HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නූතන මානවයාගේ අලුත් ම පුරුක ඉතියෝපියාවෙන් සොයා ගනියි!

නූතන මානවයාගේ අලුත්ම පුරුක ලෙස හඳුනාගෙන ඇත්තේ හෝමෝ බෝඩෝඑන්සිස් (Homo bodoensis) නම් වසර 500,000කට පෙර අප්‍රිකාවේ විසූ ආදිමානවයෙක්. මේ බව හෙළිවී ඇත්තේ ඒ පිළිබඳව කළ අලුත්ම අධ්‍යයනයකිනි. වෙනත් මානව විශේෂයකට අයත් යැයි මෙතෙක් විශ්වාස කළ, අප්‍රිකාවෙන් හා යුරෝපයෙන් සොයා ගන්නා ලද ඉපැරණි පොසිල, නැවත විශ්ලේෂණය කිරීමෙන් පසුවයි, විද්‍යාඥයන් මේ නිගමනයට එළඹ ඇත්තේ. 

නව මානවයාට ඍජුවම නෑකම් කිව හැකි හෝමෝ බෝඩෝඑන්සිස් මානවයා සිත්තරකු දකින අයුරු.

මේ නව විශ්ලේෂණයෙන් හෙළිවී ඇත්තේ මේ මානව විශේෂය වසර ලක්ෂ පහකට පමණ පෙර ජීවත්ව සිටින්නට ඇත කියායි. හෝමෝ බෝඩෝඑන්සිස් ලෙසින් නම් කර ඇති මේ වත්මන් මානවයාගේ ආසන්නම ඥාතියා ලෙස සැලකිය හැකි මේ මානවයා මධ්‍යම ප්ලීස්ටෝසීන යුගයේ ජීවත්ව සිටින්නට ඇතැයි විශ්වාස කරනවා. 

කැනඩාවේ විනිපෙග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තමා මේ අධ්‍යයනයට සහභාගිි ඇත්තේ. මනවයාගේ පරිණාමය පිළිබඳහොඳෝන් වටහා නොගත් මේ කාල පරිච්ඡේදය මේ පර්යේෂණය නිසා ලෝකයේ විද්‍යාඥයන්ගේ වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා. 

කැනඩාවේ විනිපෙග් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මිර්ජානා රොක්සැන්ඩික් (Mirjana Roksandic) ඔවුන්ගේ නව අධ්‍යයනය ගැන අදහස් දක්වමින් මෙ‍ෙහම කියනවා. “ඒ කාලයේ මානව පරිණාමය පිළිබඳව අවබෝධය අද තරම් දියුණු තත්වයක තිබුණේ නැත. ඒ වගේම මානව භෞමික විවිධත්වය පැහැදිලිව තේරුම් ගැනීමට අවශ්‍ය වාංමාලාවක් තිබුණේ ද නැත.” යැයි කියන ඒ මහාචාර්යවරිය කලින් මේ පොසිල විග්‍රහ කළ අය ඒවා කර තිබුණේ සීමිත පරාසයක් තුළ සිට බවත් අද තත්වය අනුව පුළුල්ව විමසා බලන විට මේවා තුළින් ඊට වඩා වෙනස් තත්වයක් දැකගත හැකි වූ බවත් පැහැදිලි කරනවා. 

ඉතියෝපියාවේ බෝඩෝඩාර් ප්‍රදේශයෙන් හමු වූ ඒ ආදි මානවයාගේ පොසිල හිස් කබල.

සාම්ප්‍රදායානුකූලව මේ පොසිල හඳුනා ගැනීමේ දී ඒවා ඇතුළත් කරන්නේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් (H. heidelbergensis) හෝ හෝමෝ රෝඩේසියන්සිස් (H. rhodesiensis) ගණ දෙකෙන් එකකටයි. කෙසේ වෙතත්, මෑත දී කරන ඩීඑන්ඒ සාධක පරීක්ෂාවකදී හෙළි වුණා, යුරෝපයෙන් හමුවූ සමහර පොසිල හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් කියා නම් කළාට ඒවා ඇත්තෙන්ම නියැන්ඩර්තාල්වරුන්ගේ ආදීමයන්ට අයත් බව. මේ අතර, එම කාලයට අයත් වූ අප්‍රිකානු පොසිල කලින් හඳුනාගෙන තිබුණේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් හෝ හෝමෝ රෝඩේසියන්සිස් යන දෙකටම අයත් කියායි. මෙයින් තත්වය තවත් අවුල් වුණා. 

