HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දකුණු කොරියාව ඉදිකරන ලෝකයේ ප්‍රථම පාවෙන නගරය

ලෝකයේ ප්‍රථම පාවෙන නගරය දකුණු කොරියාවේ දැන් ඉදිකිරීමට සුදානම් වෙමින් තියෙනවා. 2025 වන විට ඉදි කිරීම් අවසන් කරන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව. අනාගතයේ සාගර ජල මට්ටම ඉහළ යාමට ඇති ප්‍රවණතාවට පිළියමක් වශයෙනුයි, මේ නව සංකල්පය ඉදිරිපත් කරන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා එක්සත්ජාතීන්ගේ අනුමැතියත් ලැබිලා තියෙනවා. මෙය ඉදිකිරීමට යන්නේ බුසාන් (Busan) නගරයෙන් ඔබ්බේ පිහිටි වෙරළාසන්න මුහුදේයි. මේ සඳහා මිනිසා විසින් තනනු ලබන කෘත්‍රිම දූපත් මතයි, මේ පාවෙන නගරය ඉදිවන්නේ. මුහුදේ රළ උස් වීමත් සමඟ ඉහළ යන විදියට ජලය දූපත් තුළ කාන්දු නොවන විදියටයි, මේවා නිර්මාණය කරල තියෙන්නේ. 

දකුණු කොරියාවේ බූසාන් නගර ව්‍යාපෘතිය සිත්තරකුට පෙනෙන අයුරු. 
නගරය සෑදී ඇත්තේ කුඩා කෘත්‍රිම දූපත් සමූහයකින්.

නාගරික ජනගහනය වැඩි වෙත් ම මිනිසුන්ට ‍ජලය මත පාවෙන මෙවැනි නගරවල වාසයට යන්නට සිදුවේවි.

මේ නගරය හැම අතින් ම ස්වයංපෝෂිත එකක්. විදුලිය නිපදවන්නේ ගොඩනැගිලි මත රැඳ වූ සූර්යකෝෂ මගිනුයි. ආහාර හා බීමට පිරිසිදු නිපදවා ගැනීමත්, දූපත් තුළ ම සිදු කර ගන්න පුලුවන්. දූපත් සමූහයක් ලෙස සැලසුම් කර ඇති මේවා අතර ගමනාගමනය සිදුවන්නේ ‘බෝට්ටු ක්‍රමයක්’ මගින්. මේ පා වෙන වේදිකා ලෙස තැනෙන දූපත්, නැංගුරම් ලා ඇති ආකාරය අනුව මුහුදේ ඇති වන ප්‍රචණ්ඩකාරී තත්වයන් නිසා වෙනස් වෙන්නේ නැහැ. ඕනෑම ස්වාභාවික ව්‍යසනයකට වුවත්, ගංවතුර, ත්සුනාමි හා 5 වන ගණයේ ප්‍රචණ්ඩ කුණාටුවලට වුවත් ඔරොත්තු දෙනවා. 

මේ පා වෙන නගරයට ඩොලර් මිලියන මිලියන 200ක් වැය වෙතැයි ගණන් බලා තියෙනවා. මේ වනවිටත් මේ සම්බන්ධ ගිවිසුමක්, කොරියානු ජනරජයේ බූසාන් මහ නගරයත් එක්සත් ජාතීන්ගේ හැබිටැට් ව්‍යාපෘතියත්, නිව්යෝක් නගරයේ ඕෂියනික්ස් ආයතනයත් එකතුව අත්සන් කර තියෙනවා. 

මේ පාවෙන නගර ඉදිකෙරෙන්නේ ජල මට්ටම වැඩි වන විට නගරය ජලයත් සමග ඉහළ යන ආකාරයටයි.

මේ සෑම වේදිකාවක් යට රැලි බෙල්ලන් ඇතුළු මුහුදු ජීවීන රඳවන කූඩු සවි කර තියෙනවා.

තවමත් හෙළිදරවු කර නැහැ, මෙහි ජීවත්වෙන අයට කීයක් අය කරනවද කියන එක. ඒ ගැන ‍ලන්ඩන් ඩේලිමේල් පුවත්පතෙන් විමසීමක් කරලා තියෙනවා, ඕෂියනික්ස් ආයතනයෙන් හා එක්සත් ජාතීන්ගේ හැබිටැට් වැඩ සටහනින්. 

එහිදී එක්සත් ජාතීන්ගේ හැබිටැට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිමුනාහ් මොහද් ෂාරිෆ් කියන්නේ, ‘මේ වගේ තිරසාර පා වෙන නගර තනන්නේ දේශගුණික ‍විපර්යාසවලින් එල්ලවන තර්ජනයට එක් පිළියමක් හැටියටයි. දෙගොඩතලා එන ජලයත් එක්ක සටන් කරනවා වෙනුවට, ඒකත් එක සාමකාමී ජීවත්වෙන හැකි ක්‍රමයක් තමයි, මෙහිදී අප පෙන්වා දෙන්නේ.’ 

‘අපි මේ පාවෙන නගර සංකල්පයෙන් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා, වෙනස් වන කාලගුණයට මුහුණ දිය හැකි සොබාදහම පදනම් කර ගත් විසඳුම්. ඒ සඳහා ඉතා හොඳ උදාහරණයක් ලෙස මේ පාවෙන නගර ව්‍යාපෘතිය හඳුන්වන්න පුලුවන්.’ 

විශාල පිරිවැයක් දරා ඉදිවෙන මේ පා වෙන නගරය, කොරියානු ජනරජයේ බූසාන් මහ නගරයත්, එක්සත් ජාතීන්‍ගේ හැබිටැට් වැඩසටහන හා ඕෂනික්ස් සමාගම අතර ඇති කර ගත් ගිවිසුමක්ට අනුවයි.
මේ නගරයට, ආගමික, අධ්‍යාපනික, සුවසේවා මධ්‍යස්ථාන වගේ ම පොදු මහජන චතුරස්‍රයක් හා 
වෙළඳ පොළක්, ක්‍රීඩා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ද ඇතුළත්.
නිව්යෝක්හී ඕෂනික්ස් ආයතනය ඉදිරිපත් කර ඇති පා වෙන නගරයේ සැලැස්ම.

මෙහි සෑම දූපතක් ම ෂඩාස්‍ර හැඩයකින් යුක්තයි. මේ දූපත්වලට යොදා තියෙන්නේ කොන්ක්‍රීට් මෙන් දෙතුන් ගුණයක් ශක්තිමත් හුණුගල් මිශ්‍රණයක්. ඒත් ඒවා හොඳින් ජලයේ පාවෙනවා. මේ දූපත් වේදිකාවේ යට ඇති කූඩුවල රැලි ‍බ‍ෙල්ලන්, කෙල්ප් මුහුදු ශාක හා අනෙක් මුහුදු ආහාර රඳවා තියෙනවා. 

ඕෂියනික්ස් ආයතනය කියන විදියට මේ පාවෙන නගරයේ ජීවත්වෙන අයට ප්‍රධාන ආහාර වශයෙන් ගන්නට සිදු වන්නේ මුහුදු ශාක හා සාගර ජීවීන් තමයි. මේ පරිසරයට අවකාශයෙන්, බලශක්තියෙන්, ජලයෙන් වන පීඩාව අඩුයි. 

මෙහි අහසේ හා ජලාශ්‍රිතව වවන කාබනික වගාවන් ඉතා හොඳින් වැඩෙනවා. ඒවා ගොඩ බිම එළිමහනේ හා හරිතාගාරවල වැවෙන විදියට ම වැවෙනවා. අහසේ ඉහළ වැවෙන ශාක සඳහා පස අවශ්‍ය නැහැ. පරිසර වාතයේ ඇති තෙතමනය උරා ගෙනයි, ඒවා වැඩෙන්නේ. අනික් අතර රළ මත කරන වගාවේ දී ශාක හා මසුන් වගාව සඳහා යොදා ගනු ලබන්නේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් තමයි, 

මෙම නගරය නිර්මාණයේදී මුල් තැනක් දී ඇත්තේ ඒ අවට පරිසරයෙන් සොයා ගත හැකි ද්‍රව්‍යවලටයි. එහි දී යොදා ගන්නා අධිවේගයෙන් වැඩෙන උණ බට විශේෂයේ ආතන්‍ය ප්‍රබලතාව වානේවලට වඩා සය ගුණයකින් ඉහළ යැයි ද කියැවෙනවා. මෙහි ගොඩනැගිලි තට්ටු හතකට වඩා උස් විමට අවසර නැහැ. එසේ කරන්නේ තද සුළංවලට ඔරොත්තු දීම පහසු වෙන්නයි. 

