HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බන්දුල වර්ණපුරට දුන් අමානුෂික දඬුවම ගැන අදටත් උත්තර දෙන්න කෙනෙක් නෑ

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත ඒ ගමන යාමට දුලිප් හා රෝයි දෙදෙන‍ා ටෝනි ඕපාතට බැහැයි කීවේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි අමාත්‍ය ගාමිණී දිසානායක ක්‍රිකට් නායකත්වය ගැන ඔවුන්ට දුන් පොරොන්දු නිසයි. ඒ වගේ ම තනතුරුවලට අමතරව මුල්‍ය පහසුකම්, දිරිදීමනා ඇතුළු වෙනත් ප්‍රතිලාභ රැසක් දෙන බවට එකඟවිම නිසයි. 

ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර/div>

අනික් අතට දකුණු අප්‍රිකාවට මුදල් ගෙවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට සිදු වූයේ දරුණු ලෙස වර්ණභේදය දිගටම පවත්වාගෙන යාම නිසා ජාත්‍යන්තර තරග තහනමක් පැනවීම හේතුවෙන්. මෙයට අමතරව දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලනයට එරෙහිව සමස්ත ලෝකයම ඉදිරියට ඇවිත් සම්බාධක පනවමින් එහි සුදු පරිපාලනයට විරුද්ධව විවිධ දේශපාලන පියවර ගනු ලැබුවා. ක්‍රීඩාව අතිනුත් විවිධ තහංචි පනවනු ලැබූ අතර, එංගලන්තයේ සිට ක්‍රියාත්මක වුණු ජගත් ක්‍රිකට් කවුන්සලය ද එහි සාමාජිකත්වයෙන් දකුණු අප්‍රිකාව නෙරපා දැමුවා. ඒ වගේ ම, දකුණු අප්‍රිකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා අනික් රටවලටත් ඔවුන් සමග ක්‍රීඩා නොකරන ලෙස තහංචි පැනෙව්වා. 

ශ්‍රී ලංකා පිලට පමණක් නොව එංගලන්ත පිලකටත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය ඩොලර් 30,000ටත් 40,000කටත් අතර ගණනක් ගෙවීමට පොරොන්දු වුණා. 

පීටර් මේ (Peter May) විසින් ලියා ඇති ‘ද රිබෙල් ටුවර්ස් - ක්‍රිකට්ස් ක්‍රයිසිස් ඔෆ් කොන්ෂස්නස් (The Rebel Tours: Cricket's Crisis of Conscience) නම් කෘතියෙහි දක්වා ඇති පරිදි, ඒ ශ්‍රී ලංකා පිලේ සංචාරය ‘බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුත් කරලිකාර කණ්ඩායමේ අප්‍රිකානු සංචාරය’ කියා හැඳින්වුවත්, එය මුලදී දුලිප් මෙන්ඩිස්ගේ හා රෝයි ඩයස්ගේ කැරලිකාර කණ්ඩායම වුණා. එසේ නම් කෙරුණේ දුලිප් මෙන්ඩිස් ඊට එකඟ වී සිටි නිසයි. ඒ විතරක් නොවෙයි ඔවුන් දෙදෙනා මේ ලංකා කණ්ඩායමට ඇතුළත් විය යුතු බවට මූලික කොන්දේසියක් ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවා තිබුණා. දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ඊට එකඟවන්නේ නම් ඊළඟ වසරේත් ඔවුන් කැඳවන බවද ඔවුන් කියා තිබුණා. 

අමාත්‍ය ගාමිණී දිසානායකගේ මෙහෙයුමත් සමග දුලිප් හා රෝයී දකුණු අප්‍රිකානු ගමන මඟ හැරියත් ඕපාත ඔහුගේ උත්සාහය අත් හැරියේ නැහැ. ඔහු, ගාමිණී දිසානායක, ශ්‍රී ලංකා‍ පිලේ නායකත්වය දුලිප්ට තුන් වසරකට දෙන්නට පොරොන්දු වූ බව ආරංචි වීමත් සමග නොසන්සුන්ව සිටි වර්ණපුර හමුවීමට ගියා. වර්ණපුර ගමනට කැමති කරවා ගන්නා ඕපාත සමත් වුණා. ඒ වන විට ඔහු තරුණ අර්ජුන රණතුංගත් කැමති කරවා ගෙන තිබුණා. 

අර්ජුන රණතුංග මංගල ටෙස්ට් තරගයට හොඳින් ක්‍රීඩා කළත් ඒ ආසන්නව පැවති ට‍ෙස්ට් තරගවලට ඔහුට අවස්ථාව නොදීම නිසා කලකිරීමෙනුයි හිටියේ. ඒ නිසා ඔහුත් දකුණු අප්‍රිකානු සංචාරයට කැමති වුණා. මේ බව දැනගත් බන්දුල ඔහුට ඒ අදහස අත් හරින්නැයි ඉල්ලා සිටියා. ‘අර්ජුන ඔයාට ‍අද නැති වුණාට මෙතැනයි තැන ඔයාට. මෙතැනයි ඔයාගෙ අනාගතය තියෙන්නෙ. මං කියන්නේ ඔයා නතර වුණොත් අපේ ක්‍රිකට්වලට හොඳයි. ඔයාව මේ අයට නැතිව බැරි වේවි. ඒ හින්ද ඉවසලා ඉන්න. අපට වෙන විකල්පයක් නැති හින්දයි යන්නෙ.’ කියා අර්ජුන රණතුංගව තවත්තපු එක තමයි, අපට 1996 දී ලෝක කුසලාන දිනන්න හැකි වුණේ. ඒකෙ ගෞරවයෙනුත් ටිකක් බන්දුලට හිමි වෙනවා. 

වර්ණපුර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරද්දී/div>

බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවට ගිය කණ්ඩායමට ෆ්ලේවියන් අපොන්සු, හේමන්ත දේවප්‍රිය, ලන්ත්‍රා ප්‍රනාන්දු, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක, නිර්මාල් හෙට්ටිආරච්චි, සුසන්ත කරුණාරත්න, බර්නාඩ් පෙරේරා, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, බන්දුල ද සිල්වා, ජෙරී වවුටර්ස් යන අය අයත් වූ අතර කළමනාකරු වූයේ ටෝනි ඕපාතයි. 

“මේ සංචාරයට ගිය එක වරදක්! ඇත්තෙන්ම ඔවුන් අපිව පාවිච්චි කළා. ඇත්තටම අපි ඒක නොකරන්නයි, තිබුණේ. ඒත් ශිෂ්ඨ සම්පන්න සමාජයක මේ විධියට නඩුවක් අහන්නෙ නැතුව දඬුවම් දෙන එක හරිද? ” බන්දුල ගමනින් පසු කනගාටුව පළ කරමින් තීන්දුවට විරෝධය පළ කළා මට මතකයි. 

‘මේ සංචාරය සැලසුම් කළේ මම නොවෙයි. ඒ වගේ ම මේ සංවිධානය කළෙත් මම නෙමෙයි. අපි කොහේවත් කාටවත් ‍කියල තිබුණෙත් නැහැ, අපි දකුණු අප්‍රිකාවට යන බව. ඒත් අපි අප්‍රිකාවට ගිහින් පළමු තරගය ක්‍රීඩා කරන්නත් ඉස්සර මට වසර විසිපහක තරග තහනමක් දුන්නේ කොහොමද?’යයි එදා බන්දුල කළ ප්‍රශ්න කිරීම සාධාරණයි. ඇත්තටම ඒක සංවිධානය කරපු අය ඒ වන විටත් ක්‍රිකට් පාලනයේ විවිධ තැන්වල හොඳින් වැජඹෙද්දී බන්දුලට විතරක් ඒ දඬුවම දුන් එක වැරදියි, කියලයි මටත් හිතෙන්නෙ. 

‘අපි අප්‍රිකාවෙ සංචාරය කරද්දී දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ රටට ගිහින් සෙල්ලම් කරමින් සිටිය දී දුලිප්, රෝයි, ඩී. එස්. ද සිල්වා අපෙන් අහලා එව්වා, දකුණු අප්‍රිකාවට ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න ඔවුන්ටත් පුලුවන්ද කියලා. ඔවුන් අත්සන් කළ ගිවිසුම් ඒ වන විටත් අප ළඟ තිබුණා. ඒත් ඔවුන්ට ඒමට නොහැකි වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගය මත ඔවුන්ගේ පාස්පෝට් කළමනාකරු අතට ගෙන තිබුණු නිසයි.’ වර්ණපුර තවදුරටත් කිව්වා. 

“අපි ඒ සංචාරය ගියේ මුදල් බලාගෙනම නෙමෙයි. මුදලුත් එක හේතුවක්. ඒත් මේක කාලයක් තිස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබුණු උද්ධච්ච පාලනයටත්, ඔවුන් අපේ පන්තියේ ක්‍රීඩකයන්ට කළ හිරිහැරවලටත් එරෙහිව දුන්නු පිළිතුරක්” බන්දුල පසු කලෙක කීවා. ඒ ගැන විග්‍රහයක් කරමින් මගේ හිතවත් සමාජ විද්‍යාඥයෙකු වරක් මා සමග කීවේ එයත් එක්තරා විධියක සමාජ හා දේශපාලන කැරැල්ලක් ලෙස හැඳින්විය හැකිය කියායි. 

දුලිප් හා රෝයී අල්ලස් දීමෙන් නම්මා ගත්තා පමණක් නොව සංචාරයේ කැරලිකාර ක්‍රීඩකයන්ට එරෙහිව දරුණු ලෙස ප්‍රතිචාර දක්වන්නට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පසුබට වුණේ නැහැ. ඔහු ඔවුන්ට වසර විසිපහක ක්‍රීඩා තහනමක් පැනෙව්වා. ක්‍රිකට්වලට සම්බන්ධ කිසිම දේකට සම්බන්ධ වීම තහනම් කළා. එය ජීවිත කාලයට ම පැනවීමක් ලෙසයි සැලකුණේ. බ්‍රිතාන්‍යයෙන් ගිය කැරලිකාර පිරිසට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පැනවූයේ වසර තුනක තහනමක් විතරයි. ඔවුන්ට ප්‍රාන්තවලට ක්‍රීඩා කිරීම තහනම් කෙරුණේ නැහැ. වසර තුනකට පසු ඔවුන් යළිත් ක්‍රීඩාවට එක් වුණා 

බන්දුල වර්ණපුර අවසන් ගමන් යද්දී

බන්දුල ප්‍රමුඛ පිරිසට එවන් පරීක්ෂණයක් තබා නිදහසට කරුණු විමසීමක්වත් නැතිව, කෙළින්ම වසර විසිපහක් තහංචියක් දැමීම වියරුවෙන් කළ තීරණයක් ලෙසයි, සැලකිය හැක්කේ. එවැනි වියරු තීන්දුවක් දුන්නා පමණක් නොව ඔවුන් රැකියා කළ ආයතනවලට ඔවුන් රැකියාවලින් නෙරපන්නැයි කියන්නට තරම් ඇමතිවරයා හා ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියා කළා. 

ඒ වගේම ගාමිණී දිසානායක ඇමතිවරයා බන්දුලලා සංචාරය යෙදී සිටියදී ඔවුන් රටට දෝහීන් පිරිසක් නිසා ඔවුන්ගේ ක්‍රීඩා තරග වාර්තා කරන්න එපා යැයි පුවත්පත්වලට කීවා. බොහෝ පුවත්පත් ඊට එකඟ වුණා. ඒ ‘අයිලන්ඩ්’ පුවත්පත ඒක පිළිගත්තේ නෑ. ඔවුන් එහි පැවැත් ක්‍රීඩා තොරතුරු වාර්තා කළා. ඒක නොඉවසූ ඇමතිවරයා එහි හිමිකරු වූ උපාලි විජයවර්ධන මහතාට ඒ ගැන පැමිණිලි කළා. කිසිදාක තම කතුවරුනට බලපෑමක් නොකළ ඔහු ඒ ගැන අයිලන්ඩ් කර්තෘ විජිත යාපාගෙන් ඒ ගැන විමසුවා. තමන් ප්‍රතිපත්තියක් වශයෙන් ඊට විරුද්ධව කතු වැකියක් පවා ලියූ බවත්. ඒත් ක්‍රීඩා විස්තර පළ කිරීම තමන්ට ඇති අයිතියක් බවත් එයට බාධා කරන්න ගාමිණී දිසානායක මහතාට අයිතියක් නැති බවත්, ඒවා දැන ගැනීමේ පාඨක අයිතිය සුරැකිය යුතු බවත් විජිත යාපා පෙන්වා දුන්නා. අපි ඒ තොරතුරු දැන ගත්තේ ‘අයිලන්ඩ්’ පුවත්පතෙන් විතරයි. 

සංචාරයෙන් ආවට පස්සෙ නියෝග කළා, දකුණු අප්‍රිකාවට ගිය 14 දෙනාටම ඒ මුදල් ලංකාවට ගෙන්නා ගන්න අවශ්‍යමයි, කියලා. අපේ හුඟක් දෙනකුට තමන්ගෙයි කියලා ගෙයක්වත් තිබුණෙ නෑ. ඒ අය ගෙවල් මිලට ගත්තා. ඒ යන කොට ලංකාවට සෙල්ලම් නොකරපු, ක්‍රීඩකයනුත් හිටියා. ඒ අයටත් එක වගේ දඬුවම් කළේ කොහොමද? ඒවගේම අනිත් රටවල් වගේ නෙමෙයි, ශ්‍රී ලංකාව ඒ වන විටත් කිසිම තහනමක් ඒ රටට දාලා තිබුණේ නැහැ. අපේ තේ විශාල වශයෙන් ඒ රටට යැව්වා. ටින් මාළු අපේ රටට එහෙන් ගෙනාවා. ඒවා තියෙද්දී දකුණු අප්‍රිකාව එක්ක ගනුදෙනු කළා කියලා ක්‍රීඩකයන්ට විතරක් දඬුවම් කරපු එක වැරදියි කියලයි මටත් හිතන්නෙ. 

මේ කැරලිකාර තරග සංචාරයට ලංකා පිල එකතු කර ගැනීමේ කතාවත්, ඔත්තු පරීක්ෂක කතාවක් තරම් රසවත්. ඒක සවිස්තර පීටර් මේ ගේ පොතේ සඳහන් වෙනවා. 

1982 සැප්තැම්බරයේ අවසාන සතියේ දවසක දකුණු අප්‍රිකානු නීතීඥයකු වූ කොලින් රෂ්මියර් ගුවනින් කොළඹ බලා ආවේ මැදියම් රැය පසු වූ පසුවයි. ඔහු මෙසේ ආවේ සිය පදිංචි නගරය වූ පෝට් එලිසැබත් සිට ජොහැන්නස්බර්ග් දක්වාත්, ඉන්පසු හොකොං හරහා කටුනායක තෙක් දිගු ගුවන් ගමනකින් අනතුරුවයි. ඔහු කටුනායකට පැමිණීමට ඒ වෙලාව යොදා ගත්තේ හිතාමතාමයි. ඒ වෙලා‍වට කවුරුනුත් නිදිමත ගතියකින් සිටිය හැකි නිසා ඔහු‍ගේ ගමන ගැන එතරම් උනන්දුවක් නොදක්වතැයි කියායි. 

ඔහුගේ වටිනා ලියකියවිලි කීපයක් ඔහු සමග වූ නිතරම ගෙන යන බීෆ්කේසයේ අඩියට වෙන්න තැන්පත් කර තිබුණා. වෙනත් ලියවිලි සමග මිශ්‍ර කර සඟවා තිබුණේ, ක්‍රීඩා කොන්තරාත්තු 14ක්. ඒවා අපේ ක්‍රීඩකයන් ලවා අත්සන් කර ගන්නයි, ඔහු ආවේ. ප්‍රශ්නයක් මතු වුණොත් උත්තර දෙන්න ඔහු කතාවක් ගොතා ගෙන තිබුණා. ඔහු ලන්දේසි ව්‍යාපාරිකයකු බවත්, ඔහු ටෝනි ඕපාතගේ මිතුරකු බවත් ඔහු කණ්ඩායමක් එතෙර සංචාරයක ගෙන යන්න කතා කරගෙන ඇති නිසා ඊට අවශ්‍ය කටයුතු පිළියෙල කරන්න ආ බවත් කියන්න ඔහු සිතා සිටියා. ඒත් ප්‍රශ්නයක් වුණේ නැහැ. 

එත් ආපසු යන ගමනේ දී ගුවන්තොටුපොළේ නිලධාරිනියක් ඔහුගේ බීෆ්කේසයේ අඩියටම අවුස්සන පටන් ගත්තා. ‘වැඩේ වරදියි කියලා හිතුණා. එක පාරටම මට නුවණක් පහළ වුණා, අසල විදේශ මුදල් මාරු කරන කවුටරයක් දැක්කා. මං ඇගෙන් ඇහුවා ගිහින් මුදල් මාරු කරගෙන එන්නද කියා. ඇය බීෆ්කේසය ඇවිස්සීම නවත්වා මට ඒක වසා ගෙන යන ලෙස කියා මට යන්නට දුන්නා.’ කොලින් රෂ්මියර් කියනවා. 

මේ රහස් ගනුදෙනුව පටන් ගත්තේ කොලින් රෂ්මියර්ගේ කොළඹ ගමනට මාස කීපයකට පෙරාතුවයි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජ්‍යොෆ් ඩැකින් හා ප්‍රධාන විධායක අලි බැචර් යන දෙදෙනා රොටර්ඩෑම් ගුවන් තොටුපොළේ දී ටෝනි ඕපාත ඉන්නවා දැක්කා. ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන කාලේ හඳුනා ගෙන සිටි ඔහු දැකීම ඔවුනගේ සතුටට හේතු වුණේ දකුණු අප්‍රිකාවට අන්තර් ජාතික තරග තහනමක් පනවා තිබුණ නිසා ඔහුගේ සහයෙන් යමක් කරවා ගත හැකියැයි සිතුන නිසයි. 

ඔවුන් ඕපාත සමග කතා කළා. කලින් ක්‍රීඩා වාරයේ දී එංගලන්ත ක්‍රීඩකයන් කැටුව ගිය බව පවසා ඔහුටත් කණ්ඩායමක් ලෑස්ති කළ හැකිද කියා ඇසුවා. ඕපාත ඇසුවා එක් ක්‍රීඩකයකුට ඩොලර් 30,000ක්වත් දෙන්න පුලුවන්ද කියා. ඒ අනුව කතා කරගත් සැලැස්ම අනුවයි, කොලින් රෂ්මියර් මේ ගිවිසුම් අරන් ලංකාවට ආවේ. බන්දුල ඇතුළු පිරිස සංචාරකයන් හැටියට දකුණු අප්‍රිකාවට ගියේ ඒ අනුවයි. ලෝකයේ කිසිම රටක් නොකළ විධියේ දඬුවමක්, එනම් වසර 25ක ක්‍රිකට් තහනමක් අපේ ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුරට දුන්නේ ඇයිදැයි අදටත් උත්තර දෙන්න පුලුවක් කෙනෙක් නැහැ. 

ඒත් අවුරුදු නවයකට පසු බන්දුලගේ ක්‍රිකට් තහනම ඉවත් කරන්නැයි කියා එවකට පත්වූ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට කී විට ඔවුන් ඒ අනුව තහනම ඉවත් කළා. ඉන්පසු යළිත් වර්ණපුරගේ දායකත්වය ක්‍රිකට්වලට ලැබුණා. ඔහු ක්‍රිකට්වල දියුණුවට විශාල වැඩ කොටසක් කළා.

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. මමත් මේ ගැන පෝස්ටුවක් ලියා අද පල කලා! ඔබගේ ලිපියේ හා මාගේ ලිපියේ ඇති බොහෝ තැන් එකිනෙක සමගාමී වෙනවා. ඒ නිසාම ඔබතුමාගේ ලිපියෙන් මගේ ලිපියට ලැබී ඇත්තේ ආලෝකයක්! ස්තූතියි!
    https://thattayagekolama.blogspot.com/2021/10/221.html?showComment=1635177279787#c5345694639027193483

    ReplyDelete
  2. බොහොම ස්තුතියි! ඔබේ ක්‍රිකට් දැනුම හා ගාය ගැන අපට හරිම සතුටුයි. ඔබ දවසක් ඉස්සර වුණා නම් මගේ පෝස්ටුව වෙනස් වෙන්න තිබුණා. මං කියපු දේට සාක්කි ඔබේ ලිපයෙන් ගන්න පුලුවන්. ඔඉට පින්!

    ReplyDelete