HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආලෝකය නිපදවන මේ විස්මිත අවස්ථා තුන ඔබ දන්නෙහිද?

තාපදීප්තිය (Incandescence), සංදීප්තිය(Luminescence) හා ප්‍රතිදීප්තිය (Fluorescence) 


තාපදීප්තියට නිදසුනක් - විදුලි බල්බය.

ආලෝකය නිකුත් වන බොහෝ අවස්ථා ඔබ දැක ඇති. දැල්වූ ඉටි පන්දමක්, රෑ සැරිසරණ කලාමැදිරියෙක් හෝ CFL පහනක් ඉන් උදාහරණ කීපයකි. ඉහත අවස්ථා තුනේදී ම ආලෝකය නිකුත්වුව ද අදාළ වන ක්‍රමවේදයන් එකිනෙකට වෙනස් ය. ලිපියේ මාතෘකාවේ දැක්වෙන වදන් තුන පිළිවෙළින් එම ක්‍රියාවලීන්ට අදාළ වේ. ඉටිපන්දමක් දැල්වෙන විට නිකුත් වන දැලි අංශු රත් වී දිලිසීම නිසා ඉන් තාපය නිකුත් වේ. මෙය තාපදීප්තියයි (Incandescence). මෙහි ඉංගිරිසි වචනෙහි එන candes යන්න බිඳී ආවේ ‘සුදුපැහැ වනතෙක් රත්වී දිළිසීම’ යන අරුත දෙන Incandescere යන ලතින් වචනයෙනි. ඉටිපන්දමට කියන candle යන වචනය ද එයින් ම බිඳී ආවකි. යකඩයක් රත් කරන විට මුලින් රතුපැහැයටත්, පසුව සුදුපැහැයටත්, හැරෙන්නේ යකඩය තාපය උරාගෙන ආලෝක තරංග නිකුත් කිරීම හේතුවෙනි. 

සංදීප්තිය සඳහා නිදසුනක් - මෙහි ඇත්තේ ජෛවසංදීප්තියයි.

රාත්‍රියේ ඔබ මොබ සැරිසරණ කලාමැදිරියෙකු වරින් එළිය විහිදවීම දැකීමට ප්‍රිය උපදවන දසුනකි. මෙහිදී ඉටිපන්දමක මෙන් රත් වීමක් කිසි අයුරකින් සිදු නොවන බවව ටහා ගැනීම අසීරු නැත. එම එළිය සැබැවින්ම සිසිල් ආලෝකයකි. කලාමැදිරියන් රෑ බදුල්ලන් මෙන්ම රාත්‍රී කාලයේ එළිය විහිදුවන ඇතැම් හතු වර්ග තුළ ලුසිෆෙරින් (Luciferin) නම් වූ සංයෝගයක් අන්තර්ගත ය. මෙය ලුසිෆෙරේස් නම් එන්සයිමයක උපකාරයෙන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමේ දී නිදහස් වන ශක්තිය ආලෝකය ලෙස නිකුත්වේ. මෙම ආලෝකය එම සතුන් දෙදෙනාට තම ආරක්ෂාව සඳහාත්, රාත්‍රියේ පිපෙන හතුවලට හ්වායේ බීජාණු ව්‍යාප්තිය සඳහා කුඩා සතුන් තමන් වෙත කැදවා ගැනීමටත්, උපකාරී වේ. එබැවින් එම ජීවීන් ආලෝකය නිකුත් කරන්නේ අවශ්‍ය වූ විටෙක පමණි. මෙය සංදීප්තිය සඳහා නිදසුනකි. ජීවීන් තුළ සිදුවන්නක් නිසා එය ‘ජෛවසංදීප්තිය’ (bioluminescence) ලෙස විශේෂ කොට දැක්වේ. සංදීප්තිය ඉහත ආකාරයට රසායනික විපර්යාසයක් නිසා හෝ විද්යුත් ශක්තියේ බලපෑමෙන් හෝ උපපරමාණුක අංශුවල චලනය හේතුකොට ගෙන හෝ ස්ඵටිකයක් මත ඇති කෙරෙන බාහිර බලයක් නිසා හෝ හට ගත හැකිය. සංදීප්තිය යන තේරුම දෙන ඉංගිරිසි පදය වන luminescence යන්න බිඳී ආවේ ආලෝකය යන අරුත දෙන lumen නම් ලතින් පදයෙනි. 

මාර්ග සංඥා වඩාත් පැහැදිලිව පෙනෙන්නට ප්‍රතිදීප්තිය භාවිත කෙරේ.

ඇතැම් රසායනික ද්‍රව්‍ය මතට ශක්තිය පතිත වූ විට එම ශක්තිය උරාගෙන ආලෝකය නිකුත්කිරීමට ඒවාට හැකියාව ඇත. ටියුබ් ලයිට් එකකට නැතිනම් CFL පහනකට සපයන විදුලිය එම පහන් තුළ ආලේප කර ඇති ප්‍රතිදීප්ත ද්‍රව්‍ය මගින් උරාගෙන ආලෝකය නිකුත් කරනු ලබයි. මෙම සංසිද්ධිය ප්‍රතිදීප්තිය ලෙස හැඳින්වේ. ඉංගිරිසි බසින් එය හැඳින්වෙන්නේ Flourescence යනුවෙනි. එම වදන බිඳී ආ ආකාරය පිළිබඳ නිශ්චිතව පැහැදිලි කිරීමක් නැත. මෙහිදී උරාගන්නා ශක්තියට වඩා අඩුමට්ටමක ආලෝක ශක්තියක් නිකුත් කෙරේ. ටියුබ් ලයිට්වල මෙන්ම වර්තමානයේ නිවෙස් ආලෝකමත් කිරීමට භාවිත වන LED පහන් වල ද උපයෝගී කර ගන්නේ මෙම ප්‍රතිදීප්ති ක්‍රියාවලියයි. 

- තිලක් ගමගේ 

 

Post a Comment

0 Comments