පාවෙන නගරය රාත්‍රියට පෙනෙන හැටි

බුසාන්වල ගිම්හාන කාල වායුගෝලය බොහෝ විට උණුසුම් හා තෙත් ගතියෙන් යුක්තයි. මෙහි නිවාස වහල පුළුල්ව සකසා ඇති නිසා ඒ කාලයට නිවෙස් තුළට හොඳින් හිරු ආවරණයක් සලසනවා. අනික් අතට පුළුල් වහල හිරුරැස් වැඩි ප්‍රමාණයක් අල්ලා ගන්නට හැකි, සුර්යපැනල සවි කරන්නට හැකි වී තියෙනවා. 

මේ මහා නගරයේ ප්‍රමාණය තවමත් හරියට ම තීරණය කරලා නැහැ. මෙහි ඇති ලොකු ගම්මානයක් හෙක්ටෙයාර 76ක් විතර විශාලයි. නිවැසියන් 10,000කට වාසය කළ හැකියි. ‘මේ නගරයට ආගමික, අධ්‍යාපනික, සුවසේවා මධ්‍යස්ථාන වගේ ම පොදු මහජන චතුරස්‍රයක් හා වෙළඳ පොළක්, ක්‍රීඩා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ද ඇතුළත් වෙනවා.’ යයි ඕෂනික්ස් කියනවා. 

ඕෂනික්ස් කියන විදියට තවත් රජයන් ගණනාවක් මේ විදියේ පා වෙන නගර තැනීමට කැමැත්ත පළ කරලා තියෙනවා. 

‘අනාගතයේ එන මෙවැනි පා වෙන නගර නිසා වෙරළබඩ නගරවල විශාල පෙරළියක් සිදුවේවි. නව තාක්ෂණය හා සොබාදහම එක්කර තනන මේවා ජනතාව අතර ජනප්‍රිය වෙනවා සිකුරුයි.’ කියා බුෂාන් නගරාධිපති පාක් හියොංජූන් කියනවා. ඔහු තවදුරටත් කියන්නේ, ‘මේ වගේ පාවෙන නගරයක් ඉදි කරන්න බූසාන් තරම් සුදුසු තැනක් ලෝකයේ තවත් නැහැ. කොරියාව මෙවැන්නක් ඉදි කිරීමට ඉදිරිපත් වුණේ ලොකු අභිමානයක් ඇතිවයි.’කියායි. 

ලෝකයේ ඇති වෙරළබඩ නගර අතරින් බූසාන් වැනි මුහුද ගොඩගැලීම්වල අවදානමට ලක් වූ නගර රැසක් තියෙනවා. ඒ වගේම මුහුදු රළ උස්ව නැඟුණොත් නගරයේ පොදු පහසුකම් හා ගොඩනැගිලි රැසක් විනාශ වෙනවා. මුහුදේ ජල මට්ටම වැඩිවීමේ තර්ජනයක් බුසාන් නගරයට ඇති බවට අනාවැකි පළ වී තියෙනවා. ඒ වගේ තර්ජනය ඇති මුහුදුබඩ නගර රැසක් ලොව පුරා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඒ නගර හැම එකක් ආශ්‍රිතව පාවෙන නගර බිහි වේවි. 

මේ බූසාන් පාවෙන මහ නගර ව්‍යාපෘතිය ගැන මුලින් ම හෙළිකරනු ලැබුවේ පසුගියදා ග්ලාස්ගෝ නගරයේ පැවති ලෝක පරිසර සමුළුාව්දියි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

1 Comments

  1. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete