පරිසරයට වන මහ විපතක් පෙන්වන සුන්දර වදනක් - සුපෝෂණය (Eutrophication)

ඇතැම් ජලාශවල ජලය මුළුමනින් ම පාහේ කොළ පැහැතිව පවතින අවස්ථා ඔබ කොතෙකුත් දැක තිබෙන්නට පිළිවන්. බොහෝ විට ජනාකීර්ණ පෙදෙස්වල නැතිනම් ගොවිබිම් හෝ කාර්මික පරිසරවල වැව් පොකුණු ආදියේ මේ තත්වය දැකිය හැකියි. එම ජලාශවලට සීමාව ඉක්මවා නයිට්රේට හා පොස්පේට වැනි ලවණ එකතු වීම නිසා මේ තත්වය ඇති වෙනවා. මෙසේ ලවණ ප්‍රමාණය වැඩි වන විට ඒ ජලයේ ඇල්ගී වර්ධනය ඉතා වේගවත් වන්නට ගන්නවා. 

මේ සුපෝෂණය ජලයේ වෙසෙන අනෙකුත් ‍ජීවීන්ට මරු කැඳවනවා.

ටික කලකින් මුළු ජලාශය ම කොළ පැහැ ගැන්වෙන තරමට ඇල්ගී ප්‍රමාණය වැඩි වන අතර එමගින් මුළු ජලාශය ම වැසී යාම හේතුවෙන් හිරු එළිය ලැබීම ද වැළකී යාමට පිළිවන්. මේ හේතුවෙන් ඇල්ගී මිය යාමට පටන් ගන්නා අතර එම මළ ඇල්ගී වියෝජනය කිරීමේ කාර්යය සඳහා ජලයෙන් ඔක්සිජන් උරා ගැනෙනවා. එවිට ජලයේ වෙසෙන අනෙකුත් ජීවීන්ට එහි ජීවත් වීමට නොහැකිව ඔවුන් මියයන අතර සමස්ත ජලාශය ම මළ ජලාශයක් බවට පත්වෙනවා. 

එසේ ම එම ක්‍රියාවලියේ දී හයිඩ්‍රජන් සල්ෆයිඩ් හා ඇමෝනියා වැනි වායු නිකුත්වීම හේතුවෙන් එම ජලයේ දුර්ගන්ධයක් ද ඇති වෙනවා. මෙම දුර්ගන්ධය ජලය පවිත්‍රීකරණ ක්‍රියාවලී මගින් පවා ඉවත් කිරීම බෙහෙවින් දුෂ්කර කාර්යයක්. මෙම සුපෝෂිත ජලයේ ඉතා සියුම් ඝන අංශු පාවෙමින් පවතින නිසා එම ජලය භාවිතයට ගන්නා විදුලි බල උත්පාදනය වැනි අවස්ථාවල දී එම අංශු යන්ත්‍ර තුළ හිරවීම නිසා විවිධ දුෂ්කරතා මතු වන බව ද වාර්තා වෙනවා. 

බේරේ වැව විශාල වශයෙන් කොළ පැහැතිව පැවති අවස්ථාවක්

ඉහත සිද්ධියට පාදක වූයේ ජලයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පෝෂණය ලැබීමයි. මේ හේතුවෙන් පරිසරයට විශාල බලපෑමක් සිදු වෙනවා..මේ ක්‍රියාවලිය තමයි, ‘සුපෝෂණය’, ‘සුපෝෂකත්වය’, ‘සුපෝෂත්වය’ යන වදන්වලින් හැඳින්වෙන්නේ. මේ වදන් වෙනුවට යොදන ඉංගිරිසි පාරිභාෂික වදන Eutrophication යන්නයි. ඒ වදන සෑදී ඇත්තේ ග්‍රීක වදන් දෙකක් එකතුවීමෙන්. Eu හා tropikas යන එම ග්‍රීක වදන්වල අරුත් පිළිවෙළින් ‘මැනවින්’ හා ‘පෝෂණය’ යන්නයි. 1907 දී ජර්මන් ජාතික උද්භිද විද්‍යාඥයකු වූ ජෝර්ජ් හෙන්රික් ව‍ෙබර් විසින් මෙම වදන මුලින්ම භාවිතයට හඳුන්වා දුන් බවයි, වාර්තා වන්නේ. ස්වභාවික පරිසරයකින් වට වී පවතින ජලාශවල පවා මේ තත්වය ඇතැම් විට දකින්නට පිළිවන් වුවත් මෙය නිරීක්ෂණය වන මට්ටමට වාර්තා වීමට පටන් ගත්තේ 1940 දශකයේදි සිටයි. 

සුපෝෂණය (Eutrophication) සිදුවන හැටි

රසායනික පොහොර භාවිතය පාලනය කිරීම, වගාබිම්වල පසෙහි නිතර ම ආවරණ වැස්මක් පවත්වා ගැනීම, ජලාශ මායිම් වටා ගස් රෝපණය කිරීම, ජලාශවලට අපද්‍රව්‍ය මුදා හැරීම පාලනය කිරීම හා ගොවිතැන් කටයුතුවලදී පස පෙරළීම සීමා කිරීම ආදිය මගින් සුපෝෂණ තත්වය ඇති වීම වළක්වා ගන්නට හැකිවෙනවා. ආසියාවේ මුළු ජලාශ ප්‍රමාණයෙන් සියයට 54ක්, යුරෝපයේ සියයට 53ක්, උතුරු ඇමෙරිකාවේ සියයට 48ක්, දකුණු ඇමෙරිකාවේ සියයට 41ක්, හා අප්‍රිකාවේ සියයට 28ක මෙම සුපෝෂණ තත්වයට ගොදුරු වී ඇති බව දැනගැනීම තුළින් එය කෙතරම් දරුණු පාරිසරික හානියක් ද යන්න වටහා ගත හැකියි. 

- තිලක් ගමගේ 

 


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments