HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තණ අග රැඳුණු ‘බින්දුදය’ (Guttation) ඇති වන්නේ කෙසේ ද?

ඇතැම් දිනෙක උදෑසන හබරල, ලූනු වැනි ශාකවල පත්‍ර අග්‍ර මත කුඩා දිය බිඳුවක් රැඳී තිබෙනු ඔබ දැක තිබෙන්නට පිළිවන. මෙය පින්න නිසා හට ගන්නා පිනි බිඳු කියා වරදවා වටහා නො ගතයුතුය. පිනි බෑමක් සිදු නො වන අවස්ථාවල අනෙකුත් ශාක පත්‍රවල දැකිය නො හැකි මේ ජලබින්දු ඇති වන්නේ ශාකය තුළින් පිටතට පැමිණි ජලය නිසාය. 

ශාක පත්‍ර මත සිදුවන බින්දුදය ක්‍රියාවලිය

ශාකවල සෛලමීය නාළ තුළ ගලන ජලයෙන් කොටසක් මෙලෙස ඉවතට ගලන්නේ මුල්වලින් වැඩියෙන් ජලය උරා ගැනීමත් උත්ස්වේදනය මගින් එම වැඩිමනත් ජලය ඉවතට යාම සිදු නොවීමත් හේතු කොට ගෙනය. ශාක පත්‍ර දාරවල හා අග්‍රවල පිහිටි ජල ඡීද්‍ර නම් වූ සියුම් සිදුරු විශේෂයක් හරහා මෙලෙස ජලය පිටවීම සිදුවේ. බින්දුදය ක්‍රියාවලිය සිදුවන්නේ හිමිදිරි පාන්දර යාමයේ නිසා උදෑසන වනවිටත් එම ජලය පත්‍ර අග්‍රවල තිබෙනු දැක ගත හැකිවේ. 

‘බින්දුදය’ යන වදනෙහි අරුත වන්නේ ජල බින්දුවක් යන්නයි. එසේ ම එහි අනුරූප ඉංගිරිසි වදන වූ Guttation යන්න බිඳී ආ Gutta යන ලතින් පදයේ අරුත වන්නේ ද ‘බිඳුවක්’ යන්නයි. වාතයේ තෙතමනය අධික දිනවල රාත්‍රියේ සිදුවන මෙම බින්දුදය ක්‍රියාවලිය දැක ගත හැක්කේ ඇතැම් ශාක විශේෂවල පමණි. ඉහත දැක්වූ හබරල, ලූනු ආදියට අමතරව තෘණ වර්ග, තක්කාලි, තිරිඟු, බාර්ලි හා ස්ට්‍රෝබෙරි ආදියේ ද මෙය දැක ගත හැකිය. 

බින්දුදය ශාකයකට හානිකර ක්‍රියාවක් නොවේ. නමුත් බින්දුදය ජලය ලෙස පිට වන්නේ සෛලම් නාළ තුළ අඩංගු ජලය බැවින් එම ජලයේ විවිධ ලවණ වර්ග හා සීනි වැනි දෑ අන්තර් ගතවේ. මදුරුවන් වැනි කුඩා කෘමි සතුන් ආහාරයට ගන්නේ මේ බින්දුදය යි. මෙහි ඇති ජල කොටස් දහවල් කාලයේ දී හිරු එළිය වැටීමත් සමග වාෂ්ප වී යන බැවින් එම ලවණ කොටස් වැඩි සාන්ද්‍රණයකින් පත්‍ර අග එක් රැස්ව පැවතීම හේතුවෙන් ඇතැම් විට එම පත්‍ර අග්‍ර පිළිස්සී යාමට ඉඩ තිබේ. මේ නිසා එවැනි වගාවන්ට උදෑසන ජලය ඉස බින්දුදය ජලය සොදා හැරීමට ලක් කෙරේ. එසේම එලෙස සීනි වැනි ආහාර තැන්පත් වීම ශාකය මත දිලීර වර්ධනයට ද හේතුවිය හැකිය. බින්දුදය ක්‍රියාවලිය මුල්වරට අනාවරණය කොට ඇත්තේ ක්‍රි.ව. 1887 දී බර්ගර්ස්ටීන් (Burgerstein) නම් අයෙකු විසිනි. 

- තිලක් ගමගේ

Post a Comment

0 Comments