මේ නව අධ්‍යයනයේ දී පර්යේෂකයන් සොයා ගත්තා, ඉතියෝපියාවේ බෝඩෝ ඩාර් (Bodo D'ar) ප්‍රදේශයෙන් හමුවූ පොසිල හිස් කබල හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් හෝ හෝමෝ රෝඩේසියන්සිස් යන ගණ දෙකටම අයත් නොවන බව. එය සම්පූර්ණයෙන්ම වෙනස් අනන්‍යතාවක් ඇති අයෙකුගේ බව තහවුරු කෙරුණා. ඒ හිස් කබල සොයා ගත් ප්‍රදේශයට ගරු කිරීමක් ලෙස මේ මානව විශේෂය හෝමෝ බෝඩෝඑන්සිස් ලෙස නම් කරනු ලැබුවා. 

මේ මානවයා ගැන තවමත් අප දන්නේ ඉතාමත් ටිකකි.

මේ නව විශේෂය ගැන තාමත් අප දන්නේ විස්තර ටිකක් පමණයි. පර්යේෂකයන් විශ්වාස කරන විධියට හෝමෝ බෝඩෝඑන්සිස් මානවයා ශීතල දේශ ගුණවලට ඔරොත්තු දෙන ආකාරයට හැඩ ගැසුණු, මිටි, මහත සිරුරක් ඇති අයකු විය හැකියි. වැඩුණු පිරිමියකු අඩි 5 අඟල් 9ක් උස, බරින් රාත්තල් 140ක් විය හැකි වන අතර ගැහැනිය අඩි 5යි අඟල් 2ක් උස, බරින් රාත්තල් 110ක් පමණ වන්නට ඇතැයි ඔවුන් අධ්‍යයනයේ සඳහන් කරනවා. 

මේ මානව විශේෂය, නව මානවයා අප්‍රිකාවෙන් පිට වීමටත් අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර වඳ වී යන්නට ඇතැයි සැලකෙනවා. 

තව දුරටත් ඉදිරියට යද්දී අප්‍රිකාවෙන් ආ මධ්‍යම ප්ලීස්ටෝසීන මානවයන් වැඩි දෙනෙකුත්, අග්නිදිග යුරෝපයෙන් හමුවූ මානවයන් කීප දෙනෙකුත් හෝමෝ බෝඩෝඑන්සිස් පැවත එන අය ලෙස වර්ගීකරණය කළ හැකි අතර යුරෝපයෙන් හමුවූ වැඩි දෙනකු නියැන්ඩර්තාල් ගණයෙහි ලා සැලකිය හැකි යැයි ඒ අධ්‍යයනයේ සඳහන් වෙනවා. 

ඒ මානව හිස් කබලේ පොසිලය හමු වූ ස්ථානය, බෝඩෝඩාර්. ඔහු නම් කර ඇත්තේ ඒ ස්ථාන නාමය අනුවයි.

මේ අධ්‍යයනයේ අනෙක් හවුල්කරුවකු වූ ප්‍රීඩ්‍රෑග් රැඩෝවික් කියන්නේ, ‘විද්‍යාවේ දී සන්නිවේදනය කරන විට නිශ්චිත වදන් නිරවුල්ව භාවිත කරන්න ඕනෑ. යම්හෙයකින් ඒවා පොසිල වාර්තාවලට වෙනස් වුණොත් ඒ වදන් මත තදින් එල්බ ගෙන සිටීම අවශ්‍ය නැහැ.’ කියායි.

පර්යේෂණ කණ්ඩායම අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ නව සොයා ගැනීම් නිසා බරපතල ගැටලුවක් විසඳී මධ්‍යම ප්ලීස්ටොසින අවධිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ලබා ගත හැකිවේවි කියායි. 

මහාචාර්ය මිර්ජානා රොක්සැන්ඩික් කියන්නේ, ‘නව විශේෂයක් නම් කිරීම විශාල අභියෝගයක්. සත්වවිද්‍යා නාමකරණය පිළිබඳ අන්තර්ජාතික කොමිසම ඊට අවසර දී ඇත්තේ දැඩි නීති රීති යටතේයි. අපට විශ්වාසයි, මේ නම දිගු කලක් භාවිත වේවි කියා. නව වර්ගිකරණ නාමයක් කලක් පවතින්නේ අනෙක් පර්යේෂකයන් ඉදිරියට එය භාවිත කරන්නේ නම් පමණයි.’ කියායි. 

මානවයා මිහිමත පහළ වූ දා සිට කතාව කෙටියෙන් 

වසර මිලියන 55කට පෙර - ප්‍රථම ප්‍රාථමික ප්‍රිමාටේසයා බිහිවීම. 

වසර මිලියන 15කට පෙර - ගිබන් වානරයන්ගේ ආදිමයන්ගෙන් හොමිනිඩේ (මහා වානරයන්) මතුවීම. 

වසර මිලියන 7කට පෙර - මුල්ම ගෝරිල්ලාවන් බිහි වීම. පසුව චිම්පන්සින් හා මානව පෙළැන්තිය ව්‍යාප්තිය ආරම්භ වීම. 

වසර මිලියන 5.5කට පෙර - චිම්පන්සින්‍ගේ හා ගෝරිල්ලන්ගේ ගති ලක්ෂණ සහිතව ආදිපිතිකස් නම් ප්‍රාග් ප්‍රාථමික මානවයා බිහිවීම. 

වසර මිලියන 4කට පෙර - වානර මානවයා, ඔස්ට්‍රෙලෝපිතිසයින්ස් (Australopithecines) මතුවීම. ඔවුන්ගේ මොළය චිම්පන්සින්ට වඩා ලොකු නැති වුනත් අනිත් මානව ලක්ෂණ ඔවුන් වෙත දක්නට ලැබුණා. 

වසර මිලියන 3.9- 2.9 කට පෙර - ඔස්ට්‍රෙලෝපිතිකස් ඇෆ්රෙන්සිස් (Australoipithecus afarensis) අප්‍රිකාවේ වාසය කිරීම. 

නියැන්ඩර්තාල් මානවයා සිත්තරකු දකින හැටි

වසර මිලියන 2.7කට පෙර - විශාල හකුපාඩා ඇති පැරැන්ත්‍රෝපස් වනාන්තර ගතව ජීවත්වීම. 

වසර මිලියන 2.6කට පෙර - මානවයා තනා ගත් අත් පොරව පළමු මෙවලම ලෙස බිහි වීම. 

වසර මිලියන 2.3කට පෙර - හෝමෝ හැබිලිස් පළමුවරට අප්‍රිකාවෙන් මත් වීම. 

වසර මිලියන 1.85කට පෙර - පළමුවරට ‘නව මිනිස් අත’ මතුවීම. 

වසර මිලියන 1.8කට පෙර - පොසිල වාර්තාවලින් හෝමෝ අර්ගැස්ටර් මානවයා ගැන හෙළිවීම. 

වසර ලක්ෂ 8කට පෙර - මුල්ම් මිනිසා ගින්දර පාලනය ඇරඹීම. මොළය කෙමෙන් විශාල වීම ඇරඹීම. 

වසර ලක්ෂ 4කට පෙර - නියැන්ඩර්තාල්වරුන් බිහි වීම. ඉන්පසු ඔවුන් යුරෝපයට හා ආසියාවට සංක්‍රමණය වීම.

 - පර්සි ජයමාන්න


Post a Comment

0 Comments