HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ යොහානි ලෝක වාර්තා අලුත් කරයි! ක්‍රිකට් සින්දුවටත් එක්වෙයි!

අද ශ්‍රී ලංකාවේ නම අන්තර් ජාලයේ ඔසවා තැබූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාට අපේ සුබපැතුම්! ඇය මේ වන විට යූ ටියුබ් චනලයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින ගායිකාව බවට පත් වෙලා ඉවරයි. ඇගේ අනුගාමිකයන් පිරිස මිලියන තුන ඉක්මවා ගිහින්. නැරඹුම්වාර ගණනත් නොකඩවා වැඩිවෙමින් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් (Sri Lanka Cricket) වලට තමයි” මේ වෙලාවේ වැඩිම අනුගාමිකයන් පිරිසක් ඉන්නෙ. මිලියන තුනහමාරක්. අද සිට පටන් ගන්නා ලෝක විස්සයි විස්ස තරගාවලිය නිසයි, ඒ. යොහානිට ඒකෙනුත් ලකුණු වැටෙනවා. ක්‍රිකට් වෙනුවෙන් තැනූ අලුත්ම තේමා ගීතය ගයන්න ඇයත් දායක වෙලා! 

යොහානි දිලෝකා ද සිල්වා

ඇගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලොව පුරා නැරඹුම් වාර මිලියන 155කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගෙන තියෙනවා. ඒ විතරක් නොවෙයි, තවමත් ඒ ගණන ඉහළ නඟිමින් තියෙනවා. ‍මෙයට ලැබුණු ජනතා ප්‍රතිචාරය කෙතරම් විශාලද යත්, දැන් ඒ ගීතය, තෙළඟු, දෙමළ, හින්දි, පන්ජාබි, නේපාලි, බෙංගාලි, භෝජ්පූරි, මලයාලම්, ආදී විවිධ භාෂාවලින් (දැනටමත් භාෂා 25කින් පමණ) ඒ ඒ රටවල ගායක ගායිකාවන් විසින් ප්‍රතිගායනා කර තියෙනවා. යොහානිගේ හඬිනුත් මේ ගීයේ දෙමළ හා මලයාලම් ගායන යූටියුබ් එකට මුදා හැර තියෙනවා. මේ අපූරු ගීතය නිසා ඉන්දියාව, නෝපාලය, බංග්ලාදේශය ඇතුළු අග්නිදිග ආසියාවේ රටවලිනුත් මැදපෙරදිගිනුත් ඇය ලබා ඇති ප්‍රසිද්ධිය මෙතෙකැයි කිව නොහැකි තරම්. 

යොහානි සමග සති දෙකක ඉන්දීය සංචාරය සඳහා ගිය සංස්කෘතික දූග පිරිස

යොහානි මුලින් ම ටෙලිවිශන් ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තේ ප්‍රීමා කොත්තු මී වෙළ‍ෙඳ දැන්වීමෙන්. ඊට වැඩි දෙනෙකු ඇය හඳුනාගත්තේ කෝවිඩ් කාලේ භාතිය සන්තුෂ්ලා කළ ‘ඩ්‍රයිව් ඉන් කොන්සර්ට්’ එකෙන්. එහිදි ඇය භාතිය එක්ක එකතුවෙලා ‘සිරිසඟබෝදි’ ගීතය ගායනය කළා. භාතිය එතැනදි තමයි, යොහානිගේ පියා, විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා බව හෙළිදරවු කළේ. ඔහු තමයි, 30 අවුරුදු යුද්ධයේ අවසාන අදියරේ දී 55 වැනි සේනාංකය මෙහෙයෙව්වේ. භාතියගේ පියාත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක්, නිහාල් ජයකොඩි. 

‘භාතිය එදා ප්‍රසිද්ධ වේදිකාවේ මගේ තාත්තාගේ නම කිව්වත්, මට තාත්තගේ නම කියලා ගායනයට ප්‍රසිද්ධියක් ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේ ම මේ තරම් ප්‍රසිද්ධියක් මං බලාපොරොත්තු වුණෙත් නැහැ. මං සංගීතයට කැමති නිසා මට ඕනෑ වුණේ ඒ අංශයෙන් මගේ හැකියාව උරගා බලන්නයි. මං සංගීතයට පැත්තට හැරුණට තාත්තා කැමතියි, මට මුල් ම ගිටාරය තෑගි කළෙත් තාත්තා තමයි. මං තාත්තා ගැනත් ගීතයක් කරලා තියෙනවා ඒක දෙසැම්බරයේ එළි දක්වන්නයි ඉන්නෙ’ ඇය මාධ්‍යයට කියා තියෙනවා. 

භාතිය සන්තූෂ් ප්‍රමුඛ කණ්ඩායම විස්සයි විස්ස සඳහා නිර්මාණය ගීයේ වීඩියෝ පහතින් නරඹන්න 

යොහානි දිලෝකා ද සිල්වා උපන්නේ 1993 ජූලි 30 වැනිදා, කොළඹදී. ප්‍රසන්න හා දිනිති ද සිල්වා යුවළගේ වැඩිමල් දරුවා ලෙසයි. ඇයට ෂවීන්ද්‍රි කියා නංගී කෙනෙක් ඉන්නවා. මූලික අධ්‍යාපනය විශාඛා විද්‍යාලයෙන් ලැබූ ඇය උසස් පෙළ කරන්න එතෙර ගියා. ඇය වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හා ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේයි. 

ගණකාධිකරණය කර රැකියාවක යෙදුණු ඇය පසුව එය අත හැර ශ්‍රී ලංකාවට ආවේ වෙනස් මගක යන්නයි. ඇය සංගීතය තෝරා ගත්තා. සංගීත භාණ්ඩ ආනයනය කර අළෙවි කරන්න සමාගමක් පටන් ගත්තා. ඇය වෘත්තීය සංගීතකාරියක වූයේ යූටියුබ් හරහායි. ගායනයට අමතරව යූටියුබ් හරහා ගීත ආවරණ සකසා ප්‍රචාරණය කරන්නත්, ගීත ලියන්නත්, සංගීතය සපයන්නත් ඇයට පුළුවන්. ඇය ගායිකාවක ලෙසත් ප්‍රසිද්ධයි. ‘දෙවියන්ගේ බාරේ’ යූටියුබයට එක්කළ ඇගේ ප්‍රථම නිර්මාණයයි. එයින් ‘රැප් රැජන’ ලෙස විරැදාවලී ලත් ඇය එක්වරම විදුලිවේගයේ ජනප්‍රිය වූයේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ කවර නිර්මාණයෙන්. 

යූටියුබ් හරහා හඹා ගිය රැල්ල ඇරඹූ "මැණිකේ මගේ හිතේ" පහතින් නරඹන්න. 

යොහානි ලෝපතල වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඇගේ එකක් නෙවෙයි. ඒ ගීතය 2020 දී යොවුන් පරපුරේ ගායකයකු වූ සතීශාන් රත්නායක ගැයූ එකක්. ඒ ගීතයේ ප්‍රචාරය සඳහා නිල ආවරණයක් ලෙස යොහානි හා සතීශාන් එක්ව කළ ගායනයක් පටිගත කොට 2021 මැයි 22 වැනිදා යූටියුබ් ඔස්සේ දියත් කළා. එහි පදමාලාව දුලාන් ඒආර්එක්ස් කියා තමයි සඳහන් වන්නේ. තුන් මාසයක් ඇතුළත ඒ ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 150ක් පසු කළා. එය ලොව පුරා, විශේෂයෙන් ම දකුණු ආසියාවේ රටවල ප්‍රේක්ෂකයන් එක රැයෙන් වැළඳ ගත්තා. ඒ තරම් ‘වසංගතයක් සේ’ වේගයෙන් පැතිර ගිය ගීයක් තවත් නෑහැ. මේ ප්‍රචාර කලාවේ පෙරළියකට මග පෑදූ ආරම්භක අවස්ථාවක් සේ සැලකෙනවා. 

සැප්තැම්බර් 29 වැනිදා දිල්ලි ගුවන් තොටුපොළට යොහානි යද්දී ඇයට සුබ පතන්නට හා ඇය දැක ගන්නට 450,000ක පමණ ජනකායක් එහි රැස්ව සිටි බව නව දිල්ලියෙන් වාර්තා වුණා. එහි සැපැත් වුණු ඇයට ත්‍යාග වශයෙන් ඇමරිකන් ඩොලර් 500,000කට අධික මුදලක් එහි රැස්ව සිටි කෝටිපති නළුනිළියන්ගෙන් හා ව්‍යාපාරික දැවැන්තයන් අතින් පිරිනමනු ලැබුවා. ඒ වාර්තාවලට අනුව ඒ සතියේ ඉන්දියාවේ ගීත දර්ශක අනුව ඇගේ ‘මැණිකේ මගේ’ ගීතය ප්‍රථම ස්ථානයට පැමිණ තිබුණා. ඒ වන විට ඇගේ ගීතය යුරෝපයේ හා ඇමරිකාවේ ජනතාව අතරටත් පිවිසෙමින් තිබුණා. 

"මැණිකේ මගේ හිතේ" විවිධ භාෂාවලින් පමණ ගයා ඇති අයුරු පහත වීඩියෝවෙන් රස විඳින්න. 

බොලිවුඩ් සුපිරි නළු වන අමිතාබ් බච්චන්, ‘කලියා’ චිත්‍රපටයෙහි ඔහුගේ නැටුමට පසුබිමින් ඇසුණු "ජහාන් තෙරි යේ නසාර් හයි" ගීතයේ හඬ පටය වෙනුවට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන "මැණිකේ මගේ හිතේ" සමඟ මුසු කර අපේ ගෙදර සිටින දක්ෂයා වන තම මිණිබිරිය නව්‍යා නවේලි නිතරම එය වාදනය කරමින් සවන් දුන් බවත් ඇය එයින් ඉවතට ගන්නට බැරි තරම් ඇය ඊට ඇලුණු බවත්, තමාත් එයට ඉතාමත් කැමති බවත් බච්චන් පවසා තිබුණා. "මැණිකේ මගේ හිතේ" යනු ශ්‍රී ලංකාවේ සංගීතකරුවන් වන සතීෂාන් රත්නායක සහ යොහානි ද සිල්වා විසින් ගායනය කරන ලද්දක්. ඒ ගීය ඇත්තෙන්ම එය අපූරු නිර්මාණයක්! සුපර්ර්ර්ර්රබ්’ බච්චන් ඔහුගේ ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තියනවා. 

යොහානි ඇගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංග දෙක ඉන්දියාවේ නවදිල්ලියේ දී පැවැත්වුවා. ඒ එක් ප්‍රසංගයකට යොහානි හමුවීමට අමිතාබ් ඇයට තිළිණයක් ලෙස ඇමරිකන් ඩොලර් ලක්ෂ පහක චෙක්පතක් දුන්නා. එය අපේ රුපියල්වලින් නම් විසි ලක්ෂයක් වෙනවා. 

 
යොහානි දැක ගන්න දිල්ලි ගුවන්තොටුපළට ආ ජනකාය - යොහානි

ඔක්තෝබර් 3 වැනිදා හයිද්රාබාද්හී පැවති යොහානිගේ දෙවැනි සංදර්ශනයට කලින් නොදන්වා බොලිවුඩයේ අමුත්තකු කඩා වැදුනා. ඒ සුපිරි බොලිවුඩ් සලමන් ඛාන්. ඇයට සුබපැතූ ඔහු එහි දී ඇයව හඳුන්වා දුන්නේ අන්තර්ජාල තරුවක් ලෙසයි. ඔහු ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රියේ ඔහු තමන් ඉදිරිපත් කළ රියැලිටි ටෙලිවිශන් වැඩ සටහනට සහභාගිවන ලෙස ඇයට ඇරයුම කළා.  ඒ අනුව ඔක්. 9 වැනිදා කලර්ස් ටීවී චැනලයෙන් සජීවී ව විකාශය කළ තමා ම‍ෙහෙයවන බිග්බොස් රියැලිටි වැඩ සටහනට යොහානිව සම්බන්ධ කර ගත්තා. ඔහු ඇය සමග ‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් එහිදී ගායනා කළා. 

සංදර්ශන දෙකකට ඉන්දියාවට ගිය යොහානිට එහිදී බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ කුනාල් දේශ්මුක්ගේ ‘ශිද්දත්’ (Shiddat) නම් හින්දි චිත්‍රපටයේ තේමා ගීතයේ පසුබිම් ගායනයට එක්වෙන්නත් ඇරයුමක් ලැබුණා. ඇය පළමුවරට එහිදී හින්දි භාෂාවෙන් ගීතයක් ගැයුවා. එහි වීඩියෝව යූටියුබ් එකට මුදා හැර ඇති අතර එහි නිර්මාණය හා මානන් භාරද්වාජ් නම් ඉන්දීය ගායකයාගේයි. ඔක්තෝබර් 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි යොහානිගේ සති දෙකක ඉන්දීය සංචාරය දෙරට අතර සංස්කෘතික බැමි ශක්තිමත් කිරීමට හේතු වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇය සංස්කෘතික තානාපතිනියක් සේ නම් කරනු ලැබුවා. එහි දී ඇය හමුවීමට, ඇයට සුබ පතන්නට විවිධ කලාකරුවන් ආවා. ඇගේ ප්‍රියතම නිළියක් වූ මධුරී ඩික්ෂිත් ද පැමිණ සිටියා. නවක පරපුරේ යොහානිට ලැබුණු පිළිගැනීම මෙතෙක් නොවූ විරූ එකක්. ඒ වයසේ අපේ රටේ කිසිම තරුණියකට නොලැබුණු දෙයක්. ශ්‍රී ලංකාවට අත් කර දුන් ඉමහත් කීර්තිය වෙනුවෙන් අප යළිත් ඇයට සුබ අනාගතයකට ආසිරි පතනවා. 

- පර්සි ජයමාන්න .

Post a Comment

0 Comments