HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටෙලිවිශනයෙන් හා ස්මාට්ෆෝනයෙන් ළමයින් බේරා ගනිමු!

අද ලෝක රූපවාහිනී දිනයයි. එක්සත් ජාතීන් නොවැම්බර් 21 වැනිදා ලෝක රූපවාහිනී දිනය ලෙස නම් කළේ විසි වන සියවසේ ආ නව නිපැයුමේ තාක්ෂණික පැත්ත, හෝ පහළ වීමේ වැදගත් කම ගැන සලකා නොව ඉන් සිදුවන, අධ්‍යාපනික, සමාජීයීය හා දේශපාලනික බලපෑම කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු කරවනු පිණිසයි. එක්සත් ජාතීන් මෙය ලෝක නිවාඩු දිනයක් ලෙස නම් නොකොට, සමස්ත ලෝකයේ අවධානය යොමු විය යුතු යැයිද, ඒ සඳහා විශේෂ වැඩ සටහන්, සාකච්ඡා පැවැත්විය යුතු යැයි ද දක්වා ඇත්තේ ඉන් සිදුවන වාසි අවාසි දැන ගැනීම ලෝකයාගේ යහපතට හේතු වන නිසයි. 


1996 නොවැම්බර් 21-22 දෙදින තුළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක ටෙලිවිශන් සමුළුවක් පවත්වනු ලැබුවා. ඒ මහ සමුළුවේ දී තමයි, නොවැම්බර් 21 වැනිදා ලෝක රූපවාහිනී දිනය ලෙස නම් කෙරුණේ. ඒ ජාත්‍යන්තර සමුළුවට මාධ්‍ය ලෝකයේ දැවැන්තයන් රැසක් එක් වී සිටියා. එහි දී ටෙලිවිශන් මාධ්‍යය, තොරතුරු සන්නිවේදනය, මහජන මතය හැඩගැස්වීම අතින් ලොව මෙතෙක් පහළ වූ ප්‍රබලතම මාධ්‍යය ලෙස පිළිගනු ලැබුවා. එදා ඒ සමුළුවේ දී තීරණය කළාට වඩා වෙනස් තැනක් තමයි, දැන් ටෙලිවිශනයට හිමි වී තිබෙන්නේ. 

ටෙලිවිශනය අද, නිකම්ම සන්නිවේදන මෙවලමක් නොවේ. එහෙත් අද එය ටෙලිෆෝනය හා අන්තර් ජාලය සමග බද්ධ වී තිබෙනවා. ඒ අනුව අද එය ‘ස්මාට්ෆෝන්’ එකක් තුළට කැවූ රූපවාහිනියක් පමණක් නොවේ. එය අධ්‍යාපනික මෙවලමකි, ගුරුවරයෙකි, පෙළ පොතකි, රේඩියෝවකි, නිශ්චල කැමරාවකි, චිත්‍රපට කැමරාවකි, සිනමා තිරයකි, පරිගණකයකි, මාර්ගෝපදේශකයෙකි, ක්‍රීඩා පිටියකි, පණිවිඩකරුවෙකි, දුරස්ථපාලකයකි, ආරක්ෂකයෙකි, උපදේශකයෙකි. අදහස් හුවමාරු කර ගත හැකි මෙවලමකි, සූපවේදී උපදේශකයෙකි, පවුලේ සමරු ඇල්බමයකි, යතුරුලියනයකි, කළණ මිතුරෙකි. ඔබ යන යන තැන යන මිතුරෙකි, සමාජයේ හොඳට මෙන්ම නරකට හේතු විය හැකි ප්‍රබල සන්නිවේදන උපකරණයකි. 

“නැගී එන සහ සාම්ප්‍රදායික විකාශන ආකාරයන් අතරින්, ටෙලිවිශනය අපගේ ප්‍රජාවන් සහ අප වෙසෙන ග්‍රහ ලෝකය මුහුණ දෙන බරපතල ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට හොඳ මඟක් නිර්මාණය කර දි ඇතැ”යි ටෙලිවිශනය ගැන එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියෙහි සඳහන් වෙනවා. ඒ අතින් ටෙලිවිශනය, සන්නිවේදන මාධ්‍යයක් ලෙස එදාටත් වඩා අද වඩාත් ප්‍රබල තැනක ඉන්නා බව ඉහත දැක්වූ අපට කියන්න පුලුවන්. 


