සෙංකඩගල නුවර රජකම් කළ රාජාධිරාජසිංහ රජතුමා තමන් හා තරඟයට කවි කී යුවතියකට තෑගි වශයෙන් ‘දෙයියන්නෙවෙල’ වෙල් යාය දුන් කතාව කලින් වතාවක ‘මල්කැකැළු’ තුළින් අප කීවා ඔබට මතක ඇති. අද කියන්න යන්නේ ඒ රජතුමාගේ තවත් යහගුණයක්. රාජාධිරාජසිංහ රජු, අපේ රජවරුන් අතර සිටි හිටිවන කවියෙහි දක්ෂයෙක්. ඒ වගේම එතුමා රාජගුරු මොරතොට ධම්මක්ඛන්ධ මාහිමියන්ගෙන් එළු, මගධ, සංස්කෘත ආදිය උගත් අයෙක්. ඒ නිසාම එතුමාගේ කාලයෙහි සාහිත්‍ය ප්‍රබෝධයක් ද ඇති වුණේ, එතුමා නිර්මාණකරණයට උගතුන් පෙලඹවූ නිසයි.
ඒ රජතුමාගේ කාලයේ විසූ ගිහි පැවිදි උගතුන් අතර අත්තරගම රාජගුරු බණ්ඩාර, මොරතොට රාජගුරු ධම්මක්ඛන්ධ මහ නාහිමි, තිබ්බොටුවාවේ සිද්ධාර්ථ නාහිමි, සාලිඇලේ ස්වාමි, කරතොට ස්වාමි, දුනුවිල ගජනායක නිලමේ ආදීන් සිටි බව සඳහන් වෙනවා. ඒ අතරින් කරතොට ස්වාමීන් විසින් කරන ලද බාරස කාව්‍යය හෙවත් ‘බරනමගබසක’ නම් දුෂ්කර පද්‍ය නිබන්ධනය ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ පද්‍යබන්ධනය රජුට පිළිගැන්වූ අවස්ථාවේ දී රජතුමා උන්වහන්සේ ගම්වරයක් ප්‍රදානය කොට, හිටි වන කවියකින් පොරොන්දුවක්ද දුන් බව ප්‍රවාදයෙහි සඳහන් වෙනවා. ඒ කවිය මෙහෙමයි,
නර දෙට මෙමා බුහුමන් කරපු හැටිය ට
වරිගෙ ට ගෝල නමකට ඔබගෙ යමෙකු ට
වරද ට යමක් නොකරමි මින් ඉදිරිය ට
අති පූජ්‍ය වැලිවියේ සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් පසු සංඝරාජ පදවිය අහෝසි වී ගියෙන්, මහා නායක පදවිය ඇති කරන ලද්දේ ඉන් අනතුරුවයි. පළමුවන මහනායක පදවිය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මාහිමියන්ට පිරිනැමුණා. උන්වහන්සේ සියම් නිකාය ඇරඹූ උපාලි මාහිමියන් ප්‍රමුඛ සංඝ සභාවෙන් උපසම්පදාව ලද හිමි නමක්. වර්තමානයේ මහානායක හිමියන් තෝරා පත් කරන විසිනව දෙනකුගෙන් යුත් මහා කාරක සංඝ සභාව ඇති කරනු ලැබුවේ ද ඒ අවධියේයි.
රාජාධිරාජසිංහ රජ සමයේ වැඩ සිටියේ මහානායක පරපුරේ සිවුවැනියා වූ මොරතොට රාජගුරු ධම්මක්ඛන්ධ මහ නාහිමියන් වූ අතර, රජතුමා උන්වහන්සේගෙන් ශබ්ද ශාස්ත්‍රය හා බුද්ධ ධර්මය ඉගෙන ගත් ගෝලයකු වුණා. මේ ගුරුගෝල දෙපළ අතර ලොකු සම්බන්ධයක් ගොඩ නැඟී තිබුණා. මේ කාලයේ මොරතොට නාහිමියන් පිළිබඳ කටකතාවක් රටපුරා පැතිර ගියා. ඒ කටකතාවෙන් කියැවුණේ ‘රාත්‍රි කාලයේ දී එක්තරා ස්ත්‍රියක් මහානායක හිමියන්ගේ පන්සලට පැමිණෙන බව’යි. මේ බව ඇමතිවරුන් විසින් රජුට සැලකළ වේලේ රජු ඒ ගැන අතිශයෙන්ම කම්පා වුණා.
සිය ගුරු හාමුදුරුවන්ට නැඟූ මේ අපවාදය තමාට කළ අවමානයක් සේ සැලකූ රජතුමා ඒ ගැන තමන් විසින් ම පරීක්ෂාකර බලා උන් වහන්සේට සිදු වූ අපකීර්තිය මකාලන්නට කල්පනා කළා. ඒ සඳහා වෙස්වළාගෙන පරීක්ෂණයක යෙදෙන්නට රජතුමා සිතුවා.
ඒ සඳහා එක රාත්‍රියක රජතුමා ස්ත්‍රියක සේ අතකර කනකර අබරණින් සැරසී, වෙස්වළා ගෙන පන්සලට ගොස් මහනාහිමියන්ගේ ආවාසයෙහි නාහිමියන්ගේ සයනය අසල වූ කවුළුවෙන් සිය වළලුවලින් සැරසුණු අත ඇතුළට දැම්මා. නාහිමියන් දැන සිටියා රාත්‍රියේ එවැනි විටෙක කිසිවකු පන්සලට නොඑන බව. එහෙයින් නාහිමියන් එසැණින් ඒ රජතුමාගේ අත බව හැඳිනගත්තා. තමා පරීක්ෂා කරන්නට රජතුමා ඇවිත් සිටින බව සැක හැර තේරුම් ගත් නාහිමියන් ඒ බව අඟවන්නට මේ කවිය කිව්වා.
ඇසළ මස දුටිමි යනවා දෙව්කෙළි යේ
අසල ක නම් දැක දැක සිටිනට පිරි යේ
සකල සිරිලකට අග රද නුඹද ලි යේ
රජතුමා ඒ කවිය අසා මවිතයට පත් වුණා. නාහිමියන් තමා ඇඳින ගෙන කී ඒ කවි රසයෙන් රජතුමා මත් වුණා. ඒ නිසා නාහිමියන් කෙරෙහි ප්‍රසන්න වූ රජතුමාත් ඊට කවියකින් ම පිළිතුරු දුන්නා.
විතර නොවන ගුණනැණ සපිරි නාවන්
පවර ගුණැති මොරතොට යති මනාවන්
සසර වසනතුරු මට වාසනාවන්
රජතුමා පසුවදා ඇමති මණ්ඩල රැස්වීමේ දී මේ ගැන හෙළිදරවු කළා. තමා කළ පරීක්ෂණයෙන් උන්වහන්සේගේ නිර්දෝෂී භාවය ගැන තමා සෑහීමකට පත් වූ බවත්, මින් මනත එවැනි අපවාදයක් උන්වහන්සේට නොකළයුතු බවත් දැඩිව ප්‍රකාශ කළා.
0 Comments