HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොපි මලට 100යි සූරිය මලට 88යි - මල් දෙකක අපූරු කතාව

අද, නොවැම්බර් 11 වැනිදා, පොපි මල් දිනයයි. 1921 නොවැම්බර් 11 වැනිදා ආරම්භ වුණු පොපි මල් දිනය (Poppy Day) අද සියවස සමරනවා. අද පොපි මල් ගසා ගෙන යන අය ලොව පුරා බොහෝ රටවල, විශේෂයෙන් බ්‍රිතාන්‍යයට යටත්ව සිට නිදහස ලැබූ රටවල පවා දැකිය හැකියි. අද පොපි මල දකින අපේ සිහියට නැ‍ඟ‍ෙන්නේ ඊට එරෙහිව ආ සූරිය මලයි. ඒ ආගමනය සිද්ධ වුණේ 1933 නොවැම්බර් 11 වැනිදා. ඒ අනුව සූරිය මල අද 88 වසර සමරනවා. මේ සූරිය මලේ උපත නිසා තමයි, අපේ රටේ නිදහසට හා සමාජවාදයට පාර කැපුණේ. මේ මල් ‍දෙකේ කතාව අපේ අලුත් පරම්පරාව නිවැරදිව දැන සිටිය යුතු නිසා අද ඒ ගැන කියන්නයි, යන්නේ. 

පොපි දිනයට පලඳින කඩදාසි මලක්

මුලින් ම ආවේ පොපි මලයි. 1914 දී ආරම්භ වී 1918 දී අවසන් වුණු පළමු වන ලෝක යුද්ධය නිසයි. පොපි මල් ව්‍යාපාරය ආරම්භ වුණේ. ලෝක යුද්ධය අවසන් වූයේ 1918 නොවැම්බර් 11 පෙරවරු 11 ටයි. එදින ක්ෂමා දිනයක් (Armistice Day) ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. පළමුවන ලෝක යුද්ධයේ පාර්ශ්වකරුවන් වූ ජර්මනියත්, මිත්‍ර පාක්ෂිකයන් වෙනුවෙන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු රාජ්‍ය අතර සමාදාන වීමේ ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ ක්ෂමා දිනය තෙවන වරට සමරද්දී තමයි, පොපි දිනය බිහි වුණේ. අපේ රට ඒ වන විට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්වයි, තිබුණේ. 

වසරක් වසරක් පාසා 11 වැනි මාසයේ 11 වැනිදා 11 පසුවී මිනිත්තු 11ට මුළු රට ම මිනිත්තු 5ක් කාලයක් නිශ්ශබ්දව හිඳිමින් පළමු වන ලෝක සංග්‍රාමයෙන් මිය ගිය ඉංග්‍රීසි සොල්දාදුවන් සිහි කළ යුතු බවට එදා අප රට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුව නියෝග කොට තිබුණා. ලොව පුරා බ්‍රිතාන්‍ය යටත් විජිත සියල්ලට ම ඊට හිස නමන්නට සිදු වුණා. ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ඒ සියල්ල පිළිගෙන කටයුතු කළා. ලංකාවත් ඊට අනුගත වුනත් මෙරට ජාතික මාමක පිරිස් ඊට එරෙහිව කටයුතු කරන්නට යෙදුණා. 

එකල හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලි ලබා සිටි මහා බ්‍රිතාන්‍යය විසින් මේ ‍පොපි දිනය පැවත්වුණේ, පළමු වන ලෝක යුද්ධයෙන් මිය ගිය හා ආබාධිත අය වෙනුවෙන් ආධාර එකතු කරන, ඔවුන් සිහිපත් කරන දිනය ලෙසයි. එදාට පොපි මලක් මිලදී ගෙන පැලඳීම තමයි, සිරිත වුණේ. සෑම වසරකම 11 වැනි මාසේ 11 වැනි දිනය පොපි දිනය ලෙස සැලකුවත් ඒ මල් පැලඳීමේ සිරිත එළඹෙන ඉරිදා දක්වා පවත්වා ගෙන යාම සිදු කෙරුණා. සැබෑ පොපි මල වෙනුවට කඩදාසි මලක් තමයි, දැන් පලඳින්නට යොදා ගන්නේ. 

මේ පොපි මල් සතිය තුළ එකතු කරන ආධාරවලින් සහන සැලසුණේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට පමණක් වීම නිසාත්, ඒ යුද්ධයටම ගිය අපේ සොල්දාදුවන්ට ඒ ආධාරවලින් සහන නොසැලසූ නිසාත්, ලාංකිකයන් ඊට විරුද්ධ වුණා. 

පොපි මලක්

අප යටත් කරගෙන සිටි ඉංග්‍රීසි අධිරාජ්‍යයට විරෝධය පාන්නට ඔවුන්ගේ පොපි මල් ව්‍යාපාරයට එරෙහි වන්නට සිංහලයේ ජාතිමාමක පිරිස් එක් වෙන්නට පටන් ගත්තා. ඒ අතර ඉහළින් ම සිටියේ‍, පළමු වන ලෝක යුද්ධයට ගිය හමුදා නිලධාරියෙක්. ඔහු ඊලියන් පෙරේරායි. “සුද්දො අපේ රටේ මිනිසුන්ගෙන් පුලුවන් තරම් වැඩ ගත්තා. අපේ මිනිස්සුත් සිය දහස් ගණනක් යුද්ධයට ගිහින් මැරණා. උන් පොපි මල් විකුණලා ඒ සල්ලි උන්ගෙ රටට අරන් යනවා. යුද්ධය නිසා අපේ රටේ අතපය නැති වෙච්ච, නැති බැරි වෙච්ච අයට සතයක්වත් දෙන්නේ නැහැ. මිය ගිය අයගේ පවුල්වලට සහන දෙන්නේ නෑ” කියමින් සේවා මුක්ත බළකායේ නිලධාරියකු වූ ඊලියන් පෙරේරා මේ ජාතික මාමක තරුණ පිරිස් දිරිමත් කළා, සූරියමල් ව්‍යාපාරයට එක් වන්නට. නිදහස ලබා ගැනීමේ අදහසින් එක් වූ පිරිසට සූරිය මල ලොකු රුකුලක් වුණා. 

යුද සේවයෙන් පසු අධිනීතිඥයකු වශයෙන් කටයුතු කළ ඊලියන් පෙරේරා සිංහලයන් එක්රැස් කර ගෙන සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කළ බර්ගර් ජාතිකයෙක්. පොපි මලට එරෙහි සූරිය මල යොදා ගැනීමේ අදහස 1931 දී පමණ ඔහුගේ සිතෙහි ඇති වුවද ඔහුට එය ක්‍රියාවට නැංවිය හැකි වූයේ 1933 නොවැම්බර් 11 වැනිදා පැවති පළමු විධිමත් රැස්වීමකින් පසුවයි. 

එදින පොපි මල් ව්‍යාපාරයට පමණක් නොව සුදු අධිරාජ්‍යයටද අභියෝග කරමින් ඉංග්‍රීසි ආණ්ඩුව නියෝග කළ වේලාවට නිශ්ශබ්දතාව රකිනවා වෙනුවට කොළඹ ඇතුළු නගර ගණනාවකම අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් ඝෝෂා කරන්නට ඔවුන් කටයුතු කළා. ඔවුන් පොපි මල් වෙනුවට සූරිය මල් අළෙවි කළා. දුකට පත් ලාංකිකයන්ට පිහිට වන්නට ඒ මගින් අරමුදලක් ඇති කළා. 

සූරිය මලක්

සූරියමල් ව්‍යාපාරයේ ප්‍රථම රැස්වීම පැවැත්වුණේ කොළඹ ලෝටස් පාරේ පිහිටි දොස්තර මේරි රත්නම් මහත්මියගේ නිවසේදියි. ඒ රැස්වීමට පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ඇම්. ජී. මැන්දිස්, විල්මට් ඒ. පෙරේරා, ‍ජේ. ටී. සී. කොතලාවල, වර්නන් ගුණසේකර, බී. ජේ. ප්‍රනාන්දු, රොබින් රත්නම්, සෙලීනා පෙරේරා (පසුව ඇන්. ඇම්ගේ බිරිඳ වූ) හා අයිලීන් වීරසේකර ඇතුළු පිරිසක් සහභාගි වුණා. මාතරින් ආ නියෝජිත පිරිසට නායකත්වය දුන්නේ එවකට මොරවක රාජ්‍ය සභා මන්ත්‍රණ සභා නියෝජිත දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි. ඒ පිරිසට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඩොරීන් යං මෙණෙවිය (පසුව දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ බිරිඳ වූ) ද එක්ව සිටියා. එදා පිහිටුවන ලද සූරියමල් ව්‍යාපාරයේ ප්‍රථම සභාපතිනිය වූයේ ද ඩොරීන් යං මෙණෙවියයි. රොබින් රත්නම් හා ටෙරන්ස් ද සිල්වා ලේකම්වරුන් ලෙස පත් වුණා. 

සූරිය මල් ව්‍යාපාරය ජනතාව අතරට යන්නේ රට පාලනය කළ අධිරාජ්‍යවාදීන්ගේ පොපි මලට එරෙහිවයි. එහෙත් එය එක් අතකින් අධිරාජ්‍ය විරෝධී ලාංකික ව්‍යාපාරයේ ම කොටසක් ද වුණා. කහ පැහැති සූරිය මලට ලාංකිකයන් ආදරය කරන්නත් ඒ වටා රොක්වන්නටත් පටන් ගත්තා. 

මෙසේ ආරම්භ වූ සූරිය මල් ව්‍යාපාරය කෙටි කාලයක් තුළ දිවයින පුරාම පැතිර ගියා. මහනුවර, යාපනය, ගාල්ල හා මාතර නගරාශ්‍රිතව ශාඛා ඇති කෙරුණා. ඔවුන්ගේ මූලික අරමුණට අමතරව එම ව්‍යාපාරය පහත් යැයි නොසලකා හරිනු ලැබූ කුල හා ජන සමාජවල දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. 

ජාතිමාමක කවීන් ද සූරිය මල් ව්‍යාපාරයට එක්ව සිටියා. ඒ අතර දිවංගත පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් ප්‍රධානයි. ඔහු සූරිය මල් ව්‍යාපාරය වෙනුවෙන් පොපි මලට එරෙහිව කවියෙන් එදා අදහස් පළ කළේ මෙහෙමයි. 

යුදයට ගොසින් වෙඩි සැර කඩු පහර     වැදී 
අප රට වැසියන්ට එක සතයකුදු        නොදී 
සුදු ගැටවලින් තරවත් අරමුදල           පොදී 
මිලයට ගතොත් පොපි මල් හෙන හතම වදී 

පොපි මල්වලින් තරවෙයි අදිරද         වාදේ 
පිළිකුල් කරමු එය දුටු තැන තැන     බේදේ 
කහමල් පැලඳ ගත හොත් ජයසිරි       මූදේ 
මනකල් අමන්දහසක් අමරස             පෑදේ 

1934-35 වසරවල අගනුවරින් බැහැර ප්‍රදේශවල මැලේරියාව වසංගතයක් සේ පැතිර ගියා. කෑගල්ල, පොල්ගහවෙල, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දැරණියගල ඇතුළු දිවයින පුරා ලක්ෂයකට අධික ජනතාවක් මැලේරියාවෙන් මරණයට පත් වුණා. එවකට පැවති සුදු ආණ්ඩුව, එයට නිසි ලෙස මැදිහත් නොවීම නිසා දරුණු ලෙස මැලේරියාවෙන් පීඩාවට පත් වූ වැසියන්ට පිහිට වීමට කඩිනමින් ඉදිරිපත් වුණේ, සූරිය මල් ව්‍යාපාරයේ සාමාජිකයන්. ඉංග්‍රීසි පාලකයන් නොසලකා හැරිය දුර බැහැර ප්‍රදේශවල ජනතාවට තමන්ගේ වියදමෙන් ඖෂධ, හාල්, සීනි හා වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එහි සාමාජිකයන් ගමින් ගමට දොරින් දොරට ගියා. සූරිය මල් ව්‍යාපාරයේ කැපී පෙනුනු සාමාජිකයකු වූ ඇන්. ඇම්. පෙරේරාට අපේ ගැමියන් ‘පරිප්පු මහත්තයා’ යයි නමක් ද පට බැන්දේ ඒ පළාත්වල ජනයාට කළ සේවය සලකලයි. 

සූරිය මලෙන් උපන් අපේ වාමාංශික නායකයෝ - දෙස්තර එස්. ඒ වික්‍රමසිංහ, ආචාර්ය ඇන් ඇම්, පෙරේරා, ඩොරීන් වික්‍රමසිහ මැතිනිය, පිලිප් ගුණවර්ධන හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා.

ඒ කාලයේ මැලේරියා‍ වසංගතයෙන් වඩාත් පීඩා විඳි කෑගල්ල ප්‍රදේශයේ තත්වය ගැන, එහි උප දිසාපතිවරයා ලෙස සේවය කළ එෆ්. සී. ගිබ්සන් නම් ඉංග්‍රීසි ජාතිකයා එකල තැබූ මේ සටහනෙන්, එදා පැවති තත්වය අවබෝධ කර ගත හැකියි. “මම ඒ ගම් පුරා ගෙයින් ගෙට ගියෙමි. එක් දුගී පැල්පත දරුවකු වැදූ මවක අසරණව සිටියාය. ඒ දෙදෙනාට සාත්තු සප්පායම් කිරීමට කිසිවකු සිටියේ නැත. පණ ඇති සැවොම, මැලේරියාව සෑදී උණ විකාරයෙන් දොඩවමින්, වෙවුලමින් බලා සිටියහ. ඒ ළඟ ළඟ එන මරු වැළඳ ගැනීමට සූදානමිනි. ගෙය තුළ මැරෙන තම ඥාතියාගේ මළ සිරුර භූමදානය කිරීමටවත් ඔවුනට හැකියාවක් නැත. තවත් පැල්පතක ජීවත්ව සිටියේ එක් බිළිඳියක පමණි. ඈ මිය ගිය මවගේ තනයෙන් කිරි උරා බොමින් සිටියාය.” 

සූරිය මල් ව්‍යාපාරය මගින් ගෙන ගිය මැලේරියා මර්දන ව්‍යාපරයේ පෙරමුණ ගත්තේ දොස්තර එස්. ඒ වික්‍රමසිංහයි. ඔහුගේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ පිලිප් ගුණවර්ධනගේ මහ ගෙදර වූ බොරලුගොඩ වලව්වයි. ‘බොරලුගොඩ සිංහයා’ ලෙස ප්‍රකට ව සිටි බොරලුගොඩ රාළහාමි ද සිය පුතුන් දෙදෙනා වූ පිලිප් හා රොබට් සමග ඊට මහත් කැපවීමෙන් ඊට දායක වුණා. 

සූරිය මල් ව්‍යාපාරයේ නායකයන් විපතට පත් ජනතාවට බේත්හේත්, ආහාර ද්‍රව්‍ය ලබා දෙමින්, නන් අයුරින් උපකාර කළා පමණක් නොව මිය ගිය අයගේ භූමදාන කටයුතු පවා ඉටු කර දුන්නා. ජනතාව, විශේෂයෙන් පීඩිත ජනතාව ඔවුන් වටා රොක් වුණා. ඔවුන්ගේ දුක්ගැනවිලි කියන්න පටන් ගත්තා. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි, ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට මැදිහත් වීම පිණිස ‍මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය බිහි වුණේ. ඒ සූරිය මල් ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂයයි. ඊට සූරිය මල් ව්‍යාපාරයේ අනෙක් නායකයන් ද එක් වුනත්, පසුව ඇති වූ දේශපාලන මත ගැටුම් නිසා පසු කලෙක, පිලිප් ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි වෙන් වී ගොස් සමසමාජ පක්ෂය පිහිටුවා ගත්තා. පසුව ඇති වූ වාමංශික ප්‍රවාහයට මුල් වූයේ සූරිය මල් ව්‍යාපාරයෙන් මතු වූ ඒ පක්ෂ දෙකයි. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments