HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හදවත් සැත්කමේ පුරෝගාමියකු වූ අපේ කාලේ ජීවකයා

හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ වයි.කේ.එම්. ලහී ඔක්තෝබර් 7 වැනිදා හදිසි හෘදයාබාධයකින් මිය ගියේ ඔහුගේ හදවත් සැත්කම්වලින් ජීවිතදානය ලද රෝගීන් දහස් ගණනකගේ හා ඔවුන්ගේ නෑහිතමිතුරන් දස දහස් ගණනකගේ සිත් කම්පාකරවමිනි. 

හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ වයි.කේ.එම්. ලහී 

ශ්‍රී ලංකාවේ විවෘත හදවත් සැත්කම් ආරම්භ කළ එක් පුරෝගාමියකු ලෙස වෛද්‍ය ලහී ඉතිහාසයට එක් වෙනවා. ඊට පෙර හදවත් සැත්කම් සඳහා රෝගීන්ට නිතර එතෙර යාමට සිදුවී තිබුණා. මෙරට හදවත් සැත්කම් කිරීමේ අභියෝගය වෛද්‍ය ලහී බාර ගත්තේ එවන් පසුබිමක් යටතේයි. හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මිය යන මොහොත වන විටත් ඔහුගේ දෑතින් කළ සැත්කම්වලින් සුවපත් වෙමින් සිටි රෝගීන් අගනුවර රෝහල් කීපයකම සිටියා. 

‘මා වෛද්‍ය ලහීව වසර 30ක් තිස්සේ ඇසුරු කර තියෙනවා. ඒ 1992 දී මගේ පරිවාස කාලය අවසන් වීමෙන් පසු නේවාසික වෛද්‍යවරයකු වශයෙන්, කොළඹ ජාතික රෝහලේ හෘද කන්තුක උරස් ඒකකයේ සේවයට ආදාසිටයි. ඔහු ඒ වනවිට එහි ජ්‍යේෂ්ඨ නේවාසික විශේෂඥවරයායි. ඔහුත් මාත් වෙනස් උපදේශක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනකු යටතේ සේවය කළ ද මගේ පරමාදර්ශී චරිතය වූයේ ‍වෛද්‍ය ලහීය. සැත්කම් සඳහා උපදේශකයන් සමග ආ ඔහු තුළින් පළ වූ කඩිසර බව, ඔහුගේ කඩවසම් පෙනුම, නැඟී එන ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් ඔහු සතු වූ තියුණු ඇස් සමග ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මගේ සිත් ගත්තා.’ මෙහෙම කියන්නේ ජාතික රෝහලේ කන්තුක උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉරේෂ් විජේමාන්නයි. 

ඔහු සිය වෘත්තිය සම්බන්ධයෙන් අතිවිශිෂ්ට කැපවීමක් පෙන්නු කළා. ඔහු තමන් යටතේ පුහුණුවට ආ වෛද්‍යවරුනට මෙන් ම තමන් හා සේවය කළ කනිටු වෛද්‍යවරුන්ට ලබා දුන් වෘත්තීය පන්නරය නිසා අද ශ්‍රී ලංකා හෘද ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතම වෛද්‍යවරුන් ගණනාවක් ම මේ වන විට එක් වී සිටිනවා. එවන් එක් විශේෂඥ වෛද්‍යවරයකු වූ ඉරේෂ් විජේමාන්න ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් කියා ඇත්තේ මෙහෙමයි. 

“මා පශ්චාත් උපාධිය සම්පූර්ණ කර, මගේ විශේෂඥ විෂයය ලෙස කන්තුක උරස් ශල්‍ය වෛද්‍යවේදය තෝරා ගත් පසු මා කෙළින්ම මගේ පුහුණුකරු ලෙස තෝරා ගත්තේ ඔහුවයි. පුහුණුකරුවකු ලෙස ඔහු අපේ පුහුණුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ වන තෙක් පුහුණුවන වෛද්‍යවරුන් ඉගෙන ගත්තේ ජ්‍යේෂ්ඨයන් සැත්කම් කරනු පසුපස සිට බලාගෙනයි. ඔහු ඒ ක්‍රමය එහෙමපිටින්ම වෙනස් කළා. අපට ඉදිරියට විත් සැත්කම් කරන්න, වගකීම් ගන්නට අපව දිරිමත් කළා. ඔහු පසුපසට වී තියුණු ඇස් යොමා ගෙන අප දෙස බලා සිටියා. සැත්කම්වලදී උද්ගත වන ගැටලු ගැන අපේ අදහස් ද විමසුවා. ඔහු දන්නා හැම දෙයම සුහදව, නොමසුරුව, අපට කියා දුන්නා.” යි වෛද්‍ය විජේමාන්න තවදුරටත් කියනවා. 

හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලහී සැත්කම් කරද්දී..

හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍ය වෘත්තියට අදාළව කුඩා දරුවන්ගේ සැත්කම් සම්බන්ධව වෙනම විශේෂඥ ‍ක්ෂේත‍්‍රයක් ද තියෙනවා. ලෝකයේ දියුණු රටවල ඒ වෙනුවෙන්ම, විශේෂයෙන් ම පුහුණු කර වෙනමම නම් කෙරුණු, ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් ඉන්නවා. එහෙත් හෘද ශල්‍ය වෛද්‍ය ලහීගේ වෘත්තීය හැකියාව කෙතරම් විශිෂ්ට ද යත් ඔහු ලංකාවේ ළමුනට සිය සේවය නොඅඩුව ලබා දුන්නා පමණක් නොව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හා පෞද්ගලික රෝහල්වලදී ඔහු සුවපත් කළ ළමා හදවත් දහස් ගණනක් වෙතැයි ඔහු ළමා හදවත් සුවපත් කළ හැටි සිහි කර බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය කම්පාව පළ කළ බව එහි සේවය කරන මගේ මිතුරකු මා සමග කීවා. 

අගනුවර ඉහළ මධ්‍යම පන්තික සමාජයක ඉපදී හැදී වැඩුණු යූසුෆ් කාමිල් මොහොමඩ් ලහී (Yoosoof Kamil Mohamed Lahie) මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනුයි. ඒ නිසා ඔහුට කුඩා කාල සිටම මිශ‍්‍ර සමාජ සංස්කෘතික ඇසුරක් ලබුණා. හුදු වර්ගවාදියෙකු හෝ ආගම්වාදියකු හෝ නොවී ඔහුට විශිෂ්ට මානවවාදියකු වශයෙන් සිය දිවි මඟ හැඩ ගස්වා ගන්නට හැකි වුණා. උපතින් ඉස්ලාම් ලබ්ධිකයකු වුණත් ඔහුට වැඩිපුර ඇසුරු කරන්නට ලැබුණේ සිංහල බෞද්ධ ළමුන් වූ නිසා ඔහුගේ මානවවාදී ගුණධර්ම වර්ධනය වූයේ යැයි එකල එකට ඉගෙන ගත් මිතුරන්ගේ විශ්වාසයයි. 

2020 වසරේ දී 40 වසරක රජයේ සේවයෙන් විශ‍්‍රාම ගත් වෛද්‍ය ලහී මේ වසරේ මුල සිට රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස වැඩට ගියා. එහිදී සිසුනට හදවත් සැත්කම් පිළිබඳ පුහුණුව දෙන අතරේ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ඒකකයක් අලුතින් අරඹන්නට යොමුවුණු ඔහු, එහි ප‍්‍රථම විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීමට ද සූදානම්ව සිටියා. 

පසුගිය ඔක්තෝබර් 07 දා උදේ එම හෘද ශල්‍ය වෛද්‍ය ඒකකය සම්බන්ධ රැස්වීමක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පැවැති අතර වෛද්‍ය ලහී ඊට සහභාගිවී යළි කොල්ලුපිටියේ පිහිටි සිය නිවස වෙත ගියා. එදා උදේ සිටම ඔහු පපුවේ යම් අපහසුවක් යම් තිබූ බවක් ඔහු බිරිඳ පාතිමා මින්නාට කියා තිබුණා. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස බිරිඳ ඔහුගෙන් ඉල්ලා සිටි විට, ඔහු සුපුරුදු සිනහව පාමින් කියා ඇත්තේ ‘වැඩ කරන කොට ඉබේම ඇරිලා යයි’ කියා යළිත් වෛද්‍ය පීඨයේ වැඩට ගියා. 

එහි වැඩ කටයුතු අවසන් කොට සවස නිවසට ආපසු පපුවේ රිදුම යළිත් මතු වූයෙන් සිය වෘත්තීය අත්දැකීම් තුළින් එය නිශ්චිතව හෘදයාබාධයක් බවට තීරණය කළ ඔහු, තමා ඉක්මනින් රෝහලකට ගෙන්වා ගන්නැයි හිතවත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකුට කියා තිබෙනවා. ඔහුව රැගෙන යාමට ආ ගිලන් රිය නිවසට එන විටත් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබුණා. එහෙත් දේහය රෝහලට ගෙන ගිය පසුත් ඔහුගේ නිහඬ හදවත අවදි කරන්නට ගත් උත්සාහයන් සාර්ථක වුණේ නෑ. 

“තමන්ගේ විද්‍යාත්මක දැනුම් සම්භාරය වෘත්තීය අත්දැකීම් සහ දෑතේ හුරුව මුල් කොට බිළිඳු දරුවන් ද ඇතුළුව හදවත් රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ අවස්ථාව හිමිකර දුන් ‘ගහක් ගලක් වගේ සිටි’ වෛද්‍ය ලහී මෙබඳු අවස්ථාවක මෙසේ අපගෙන් සදහටම සමුගෙන යාම හෘදවේදය හා සම්බන්ධ වෘත්තිකයන් වන අප තුළ ද මහත් මානසික කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.” යයි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහයන් ලංකා ඊ-නිවුස් වෙත විශේෂ ලිපියක් ලියමින් සඳහන් කරනවා. 

ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ, ‘ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද හදවත් සැත්කම් සඳහා ඔහු දැක්වූයේ විශේෂ නිපුණතාවකි. ඒ නිසා ම කොළඹ ජාතික රෝහලට ඔහු සොයා දහස් ගණනක් රෝගීහූ පැමිණියහ. වෛද්‍ය ලහී ගැන ඔහුගේ සමකාලීනයන් පවසන අපූරු උදාහරණයක් තිබේ. ඒ මහෞෂධ පඬිතුමන් සඳුන් කැබැල්ලක් අතින් ගෙන ඉපදුණා සේ ලහී ද උත්පත්තියෙන්ම හදවත් සැත්කම් කිරීමේ දක්ෂතාව රැගෙන පැමිණි ජීවකයකු බවය.’ කියායි. 

වෛද්‍ය ලහී අභාවයෙන් ශෝකයට පත්ව සිටි ඔහුගේ බිරිඳ පාතිමා මින්නා, ඔහුගේ පුතා වෛද්‍ය හුසේන්හා දියණිය සබ්‍රිනාට අපගේ ශෝකය පළ කරමු. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments