මෙවර සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය මෙවර හිමි වූයේ ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නා (Abdulrazak Gurnah)ටයි. වෙනස් නොවන යටත්විජිතවාදය නිසා ඇති වූ හානිකර තත්වයන් දෙස සානුකම්පිතව, දැඩි අවධානයකින් යුතුව නොවෙනස් ව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුගේ නවකතාකරණය අගය කරන බවයි, ස්වීඩිෂ් ඇකඩමිය ගුර්නාට සම්මානය පිරිනමන්නට තීරණය කළ බව ප්‍රකාශ කරමින් සඳහන් කළේ. ඒ අනුව ලබන දෙසැම්බරයේ පිරිනැමෙන නොබෙල් රන්පදක්කම සමග ඔහුට ස්විඩිෂ් රන්පවුම් දශ ලක්ෂයක (ඩොලර් මිලියන 1.14ක) මුදලක් හිමි වනු ඇති.
දැන් 73 හැවිරිදි වියේ පසුවන ගුර්නාගේ මවුබස සවාහිලි වුනත් පොත් ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔහු දැනට නවකතා 10ක් ලියා පළ කර තියෙනවා. 1948 සැන්සිබාරයේ උපන් ඔහු එංගලන්තයට ආවේ සරණාගතයකු ලෙසයි. ඒ 1964 සැන්සිබාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් නිසා 18 හැවිරිදි වියේ දී ඔහු එංගලන්තයට පලා යාමට සිදු වුණා. එංගලන්තයේ දී දරිද්‍රතාවය නිසා ඇතිවුණු තත්වයන් මත ඇති වූ තනිකම, පාළුව මකා ගන්නට ඔහු දිනපතා සටහන් තබන්නට පටන් ගත්තා. ඒ සටහන් පසුව දීර්ඝ සටහන් බවට පත් වුණා. ඉන් පසු ඔහු තමාගේ මතක සටහන් හා වෙනත් පුද්ගලයන් පිළිබඳ අත්දැකීම් ගැන ලියන්නට පටන් ගත්තා. ඒ අභ්‍යාසය තමයි, ඔහුට පළමු වන නවකතාව ලියන්න උදව් වුණේ. මේ වන විට ඔහු තවත් නවයක් ලියා තියෙනවා.
‘මං කවදාවත් නවකතාකාරයෙක් වෙන්න හිතුවෙ නෑ. මට ඕනෑ වුණේ ඉංජිනේරුවකු වැනි ප්‍රයෝජනවත් වෘත්තියක යෙදෙන්නයි.’ ඔහු කියනවා.
ඔහු මෑතක දී විශ්‍රාම යනතෙක් සේවය කළේ කැන්ටබරියේ කෙන්ට් විශ්ව විද්‍යාලයේ පශ්චාත් යටත් විජිත සමයේ සාහිත්‍යය හා ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයා වශයෙනි. 1986 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ වොලී සොයින්කා (Wole Soyinka) නම් නයිජීරියානු කවියාගෙන් පසු අප්‍රිකානු කළු ජාතිකයකුට ඒ සම්මානය හිමි වුණේ මේ වතාවෙදියි.
ඔහු කියන්නේ, තමා සරණාගත අර්බුදය, යටත්විජිතවාදය ආදිය තුළින් තමා ලත් අත්දැකීම් නිසා ඒ පිළිබඳව තම ප්‍රබන්ධ මගින් සාකච්ඡා කළ නිසා මේ සම්මානය පිරිනමන්නට ඇතැයි කියායි. ‘ඒවා අපේ එදිනෙදා ජීවිතවලට බද්ධ වුණු දේවල්. ජනතාව මැරෙනවා. ජනතාවට හිරිහැර කිරීම ලොව පුරා ම සිදුවෙනවා. ඒවා ගැන වඩාත් කරුණාවෙන් සලකා බලන්න ඕනෑ.’ ඔහු කියනවා.
‘එංගලන්තයට ආවේ සරණාගතයෙක් හැටියටයි. ඒත් ඒ තත්වය අදට වඩා වෙනස්. අද ජනතාව වැඩියෙන් පීඩාවට පත් වෙනවා. භීෂණයෙන් පිරුණු රාජ්‍යවල ජනතාව දිවි බේරා ගන්න ලොකු සටනක් ගෙන යනවා, ඒ රාජ්‍යවලින් පලා යන්න දඟලනවා. 1960 ගණන්වලට වඩා අද ලෝකයේ ප්‍රචණ්ඩකාරීත්වය වැඩියි. ඒ නිසා ම ආරක්ෂා සහිත රටවලට එල්ලවෙන පීඩනයත් වැඩියි. ඒ වගේ ම වැඩි පිරිසකට අවස්ථාව දෙන්න ඔවුන්ට සිදු වෙනවා.’ ගුනාර් කියනවා.
1994 දී පළ වූ ‘පැරඩයිස්’ නවකතාව ලියවුණේ 20 වැනි සියවසේ මුල් හරියේ ටැන්සෑනියාවේ හැදී වැඩුණු ළමයෙකුට, පසුව ‘බුකර් සම්මානය’ට නම් කරනු ලැබීමෙන් නවකතාකරුවකු වීමට ඉඩ සැලසුන ආකාරයයි. ඒ චරිතයට ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල වැටී ඇතැයි සැලකෙනවා.
‘අබ්දුල් රසාක් ගුර්නා යථාර්ථවාදී රීතිය භාවිත කරමින් සරලව සිත් ගන්නා අයුරින් සත්‍යය හෙළිදරවු කිරීමට නවකතාව යොදා ගෙන තියෙනවා. නැගෙනහිර අප්‍රිකාවේ ජීවත්වන විවිධ සංස්කෘතිවලට අයත් ජනතාවගේ ජීවනය පිළිබඳ අපූරු විස්තරයක් ඔහුගේ නවකතා තුළින් අපේ නෙතු මානයට ගේනවා. ලෝකයේ වෙනත් කලාපවල වෙසෙන බොහෝ දෙනා නොදන්නා කරුණු ඔහු ඒ නිර්මාණ තුළින් මතු කර පෙන්වනවා. ඔහු ගොඩනඟන චරිත, සංස්කෘතීන් හා මහාද්වීප අතර එතෙක් පැවති ජීවිතය හා මතු වී එන ජීවිතය අතර ඇති හිඩැසකට හිර වී ඇති බවක් පේනවා. එය කිසිදාක නොවිසඳෙන අනාරක්ෂක තත්වයක් ලෙසයි දැක්වෙන්නේ.’ යයි නොබෙල් කමිටුව ඔහුගේ කෘතීන් සඳහනක් කරනවා.
නොබෙල් සම්මානය තමාට ලැබෙන බව දැනුම් දුන් මොහොතේ ඊට මවිතය පළකරමින් ගුනාර් කීවේ, ‘මට පුදුම හිතුණා. මා තුළ නිහතමානී ආඩම්බරයක් ඇති වුණා. ඒක ශ්‍රේෂ්ඨ සම්මානයක්! විශාල මුදල් ත්‍යාගයක්! ඒක දිනා ගත් විශිෂ්ට ලේඛකයන්ගේ දැවැන්ත ලැයිස්තුවක්. ඒකට එකතු වෙන්න ලැබීම මා වාගේ ලියන්න පටන් ගත්ත ගමන් ඉන්න ලේඛකයකුට හිතා ගන්න බැරි තරම් දෙයක්.’ ඔහු කීවා.
නොබෙල් ත්‍යාගය ආරම්භ වුණේ 1901දියි. නොබෙල් සම්මාන පිරිනැමුණේ සාහිත්‍යය, විද්‍යාව, සාමය හා පසු කාලෙක ආර්ථික විද්‍යාවටයි. සාහිත්‍යය සඳහා මෙතෙක් නොබෙල් ත්‍යාගය සඳහා සම්මාන දිනූවත් අතර අර්නස්ට් හෙමිංවේ, ගාබ්‍රියෙල් ගාෂියා මාකේශ්, ටෝනි මොරිසන් වැනි නවකතාතරුවන්, පැබ්ලෝ නෙරූඩා, ජෝශප් බ්‍රොඩ්ස්කි, රබීන්ද්‍රනාත් තාගෝර් වැනි කවියන් ද හැරල්ඩ් ප්‍රින්ටර්, ඉයුජින් ඕනීල් වැනි නාට්‍යකරුවන් ද සිටිනවා. පසුගිය වසරේ සම්මානය හිමි වුණේ ලුවිස් ග්ලක් නම් ඇමරිකානු කවියාටයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල්ටත් සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය 1953 දී හිමි වුණා.
මීළඟ ලිපියෙන් අනෙක් නොබෙල් සම්මාන ලද්දන් ගැන බලාපොරොත්තු වන්න.
0 Comments