ඒ නිසා ඒ තුළින් සමාජය වෙත ගලා එන දේ ගැන අප ඉතා පරිස්සමෙන් විමසා බැලිය යුතුයි. ටෙලිවිශන තිරය කෙතරම් විශාල වෙමින් දියුණු වුවද එයින් බැලපෑමක් ඇති විය හැක්කේ නිවසේ හෝ කාර්යාලයේ රැඳී සිටින කාලය තුළ පමණයි. ඒත් ටෙලිෆෝනය තුළට රිංගා ගත් ටෙලිවිශනය දැන් ඔබේ ගමන් සගයා වී හමාරය. දැන් එය පැය විසි හතර පුරා ම ඔබ සමග එක්වී සිටිනවා. 

දැන් එය ළමයින්ගේ අධ්‍යාපනික මෙවලමක් බවට පත් වී තියෙන නිසා, ටෙලිවිශයෙන් විකාශනය වන වැඩ සටහන් ඉතා පරිස්සමෙන් තෝරා බේරා ගෙන කළ යුතුව තිබෙනවා. ඒවා වාරණය කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා නිෂ්පාදකයන් හා වැඩසටහන් මෙහෙයවන්නන් ස්වයංවාරණයක් ඇති කර ගතයුතුයි. ළමා මනස දූෂණය විය හැකි වැඩ සටහන් ටෙලිවිශනයෙන් විකාශය නොකළ යුතුයි. 

 ළමා මනසට අහිතකර අදහස් ටෙලි නාට්‍යවලදී ඕනෑ තරම් අපට හමුවෙනවා. ඒවා පෙන්වා දෙන්න ගියොත් ඒ නිර්මාණශිල්පීන්ගේ හිත රිදෙන්න පුලුවන්. ඒ අයම හිතල හරි දේ කරනවා නම් තමයි, හොඳ. දැන්වීම්වලත් ළමයින්ට බලපාන දේවල් තියෙනවා. නිදසුනක් ලෙස දරුවාට බඩගින්න ඇති කරන ‘ඔසුවක්’ ගැන ඇති දැන්වීම දක්වන්න පුලුවන්. මේවා ඖෂධ අධිකාරියෙන් අවසර ලබා නොගෙන, ආහාරයක් හැටියට ගෙනවුත් අළෙවි කරන ඒවායි. බඩගිනි ඇති කළ හැකි ඔසුවක් තවමත් සොයා ගෙන නැත. ඒ දැන්වීම්කරු හදන්නේ, ළමයාට කෑම කවන හැටි නොදන්නාකමින් තැවෙන ඔබේ අසරණකමින් ප්‍රයෝජන ගැනීමටයි. 

ළමයින් සඳහා ඉදිරිපත් කරන, ආහාරයට යෝජනා කරන, වෙළඳ භාණ්ඩ දැන්වීම් හැම එකක් ම මා දන්නා තරමින් නම්, මේ ප්‍රබල මාධ්‍යය භාවිත කරමින් මාපියන්ගේ සාක්කුවට තට්ටු කරන ඒවායි. ඒ වගේ ළමයින්ට දෙන පෝෂක වගේ ම කිරි වර්ග, සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, ආලේපන ආදී හැම එකක්මත් එහෙමයි. ‘සුසුදු’ වැනි සිංහල භාෂාවේ නැති වදන් හදමින් ඔබ රවටන හැටි ගැන විමසිලිවත් වන්න! ඊළඟට අන්තර්ජාලයේ අපට සමීප විය හැකි දෑ ඕනෑ තරම් තියෙන බව ඔබ දන්නවා. ඒවායිනුත් ළමයින්ට සම්බන්ධ වීමට නුසුදුසු ඒවා ළමයින්ගෙන් ඈත් කර තබන්නේ කොහොමද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ළමයින් දැනුවත් කර ඔවුන් ඒවායින් ඈත් කර තැබීමට ක්‍රියා කළ හැකියි. මෙය කළ හැක්කේ ළමයින්ට වඩාත් සුහදව හා සමීපව හිඳ ආදරය නොඅඬුව ලබා දීම මගින් පමණයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments