HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නම රැන්දූ බන්දුල වර්ණපුරගේ කතාව

බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළින් ම කියැවෙන නමක්. ඔහු තමා අපේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා, ඒ වගේ ම මංගල ටෙස්ට් පන්දුවට මුහුණ දුන් පිතිකරුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් පන්දුව යැවූ පන්දු යවන්නා. ශ්‍රී ලංකාවට පළමුවරට එක් දින ජාත්‍යන්තර තරගාවලියක් දිනා දුන් නායකයා. ඒ වගේම, ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා ගන්නට අර්ජුන රණතුංගව යොමු කළ පුද්ගලයා ලෙසත් ඔහු ඉතිහාසයට එක් වෙනවා. 

බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු නායකයා 

ක්‍රිකට් ඉතිහාසයේ දුෂ්කර කාල පරිච්ඡේදයක බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ඔහු සක්‍රියව ගත කළේ වසර හතක් වැනි ක‍ෙටි කාලයක්. ඒ කාලය තුළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ලබා දුන් දේ බොහොමයි. ඉන්පසු ඔහුට ජීවිතකාලයට ම ක්‍රිකට් තහනමක් පැනවෙනවා. 2021 ඔක්තෝබර් 18 වැනිදා දිවියෙන් සමුගත් බන්දුලගේ ජීවිත කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් සලකුණු කරනවා. 

මීට දශක හයකට විතර ඉස්සර බන්දුල වර්ණපුර ක්‍රිකට් කරළියට එන්න පෙර ලංකා ක්‍රිකට් තිබුණේ ඉංග්‍රීසි කථා කරන, ඉංග්‍රීසියෙන් හිතන, ඉංග්‍රීසි ක්‍රමයට උදේට ‘බේකන් ඇන්ඩ් එග්’ කන රටේ ප්‍රභූ ප‍ෙළැන්තියට අයත් පිරිසක අතේයි. ඔවුන් ලංකා පිලට එක් වුණේ රාජකීය, සැන් තෝමස්, ත්‍රිත්ව ආදී ඉංග්‍රීසි පාසල්වලින් ඇවිත් කොළඹ හතේ පිහිටි කුල්ටූර් ක්‍රීඩා සමාජ හරහායි. ඒවගේම එකල ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන සිටි ඇතැමුන් කීවේ, එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ලාංකිකයන් ගෙන්වා ගෙන තරගවලට මුහුණ දීම කළ යුතුයි කියලයි. 

ඒත් මේ කාලය වන විට ආනන්ද, නාලන්ද, ධර්මරාජ, ධර්මාශෝක, මහින්ද ආදී පාසල්වලත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිතව තිබුණා. ඒ වාගේ ම නැඟී එන දක්ෂ ක්‍රීඩකයන් ඔවුන් අතර ඉන්නා බව පෙනෙන්න තිබුණා. ඒ දරුවන් පාසල් හැරයද්දී කොළඹ සාමාන්‍ය ක්‍රිකට් සමාජ හරහා විත් ලංකා පිලට ඇතුළු වීමට සූදානම්ව සිටියා. කොළඹ ප්‍රභූ ක්‍රිකට් සමාජවලට තරග අවශ්‍ය නිසා අගනුවර තිබූ අනෙක් පහසුකම් අඩු ක්‍රිකට් සමාජ කණ්ඩායම් සහභාගිකරවා ගැනීම නොකර බැරි වුණා. වනාතමුල්ල, බොරැල්ල, මරදාන, නාරහේන්පිට, කිරුලපන ආදී ප්‍රදේශවල තිබූ සමාජවලට නගරයේ සාමාන්‍ය පන්තියේ ජනයා ආ ගිය නිසා ක්‍රිකට්වලට වැඩි ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඇති වුණා. 

එතෙක් අගනුවර ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රහණය කර ගෙන සිටි පිරිසගෙන් බැහැර යමින් ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය ජනයා අතර කෙමෙන් පැතිරෙන්න පටන් ගත්තා. මේ නිසා ම ප්‍රභූ ක්‍රිකට් ක්‍රීඩකයන් හා තරග වදිද්දී අඩුපහසුකම් සහිත වුනත්, සාමාන්‍ය ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයන් ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් දිරිමත්ව වැඩි දස්කම් පෙන්නුවා. අන්තිමේ දී ලංකා ක්‍රිකට් පිල තෝරද්දී සාමාන්‍ය ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයන් එක්කෙනකු දෙන්නකු තෝරා ගන්න ප්‍රභූ ක්‍රිකට් පාලකයන්ට සිදුවුණා. ඒ අනුව තමයි, එතෙක් ප්‍රභූන්ට විවර කර තිබූ දොරෙන් ඇතුළුවන්නට, කොළඹ නාලන්දා විදුහලේ ක්‍රිකට් පිලේ නායකයාව සිට, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එක් වූ බන්දුල වර්ණපුරට හැකි වුනේ. පසුව බ්ලූම්ෆීල්ඩ් නායකයා වශයෙන් බන්දුල පෑ දස්කම් ඒ කාලේ කැපී පෙනුනු නිසා සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂක ජනතාව අතර ඔහු, ‘වීරයෙකු’ ලෙස පිළිගැනීමක් ලැබුවා. 

මංගල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේ බන්දුල වර්ණපුරයි.

බන්දුල කියන්නේ, “අපි ක්‍රීඩා නොකරන වෙලාවට ‍සාමාන්‍ය නරඹන්නන් හා එක් වුණා. ඔවුන් අපට ලොකු ධෛර්යයක් වුණා. එකල ක්‍රිකට් අතට ගෙන සිටි ප්‍රභූ සමාජය එහෙම සාමාන්‍ය ජනයාට ඔවුන් වෙත ළං වීමට ඉඩ තිබ්බේ නෑ. ඔවුන්ගේ පැවිලියන් එක වුනත් සාමාන්‍ය ජනයාට ළං වෙන්න බැරි තරම් උඩකිනුයි, ති‍බුණේ.” කියායි. පොදු ජනයාගේ ක්‍රීඩා සමාජයක් ලෙස බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කොළඹ හතේ ක්‍රීඩා සමාජ කණ්ඩායම් පරදවා ඉදිරියට ඒමට හැකි වුණේ මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය නිසයි. 

ක්‍රීඩා පිටියේ මේ පෙරළිය සිදුවන විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටියේ පරණ ප්‍රභූ පන්තියමයි. තමන්ගේ ප්‍රියතම ක්‍රීඩා සමාජ අබිබවා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ක්‍රිකට් ක්‍රීඩාවේ අධිපත්‍යය පැතිර වීමත් බන්දුල වැනි සාමාන්‍ය පන්තිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ආගමනයත් ඔවුන්ගේ නොසතුටට හේතු වුණා. අනික් අතට, අයුක්තියට, අසාධාරණයට, එරෙහිව සටන් කළ බන්දුල වර්ණපුරගේ චරිත ස්වභාවයද ඔවුනට ඇල්ලුවේ නැත. එය ක්‍රිකට් උදෙසා බිහිව ආ නව බලවේගයක් වන ලකුණු පහළ වුණා. ඒ නිසා ඔවුන් නොයෙක් අයුරින් මේ නව බලවේගය පාගා දමන්නටත්, තමන් නුුරුස්සන අයට කෙණෙහිලි කම් කරන්නටත් පටන් ගත්තා. 

ඒ සියල්ල විඳ දරා ගනිමින්, ඉවසීමෙන් කටයුතු කරන්නට බන්දුල ඇතුළු ක්‍රීඩක පිරිසට සිදු වුණා. ක්‍රිකට්වලට අරක්ගෙන සිටි ප්‍රභූ පෙළැන්තිය තමන්ගේ පන්තියේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිල්ලක් දක්වා පහසුකම් සැලැසූ අතර අනිත් අයට සැලකුවේ පැහැදිලිවම වෙනස් ආකාරයටයි. ඔවුන්ට ඒ පහසුකම් ලැබුණේම නැති තරම්. බන්දුල ඒවා ඉවසුවේ නැත. බන්දුල ඒ ගැන ප්‍රශ්න කිරීම පාලක පිරිස් ඉවසුවේ ද නැත. 

ඒ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ටෙස්ට් වරම් ඉල්ලා සිටියා. ඒත් ඒ උත්සාහය හරි ගියේ නැහැ. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමට ප්‍රධාන බාධකයක් වූයේ ශ්‍රී ලංකාව තවමත් ටෙස්ට් වරම් ලබන්නට තරම් ‘මෝරා’ නැතැයි කියමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට හරස් වීම නිසයි. 

මුල්ම සීමිත තරගයට සහභාගිවූ කණ්ඩායම

ඒ කාලයේ එංගලන්තයත්, ඕස්ට්‍රේලියාවත්, ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අපේ රටට ආවේ, ඔවුන්ගේ දෙරට අතර ටෙස්ට් තරගවලට සහභාගි වීමට නැවෙන් යන අතරයි. අතරමග කොළඹ වරායෙන් බැස ඔවුන් කළේ අපව යොදා ගෙන පුහුණු තරග පැවැත්වීමයි. තත්වය එසේ තිබියදී 1981 දී කිම් හියුස්ගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලක් එංගලන්තයට සංචාරයක් යන අතර ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ එක් සිවු දින තරගයක් හා සීමිත ඕවර තරග තුනක් ක්‍රීඩා කර සිය එංගලන්ත ගමනට පන්නරයක් ලබා ගැනීමටයි. 

එදා කිම් හියුස්ගේ ඕස්ට්‍රේලියානු පිල දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වුණා. ඒ අතර රොඩ්නි හොග්, ජෙෆ් ලෝසන්, ටෙරී ඕල්ඩර්මන්, රේ බ්‍රයිට්, ග්‍රැහැම් බියර්ඩ්, දක්ෂ පන්දු යවන්නන් ලෙස කැපී පෙනුණා. තත්වය එසේ තිබියදී වුවත් ඕවර 45කට සීමා වූ තරග තුනෙන් එකක් ජය ගැනීමටත් ඉතිරි තරග දෙක හොඳ සටනකින් පසු පරාජය වීමටත් ශ්‍රී ලංකාවට සිදුවුණා. සිවුදින තරගය ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට ශ්‍රී ලංකා පිල සමත් වුණා. ඒ තරග සියල්ලටම නායකත්වය දුන්නේ බන්දුල වර්ණපුරයි. ලකුණු ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා පිල ජයගත්, ඒ සීමිත ඕවර තරගයේ දී ඔහු ශතකයක් (106) රැස් කිරීමටත් සමත් වුණා. 

පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී පැවති ඒ සිවුදින තරගයේ දී බන්දුල වර්ණපුර අති දක්ෂ ලෙස සිය කණ්ඩායම මෙහෙයවමින් ඉතා ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල පළමු ඉනිම ලකුණු 124කටත්, දෙවන ඉනිම ලකුණු 178කටත් සීමා කරන්නට සමත් වුණා. ඒ තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවත් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි වුණා. 

මේ තරග සංචාරය අවසානයේ දී කිම් හියුස් ශ්‍රී ලංකා පිලේ දක්ෂතා මහ ඉහළින් වර්ණනා කළ අතර, පසුව ඒ අදහස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපට ටෙස්ට් වරම් දීමට හරස් වීමේ තීරණය වෙනස් කිරීමට ද හේතු වුණා. 

979 දී එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පිල ‍අවසන් තරගයේ දී කැනඩාව පරදවා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ (1979 ICC Trophy) කුසලාන දිනා ගැනීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරගාවලියක් දිනාගත් පළමු වතාවයි. ඒ අවස්ථාවේ උප නායකයාව සිටි බන්දුල වර්ණපුර තාවකාලික නායකයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට නිත්‍ය නායකයා වූ අනුර තෙන්නකෝන් තරගාවලිය අතරතුර තුවාල ලබා ඒ තරගාවලියෙන් ඉවත් වූ නිසයි. තරගාවලියේ ඉන්දියාව සමග පැවති ඒ පස්වැනි තරගය බන්දුල වර්ණපුර තම දක්ෂතා දක්වමින් ජය ගත්තා. 

ටෙස්ට් වරම් ලැබුණු පසු, මංගල තරගය එංගලන්තය හා ශ්‍රී ලංකාව අතරයි, පැවැත්වුණේ. ඒ සඳහා එංගලන්තය මෙහි ආවා. පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී එය පැවැත්වුණේ 1982 පෙබරවාරි 17-25 අතරයි. එහිදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේ බන්දුල වර්ණපුරයි. ඒ තරගයේ දී ශ්‍රී ලංකාව 218ක් හා 175ක් ලබා ගත් අතර එංගලන්තය 223ක් හා 171/3 ලෙස ලබා ගනිමින් එංගලන්තය ජය ගත්තා. ඉන්පසු පකිස්තානය හා ඉන්දියාව සමග ටෙස්ට් තරග තුනකට සහභාගි වුනත් ඒ එකක්වත් ජය ගන්නට බන්දුලට හැකිවුණේ නැහැ. 

1982 දී බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු සංචාරය සඳහා ද පත් කරනු ලැබූ අතර ටෙස්ට් තරගය ඇතුළු සීමිත තරග පරාජය වුවත් ඔහු එහිදී සිය එකම අර්ධ ශතකය (77) වාර්තා කළා. සීමිත ඕවර ක්‍රීඩකයකු ලෙස අංක 11 යටතේ එක් වූ ඔහු මුහුණ දුන් මුල්ම සීමිත ඕවර තරගය, බටහිර ඉන්දීය කොදෙවු පිල සමගයි. 1975 ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකාව සහභාගි වූ මුල්ම සීමිත ඕවර තරගයත් එයයි. සීමිත ඕවර තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ගැසූ මුල්ම හා එකම හතරේ පහර ගැසුවේත් බන්දුල ඒ තරගයෙදිමයි. ඔහුට ඒ තරගයේ දී පන්දු 54කට මුහුණ දෙමින් ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි. එයින් පසු ඔහු සීමිත ඕවර තරග 12කට පමණයි, ක්‍රීඩා ඇත්තේ. 

1953 මාර්තු 1 වැනිදා රඹුක්කන දී උපන් බන්දුල වර්ණපුර නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. 1971 දී විදුහලේ ක්‍රිකට් පිලට නායකත්වය දුන්නා. 1975 ජූනි 7 වැනිදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වුණු ඔහු, අපේ මංගල ටෙස්ට් තරගයට 1982 ප‍ෙබරවාරි 17 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නා. ඔහු අවසාන ටෙස්ට් තරගයට සහභාගි වූයේ 1982 සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවට එරෙහිවයි. ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය වසර හතකට සීමා වුණා. 

එදා 1982 දී සිදුවූ ඉන්දියානු සංචාරයට යාමට පෙර බන්දුලට ගැටලු කීපයකට මුහුණ දෙන්න සිදු වුණා. කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනකු වූ දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ලකුණු අතර නොසිටිය නිසා ඉන්දියානු සංචාරයට නොයවන්න තීරණයක් ගෙන තිබුණා. ඒත් බන්දුල ඔහු අවශ්‍ය බව තදින් කියා සිටීම නිසා ඒ සංචාරයට දුලිප් මෙන්ඩිස් කැටුවට යාමට ඔහුට හැකි වුණා. ඉන්දීය ගමනෙන් පසු තමන්ගේ සුරක්ෂිත භාවය ගැන දුලිප් මෙන්ඩිස්ටත්, රෝයි ඩයස්ටත් ගැටලුවත් ඇති වුණා. ඒ වෙලාවේ තමයි, ටෝනි ඕපාත ඔවුන්ට කිට්ටු කළේ. 

ටෝනි ඕපාත ඔවුන්ට කීවා, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකා කණ්ඩායමකට ආරාධනාවක් කරලා තියෙන බව. දුලිප් හා රෝයි එන්නේ නම් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හොඳ ‍‍ගෙවීමක් කරන්න සූදානම් බවත් කියා තියෙනවා. ඔවුන් කැමති නම් තමාට ඊට මැදිහත් විය හැකි බව. ඒ අනුව ළඟදීම දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට යන බවට ආරංචි මාධ්‍යයට මෙන් ම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් දැන ගන්නට ලැබුණා. ගාමිණී දිසානායක මහතා දුලිප් හා රෝයි දෙන්නා සමග වෙන වෙනම කතාබහ කොට දකුණු අප්‍රිකානු සංචාරය නවතා නතර වන ලෙසත් ඒ ව‍ෙනුවට දුලිප්ට තුන් වසර කාලයකට කොන්තරාතුවක් මත ලබා දෙන බවටත් පොරොන්දු වුණා. රෝයිට උපනායක කම දෙන බවත් කීවා. ඔවුන් දෙදෙනා ඒ අනුව ටෝනි ඕපාතට බැහැයි කීවා. 

මීළඟට - ඊට පස්සේ සිදුවුණේ කුමක්ද? හෙට ‘මල් කැකුළු’වලින්.

Post a Comment

0 Comments