොඳටම හොඳයි කියලා. T20 තරගවලට ඉදිරියටත් මේ කණ්ඩායමම තියාගෙන අඩුපාඩු හදා ගෙන ඉදිරියට යමු. 

මේ අලුත් කණ්ඩායම තෝරපු වෙලාවේ තේරීම් කමිටු සභාපති ප්‍රවීණ ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කී දෙයක් මේ වෙලාවේ මගේ සිහියට නැ‍ඟ‍ෙනවා. ඔහු එදා කීවා, ‘අපට හැමෝම බනියි, අත්දැකීම් නැති නවකයෝ වැඩිපුර කණ්ඩායමට තේරුවා කියලා. ඒත් අප හුඟක් දුර බලලා තේරුවේ අපට ඉන්නා හොඳම අංකුරයි. ඉදිරියේ දී ඒ අයගෙන් අපට හොඳ කණ්ඩායමක් හදා ගන්න පුලුවන් වේවි.’ අපෙන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පුමුඛ තේරීම් කමිටුවටත් මල් මිටක්! 

 - පර්සි ජයමාන්න 



Post a Comment

0 Comments