HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න! ලෝකයේ ළා බාලම තාරකා විද්‍යාඥවරිය - නිකොලී

මේ 8 හැවිරිදි නිකෝලී ඔලිවීරා (Nicole Oliveira) ලෝකයේ ඉන්නා ළා බාලම තාරකා විද්‍යාඥවරියයි. ඇමරිකාවේ නාසා ආයතනය සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන අය දැනටමත් අභ්‍යනාශයේ සැරිසරන ග්‍රහ වස්තූන් 18ක් දැනටමත් සොයා දීලා. නාසා ආයතනය අන්තර් ජාතික තාරකා විද්‍යා ගවේෂණාත්මක සහයෝගිතා වැඩ සටහනක් දියත් කර තියෙනවා. ඒ අනුව ලොව පුරා විසිරී සිටින අහස නිරීක්ෂණය කරන ආධුනික තාරකා විද්‍යාඥයන්ට, ගවේෂකයන්ට ඒ වැඩ සටහනට එක් වන ලෙසට ඇරයුම් කළා. ඊට ප්‍රතිචාර වශයෙන් විශාල පිරිසක් ඊට එක් වුණා. නිකෝලී ඔලිවීරා පුංචි දැරිය මේ තාරකා වැඩ සටහනට සම්බන්ධ වුණේ ඒ අනුවයි. 

බ්‍රසීලියානු ජාතික 8 හැවිරිදි නිකෝලී ඔලිවීරා මෙසේ ඡායාරූපයට පෙනී සිටියේ 
2021 සැප්තැම්බර් 21 වැනිදා බ්‍රසීලයේ ෆෝටෙලාසා නගරයේදියි.

නිකෝලී ඔලිවීරා ජීවත්වන්නේ බ්‍රසීලයේ ෆෝටෙලාසා නගරයේයි. ඇය අහස ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේ යම්තම් දනිපනිගා ඇවිදින සමයේ සිටයි. ඇය බහතෝරණ අවදියේ සිට ම ඇය අහසට දෙසට දෑත් දිගු කරමින් යම් යම් දේ කී බව ඇගේ දෙමාපියන් කියනවා. නාසා ආයතනයේ වැඩ සටහන් හා සම්මන්ත්‍රණවල දී ඇයට විද්‍යාඥයන් හමුවීමට ද අවස්ථාව ලැබුණා. ඒ වැඩ සටහන යටතේ ආරම්භ කළ ‘ග්‍රහක දඩයක්කාරයෝ’ (Asteroid Hunters) නම් ව්‍යාපෘතියට සම්බන්ධ වෙලයි දැන් ඇය වැඩ කරන්නේ. ඒ ව්‍යාපෘතියේ අරමුණ තරුණ තරුණියන් තමන්ගේ ම සොයා ගැනීම් කරන්න පෙලඹවීමයි. 

පුංචි නිකෝලීගේ කාමරය සෞරග්‍රහ මණ්ඩලයේ පෝස්ටර්වලින් පිරිලයි තියෙන්නේ. ඇගේ පවුලේ උදවිය කියන්නේ ඒ හැරෙන්නට කබඩ්වලත් රාක්කවලත් ස්ටාර් වෝස් චිත්‍රපටයේ ආ චරිතවල අනුරූ තැන්පත් කර ඇති බවයි. ඇයට මේ ව්‍යාපෘතියට එක්වීමට අවස්ථාව සැලසුණේ බ්‍රසීලයේ විද්‍යා අමාත්‍යංශය නාසා ආයතනයත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන නිසයි. 

ඇමරිකාවේ නාසා ආයතනය සමග සම්බන්ධ වී වැඩ කරන ඇය ලෝකයේ 
ළා බාලම තාරකා විද්‍යාඥවරිය ලෙසයි සැලකෙන්නේ.

පුංචි නිකෝලී ඒඑෆ්පී පුවත්සේවයට මහත් ආඩම්බරයෙන් කීවේ තමා දැනටමත් ග්‍රහක වස්තූන් 18ක් අලුතින් සොයා ගෙන ඇති බවයි. ඇය සැලසුම් කර ඇත්තේ ඒවා බ්‍රසීල විද්‍යාඥයන්ගේ හා අම්මා තාත්තා වැනි සිය පවුලේ අයගේ නම් යොදා ගෙන ඒවා නම් කරන්නයි. 

ඇයට මේ ග්‍රහ වස්තූන් නිශ්චිතව ග්‍රහකයන් ලෙස හඳුනා ගැනීම වසර කීපයක් ගත වුණා. ඒ අනුව ඇය මුල් ම ග්‍රහකය සොයා ගත් වයස ගැන සලකන විට ඇය ග්‍රහකයක් සොයා ගත් ළා බාල ම තැනැත්තිය වනවා නිසැකයි. එහෙම වුනොත් ඇය අතින් ඉතාලි ජාතික ආධුනික තාරකා විද්‍යා විද්‍යාඥයකු වූ ලුයිගී සන්නිනෝ (Luigi Sannino) ග්‍රහක දෙකක්, 1998 දී හා 1999 දී සොයා ගෙන ළා බාල තාරකා විද්‍යාඥයා වෙමින් 18 හැවිරිදි වියේ දී තැබූ ලෝක වාර්තාව බිඳ වැටෙනවා සිකුරුයි. 

‘පුංචි වුනත් නිකෝලිට තියෙන්නෙ පුදුම ඇසක්! ඇයට හැකියාව තියෙනවා දුටු විගස ග්‍රහකයක් හඳුනා ගන්න. එයා අනිත් ළමයින්ටත් ඒවා ගැන කියා දෙනවා.’ යයි ඇගේ තාරකා ගුරුවරිය වූ හේලියෝමාසියෝ ර‍ොඩ්‍රිගෝ මොරිරා කියනවා. 

නාසා ආයතනය අන්තර් ජාතික තාරකා විද්‍යා ගවේෂණාත්මක සහයෝගිතා වැඩ සටහන මගින් ඉතා දියුණු තාරකා විද්‍යාත්මක තොරතුරු හා අලුත් ම දත්ත ලොව පුරා සිටින පුරවැසි විද්‍යාඥයන්ට ලබා දෙනවා. ග්‍රාහක ගවේෂණ කටයුතු දිරිමත් කිරීමට ව්‍යාපෘති බිහිකර ඇත්තේත් ඒ වැඩ සටහන මගිනුයි. මෙය නාසා ආයතනය මගින් ලොව පුරා විසිර සිටින තාරකා නිරීක්ෂකයන්ට නොමිලයේ ලබා දෙන සේවාවකි. 

ඇගේ නිදන කාමරය සෞරග්‍රහ මණ්ඩලයේ පෝස්ටර්වලින් පිරිලා තියෙනවා.

මෙසේ අහසේ සැරසරණ කුඩා ගුහකයක් හඳුනා ගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයි. එවැන්නක ඇති පුංචි චලනයන් දින ගණනක් රාත්‍රිය තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් ඡායාරූප ගැනීමෙන් පසුවයි, එය ග්‍රහකයක් වශයෙන් තීරණය කළ හැක්කේ. 

මේ වැඩ සටහනට එක් වුණු තාත්තෙකුයි 7 හැවිරිදි පුතෙකුයි තරුවක් වටා භ්‍රමණය වන වායුව සපිරි ග්‍රහයන් දෙනෙකු සොයා ගෙන තියෙනවා. ඒ තරුව නම් කර ඇත්තේ HD 152843 කියලයි. එය දීප්තියෙන් G ගණයට අයත් වාමන තරුවක්. එහි මතුපිට උෂ්ණ්වය කෙල්වින් 5,300ත් 6,000ත් අතර යැයි සැලකෙනවා. ග්‍රහයන් නම් කර ඇත්තේ b සහ c කියායි. ඒ තරුව අපේ සූර්යයාට සමාන එකක්. b ග්‍රහයා අපේ පෘථිවිය මෙන් 3.4 ගුණයක් ලොකුයි. නෙප්චූන් ග්‍රහයාට සමානයි. එය ඒ තරුව වටා කක්ෂයක සෑම දින 12කට වරක් යනවා. c ග්‍රහයා අපේ පෘථිවිය මෙන් 5.8 ගුණයක් ලොකුයි. එය ඒ තරුව වටා කක්ෂයක දින 19ත් 35ත් අතර දින ගණනක් තුළ යන බව‍ටයි නිගමනය කර ඇත්තේ. එ්ක හරියට දින 88ක වරක් අපේ සූර්යයා වටා යන බුද ග්‍රහයා වගෙයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments