HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජූඩෝ හඳුන්වා දී ආත්මාරක්ෂක සටන් ක්‍රම ලෝකයට එක්කළ ජිගොරෝ

සටන් කලාව අද ලොව පුරා ප්‍රචලිත ක්‍රීඩාවක්. සිරුර හා මනස පාලනය කරන්න ඉතා හොඳ ක්‍රීඩාවක් ලෙසයි, මේ සටන් කලාව හැඳින්වෙන්නේ. ලොව ඉපැරණිම සටන් ක්‍රමය ලෙස හැඳින්වෙන්නේ ‘කලාරිපේයත්තු’ (kalaripayattu) නම් ඉන්දියානු සටන් ශිල්පයයි. එහි අරුත ‘යුද බිමේ සටන් ක්‍රමය’ යන්නයි. වසර දහස් ගණනක් පැරණි මේ සටන් කලාව අපේ රටේ ‘අංගම්පොර’ වැනි සටන් ශිල්පයක්. මෙහි පාලනය අල්ලා ගත් සුදු ජාතිකයන් අංගම්පොර තහනම් කළා සේ ඉන්දියාවේ පාලනය අල්ලා ගත් සුද්දන් කලාරිපේයත්තු සටන් ශිල්පය පුහුණුව ඉගැන්වීම මුළුමනින් ම තහනම් කළා. ඒ නිසා ඒවා ඒ කාලේ භාවිතයෙන් ඈත් වුනත් දැන් යළිත් පණ ගසා ගෙන එනවා දැක ගන්න පුලුවන්. දැන් ලොව පුරා කලාවක් ලෙස ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් උගන්වනවා. 

‘ජූඩෝ’ ක්‍රීඩාව හඳුන්වා දුන් ජිගොරෝ කානෝ

සටන් කලාවට ප්‍රසිද්ධ, අද අනුස්මරණය කෙරෙන සුවිශේෂී පුද්ලයෙක් ඉන්නවා ඔහු තමා ජපන් ජාතික ජිගොරෝ කානෝ (Jigoro Kano). මීට අවුරුදු 161 පෙර අද වගේ ඔක්තෝබර් 28 වැනි දාක උපන් ඔහු තමා ලොවට ‘ජූඩෝ’ (Judo) ක්‍රීඩාව හඳුන්වා දුන්නේ. ජිගොරෝ කානෝ මලල ක්‍රීඩකයෙකු හා අධ්‍යපනඥ‍යකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධව සිටියා. ජූඩෝ ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩාවට එක් කිරීමට පුරෝගාමී වූයේත් ඔහුයි. ලබන පුහුණුව හා දැනුම මත ශ්‍රේණි ගත කිරීම්වලට දෙන කළු සහ සුදු පටි ක්‍රමය ලොව මුලින් ම ඇති කළේත් ඔහුයි. අද එය ලොව පුරාම හැම සටන් ක්‍රමයටකටම භාවිත කරනවා. ඒ වගේ ම ඔහු ජූඩෝ ක්‍රීඩාවට හඳුන්වා දුන් අදාර්ශ පාඨ වන ‘අවම වෑයමකින් උපරිම සඵලත්වයක්’(maximum efficiency with minimum effort) හා ‘අන්‍යෝන්‍ය යහසාධනයට හා ප්‍රයෝජනයට’ (mutual welfare and benefit) යන ඒවා අද වෙනත් සටන් කලාවනටත් යොදා ගන්නවා. 

ජිගොරෝ කානෝ වයස අවුරුදු 17 දී ජියු ජිට්සු ඉගෙන ගන්නට පටන් ගත්තේ. ඒ වගේ දෙයක් ගැඹුරෙන් ඉගෙන ගන්න ඔහුට තවමත් වයස මදි කියලයි ඔහුගේ පුහුණුකරු රියුජි කටගිරි හිතුවේ. ඒ වුණාට කානෝ ජියු ජිට්සු ඉගෙන ගත්තා පමණක් නොව, 1882 දී කෝඩෝකාන් (Kodokan) නම් ජුඩෝ පුහුණු ආයතනය පටන් ගෙන ජියු ජිට්සු උගන්වන්නත් පටන් ගත්තා. 

ජිගොරෝ කානෝ කාන්තාවන්ට ජූඩෝ පුහුණු කඳවුරක් පවත්වද්දී

ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රථමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ 1910 ගණන්වල ජුඩෝ හා කෙන්ඩෝ (උණ බට කඩුවලින් කරන) සටන් කලාවන් ජපානයේ පාසල්වල ඉගැන්වීම ආරම්භ කළා. අන්තර් ජාතික ක්‍රීඩා පිළිබඳ පුරෝගාමියකු වූ ඔහු 1909 සිට වසර 39ක් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රථම ආසියානු සාමාජිකයා ලෙස කටයුතු කළා. වසර විසි හතරක් තිස්සේ සෑම ඔලිම්පික් උළෙලක් සඳහා නිල නියෝජිතයා වශයෙන් සහභාගි වුණා. 

ජූඩෝ ක්‍රීඩාව 1960 තමයි, ඔලිම්පික් උළෙලේ පිළිගැනීමට ලක්වුණේ. 1964 උළෙ‍ලේ දී පිරිමින්ට පමණක් වෙන් වූ ඉසව්වක් ලෙස එය පැවැත් වූ අතර, එය කාන්තාවන්ට විවෘත වූයේ 1992දියි. දැන් පැරා ඔලිම්පික්වලත් එය ඉසව්වත් බවට පත් වී තියෙනවා. 

ජූඩෝ යන ජපන් වදනෙහි සිංහල අරුත ‘මෘදු ක්‍රමය’ට යන්නයි. අවි ආයුධ රහිතව කරන සටන් ක්‍රමයක් වන මේ ක්‍රමයට ප්‍රතිවාදියා බිම හෙළන්නේ දෑතේ ශක්තියෙන්. ජූඩෝ ක්‍රීඩකයා කිසිවිටෙකත් සිය ප්‍රතිමල්ලවයාගේ ප්‍රහාරයකදී ප්‍රතිප්‍රහාර දීමක් කරන්නේ නැහැ. ඔහු කරන්නේ ප්‍රහාරකයා ඔහු වෙත එල්ල කරන බලය ආපසු ඔහු වෙත හැරවීම පමණයි. 

ජූඩෝ ක්‍රීඩාව උපන්නේ ජියු ජිට්සු (Jiu Jitsu) හෙවත් ජී ජුට්සු (Ju Jitsu) යන පැරණි ක්‍රීඩාවෙන්. ඒ ක්‍රීඩාව ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් අතරින් බිහිවූවක්. එය ජපානයට ගියාට පසු සමුරායිවරුන්ගේ යුද සටන් ශිල්පයක් බවටපත් වුණා. ඒත් වර්මානයේ පවතින ක්‍රමය ජපානයෙන් ලෝකයට ගිය එකක්. තමයි. 

ජූඩෝ තරගයක යෙදෙ‍න ක්‍රීඩකයන් දෙදෙනෙක්

කරාතේ යන ජපන් වදනෙහි සිංහල අරුත ‘හිස් අත’ යන්නයි. ඒ අනුව එය අවි රහිත සටන් ක්‍රමයක්. දැන් වර්තමානයේ භාවිත කරන කරාතේ ක්‍රීඩාවේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ෆනුකෝශි ගිශින් (Funakoshi Gichin) (1869-1957) තමයි. ඔහු ඉදිරිපත් කළ කරාතේ ශෛලිය හැඳින්වෙන්නේ ‘ෂොටෝකාන්’ (Shotokan) කියලයි. චීනයේ ආභාසයෙන් එහි සාම්ප්‍රදායික සටන් පුහුණු කලාවක් තිබුණු ඔකිනාව‍ා දූපතේ තමයි, ඔහු උපන්නේ. ඔහු අවුරුදු 11දී සිටයි, ‘ඔකිනාවාතේ’ නම් එහි පැවති සාම්ප්‍රදායක සටන් ක්‍රමය ඉතොසු අන්කෝ (Itosu Anko) ගෙන් ඉගෙන ගන්නට පටන් ගත්තේ. 

කරාතේ උපන්නේ ඔකිනාවා කොදෙව් රැසෙන් එකකයි. දිගු කලක් ස්වාධීන රාජධානියක්ව පැවති ඔකිනාවා කොදෙව් රැස අසල්වැසි චීනයේ ආභාසය ලැබූ එකක්. අදත් එහි ජපානයට වඩා වෙනස් සාම්ප්‍රදායික අනන්‍යතාවක් තියෙනවා. අප අද කරාතේ කියා හඳුන්වන ලොව පුරා ප්‍රචලිතව ඇති ක්‍රීඩාවේ ෆනුකෝශි ගිශින් විසින් සකසා හඳුන්වා දුන් එකක්. ජපානය කරාතේ පිළිගත්තේ මීට වසර 82කකට පෙරයි. 

ජූඩෝවලින් පසු කරාතේ, ටෙයිකවොන්ඩෝ (Taekwondo) ආදියත් ඔලිම්පික් උළෙලේ ඉසව් බවට පත් වුණා. කරාතේ හා කුංග්ෆූ මඳක් සමාන සේ පෙනුනත් එහි ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. ප්‍රතිමල්ලවයා සමග පොර බැදීමේ දී ඔහු මෙල්ල කර ගැනීමටයි, කුංග් ෆූ උදව් වෙන්නේ. ඒ වෙනුවට ප්‍රහාරාත්මක සටන් රටාවක් ඇති කරාතේ මගින් ප්‍රතිවාදියාට පහසුවෙන් හානි සිදු කළ හැකියි. 

අද ලොව පුරා සෑම රටකම පාසල් ළමයින්ට ආත්මාරක්ෂක සටන් කලාව උගන්වනවා. ඒවා ඔලිම්පික් උළෙලේ තරග ඉසවු බවටත් පත් වෙලා. මෙහි ආරම්භකයා වූ ජූඩෝ ලොවට හඳුන්වා දුන් ජිගොරෝ කානෝ මීට වසර 161කට කලින් හරියටම අද වගේ දවසක උපන් අයෙක්. ඔහු උපන්නේ 1860 ඔක්තෝබර් 28 වැනිදා. මියගියේ 1938 මැයි 4 වැනිදායි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments