HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මීට දසක හතකට පෙර ධනපාල ඇරඹූ පුවත්පත් පෙරළිය - ලංකාදීප හා දවස

ශ්‍රී ලංකාවේ පුවත්පත් කතාවේ ලොකු පෙරළියකට මීට දසක හතකට පෙර එක් යුග පුරුෂයෙක් අත ගැසූවේය. ඉංග්‍රීසි ලේඛකයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටි ඔහුට, රටට ගැළපෙන, දේශීය ඌරුවට සරිලන, සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට අවශ්‍ය විය. 1947 දී ඔක්තෝබර් 29 වැනිදා ‘ලංකාදීප’ පත්‍රය ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එයින් පුවත්පත් කලාවේ නව ‍පිබිදීමක් ඇති විය. එහෙත් වසර 13කට පසු තම අරමුණ ඔස්සේ එය ගෙනයාමට නොහැකිවූ බව තේරුම් ගත් ඔහු එතැනින් එළියට බැස්සේ යළිත් සිය අරමුණු කරා යන්නට විකල්පයක් සොයා ගෙනය. ‘දවස’ පුවත්පත ඔහු අතින් බිහි වූයේ ඒ අනුවය. 

ජාතික පුවත් පතේ සිහිනය සැබෑ කළ ඩී. බී. ධනපාල මහතා.

‘දවස’ පත්‍රයේ ආරම්භය දෙදෙනකු දෙතැනක දුටු සිහිනයක් සැබෑවීමකි¡ ඉන් එක් සිහිනයක් මැවුයේ හෙළදිව මහ පොත්හලේ නිර්මාතෘ ඇම්¡ ඩී¡ ගුණසේන මහතායි. ඒ රට ජාතිය වෙනුවෙන් ජාතික පුවත්පතක් ඇරඹීමයි. අනෙක් සිහිනය මැවූයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ යුග පුරුෂයකු වූ ඩී. බී. ධනපාල මහතායි. ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ජාතික පුවත්පතක් ඇරැඹීමයි. ඩී. බී. ධනපාල මහතා ඉන්දියාවේ ඉගෙන ගන්නා කාලයේදීම එරට පුවත්පත්වලට ඉංග්‍රීසියෙන් ලිපි ලියූ දක්ෂ ලේඛකයකු විය. ඔහු එහිදී ඉන්දියානුවන් සඳහා ඉංග්‍රීසි සඟරාවක්ද පළ කළේය. ඔහු ගැන විමසිල්ලෙන් සිටි එවකට ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා ‘සිලෝන් ඩේලිනිවුස්’ පත්‍රයේ කර්තෘ එච්. ඒ. ජේ. හුළුගල්ලේ මහතා මගින් ධනපාල මහතා 1933 දී මෙරටට ගෙන්වා ගෙන සිලෝන් ඩේලිනිවුස් පත්‍රයේ විශේෂාංග කර්තෘ වශයෙන් සේවයට බඳවා ගත්තේය. සත් වසක් එහි සේවය කළ ඔහු ‘ජේනස්’ (Janus) නමින් ලියූ කලා විචාර නිසා මහත්සේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එහෙත් ඔහු එහි පරිපාලනය සමග ඇති කරගත් මත ගැටුමක් නිසා පුවත්පත් කලාව අතහැර ගුරු වෘත්තියට ඇතුළු විය. ඔහු කැලණියේ ධර්මාලෝක විදුහල්පති පදවියට පත් වූයේ ඒ අනුවය. එහෙත් රට ඔබින ජාතික පුවත්පතක් බිහි කිරීමට ඔහු මැවූ සිහිනය අත් නොහළේය. 

1947 දී විදුහල්පති පදවියෙන් අස් වූ ඔහු ජාතික පුවත්පතක් දියත් කිරීමට යළිත් සාකච්ඡා පටන් ගත්තේය. එවර ඔහු හැරුණේ එවකට ඉංග්‍රීසි පුවත්පත් පළ කළ ටයිම්ස් ආයතනය වෙතටය. එවකට ලේක්හවුස් ආයතනයෙන් පළ කළ ‘දිනමිණ’ පත්‍රයට තරගකාරී පුවත්පතක් පළ කිරීමට ටයිම්ස් පාලනය එකඟ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩී. බී. ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් ජුලියස් ද ලැනරෝල් මහතාගේ කර්තෘත්වයෙන් 1947 ඔක්තෝබර් 29 වැනිදා ‘ලංකාදීප’ පත්‍රය ආරම්භ විය. එය ‘දිනමිණ’ට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය. ප්‍රවෘත්ති හා විශේෂාංග පළ කිරීමේදී දේශීය හා ජාතික වැදගත්කමින් යුතු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකාරක නොවී ස්වාධීනව සිංහල පත්‍රයක් පවත්වා ගෙන යා හැකි බව ඒ මගින් ධනපාල මහතා පෙන්වා දුන්නේය. ආරම්භයේ දී සවස පත්‍රයක් ලෙස පළ වූ ‘ලංකාදීප’ පසුව උදෑසන පුවත්පතක් බවට පත් විය. ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ සැමදෙනාගේ පත්‍රයක් ලෙස ‘ලංකාදීප’ නැවුම් මුහුණුවරකින් පවත්වා ගෙන යාමට ධනපාල මහතා ප්‍රමුඛ පිරිසට හැකි විය. 

ජාතික පුවත්පතක් පිළිබඳ සිහිනය මැවූ ඇම්. ඩී. ගුණසේන මහතා.

1947 දී ‘ලංකාදීප’ පත්‍රය ආරම්භ කිරීමට මූලික වෙමින් ජුලියස් ද ලැනරෝල් මහතාගෙන් පසුව එහි කර්තෘ ධුරය ද කළමනාකාර ධුරය ද එක විට දරමින් වසර 13ක් ටයිම්ස් ආයතනයේ සේවය කළ ධනපාල මහතා 1960 දී එම ආයතනයෙන් ඉල්ලා අස් විය. ඒ 1960 මැතිවරණයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතාට එරෙහිව දැදිගම ආසනය සඳහා තරග වදින්නට ‘ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රත්න දේශප්‍රිය සේනානායකට නිවාඩු අනුමත කිරීම මුල්කරගෙන ටයිම්ස් පාලනයත් ඇති වූ මතභේදයක් නිසා ය. ඉන්පසු ධනපාල මහතා තමා සමග ලංකාදීපයෙන් ඉවත් වූ පත්‍ර කලාවේදීන් පිරිසක් සමග ‘දිවයින’ නමින් තවත් අලුත් පුවත්පතක් ආරම්භ කළ නමුදු එය වැඩි කල් පැවතුණේ නැත. 

ජනතාවට සමීප ජාතික පුවත්පතක් පවත්වාගෙන යාමේ සිහිනය අත්හැර දැමීමට ධනපාල මහතාට නොහැකි විය. ඔහු යළිත් වරක් ඒ සඳහා සුදුසු ආයතනයක් සෙව්වේ ය. එවර ඔහු යොමු වූයේ සිංහල පොත් ප්‍රකාශනයේ දැවැන්තයකු වූ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම දෙසටයි. සිංහල පුවත්පතක් ඇරඹීමට සිය පියා තුළ පැවති සිහිනය ගැන දැන සිටි සේපාල ගුණසේන මහතා ඊට එකහෙළා එකඟ විය. සිය පියාගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩී. බී. ධනපාල මහතා ඉදිරිපත් වීම සේපාල ගුණසේන මහතාගේ ඉමහත් සතුටට හේතු විය. ඒ අනුව 1961 පෙබරවාරි 1 වන දා ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම බිහි විය. ඩී. බී. ධනපාල මහතා තමා එතෙක් ලත් අත්දැකීම් සියල්ලම උපයෝගී කර ගෙන අලුත්ම ජාතික පුවත්පත බිහි කිරීමට සැරසුණේ ය. ඒ සඳහා ඔහු සමග පියල් වික්‍රමසිංහ හා ඩේවිඩ් කරුණාරත්න යන මහත්වරුන් ප්‍රමුඛ පත්‍රකලාවේදීන් පිරිසක් එක් වී සිටියහ. සිංහල පුවත්පත් කලාවට සියවස් සපිරුණු පසු එළඹි වසරේ ම ‘දවස’ පුවත්පත බිහි වීම විශේෂත්වයක් විය. 

පියාගේ සිහිනය සැබෑ කළ පුතා - 
සේපාල ගුණසේන මහතා

ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මුල් ම ප්‍රකාශනය වූ ‘දවස’ මංගල කලාපය නිකුත් වූයේ 1961 අගෝස්තු 14 වැනිදා ය. එම පුවත්පතට ඩී. බී. ධනපාල මහතාගේ නමින් පළ වූ කතුවැකියෙහි මෙසේ සඳහන් විය. 

“‘දවස’ පත්‍රයේ කර්තෘ වශයෙන්, එක් විශේෂ හේතුවක් නිසා පරලෝ සැපත් ඇම්. ඩී. ගුණසේන මහතා අද දින මතක් නොකර ම බැරි ය. වර්තමාන ග්‍රන්ථ ප්‍රකාශක ලෝකයේ මහා වීරයකු වී වැජඹුණු ඒ මහතා, ඉතා සුළුවෙන් පටන් ගත් ඇම්. ඩී. ගුණසේන සහ සමාගම හෙළදිව මහා පොත්හල බවට පත් කළේ ය. 

“එහෙත් අවාසනාවට ඒ පොත්හල සඳහා නොරිස් වීදියේ ඉදිවන සුවිසාල මන්දිරය නිමවන්නට පෙර, ඒ මහතා අප අතරින් තුරන් විය. 

“ගුණසේන මහතා නොහිටින්නට වර්තමාන ග්‍රන්ථ ප්‍රකාශනයේ වෙළෙඳ අංශය මේ සා උසස් දියුණුවකට පත් නොවනු ඒකාන්ත ය. එසේ වෙතත් ඒ මහතා මට මතක් වන්නේ මේ නිසා ම නොවේ. 

“අභාවයට මත්තෙන් ඒ මහතාට මුදුන්පත් කරගන්නට නොහැකි වූ තවත් වැදගත් බලාපොරොත්තුවක් විය. 

“ඒ වනාහි, දිනපතා සිංහල ප්‍රවෘත්ති පත්‍රයක් ආරම්භ කිරීමයි, 

“ඒ බලාපොරොත්තුව සපුරාලීමේ මෙහෙවර ගුණසේන මහතාගේ දෙටු පුත්‍ර සේපාල ගුණසේන මහතා සහ ඥාති පුත්‍ර ඇම්. ඩී. සිරිසේන මහතාත් කෙරෙහි පැවරිණ. ලංකාවේ සිංහල පුවත්පත් ඉතිහාසයේ එක් සිය එක් සංවත්සරය වන මේ අවදියේ නිකුත් වන දවස පුවත්පත බිහි කිරීමෙහි පුරෝගාමී වූ සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයන් වශයෙන්, ඒ උසස් මෙහෙය ඉටු කිරීමේ ප්‍රීතිය, අද ඔවුන් සතුව ඇත. 

“පරලෝ සැපත් ගුණසේන මහතාගේ අදහස මුදුන්පත් කරමින්, ග්‍රන්ථලෝකයේ සහ ප්‍රකාශන අංශයේ විශිෂ්ට අත්දැකීම් ඇති ඒ මහතාගේ පුත්‍රයන් හා ඥාති පුත්‍රයන් විසින් අරඹන ලද මේ ජාතික ව්‍යාපාරයට මටත් සහභාගි වන්නට ලැබීම මගේ ජීවිතයේ ඉතා වාසනාවන්ත සිද්ධියක් හැටියට සලකමි. 

“පත්‍ර සමාගමේ නාමයෙන් ම පැහැදිලි වන පරිද්දෙන් ‘දවස’ස්වාධීන පුවත්පතක් ය. බහු ජනතාවගේ හිත සුව පිණිස අපක්ෂපාතව, අගතිවිරහිතව, ජාතියේ දියුණුව සඳහා පැවැත්වෙන ජාතික පුවත්පතක්ය. 

“ඇත්ත වශයෙන් ම ‘දවස’ ඔබේ පුවත් පත ය. ‘දවස’ පුවත් පත ඔබ අත තබමින්, එහි අනාගතය ඔබ අතේ බව දන්වනු කැමැත්තෙමි.” 

 දවස පුවත්පතේ මුල් පිටුවක්

දේශපාලන නිදහස ලැබීමෙන් පසු ජාතික, ආගමික හා සංස්කෘතික ප්‍රශ්න හා කාරණා පිළිබඳව සංවේදී වූ, එසේ ම ඒවා ඇමතිය හැකි, ස්වාධීන සිංහල පුවත් පතක් අවශ්‍යව තිබූ යුගයක ය. ඒ නිසා එය ඉතා කෙටි කලකින් ම ජනතා ප්‍රසාදය දිනා ගත්තේය. ඊට හේතු වූයේ ‘දවස’ නියෝජ්‍ය කතුවරුන් වූ පියල් වික්‍රමසිංහ හා ඩේවිඩ් කරුණාරත්න යන මහත්වරුන්ගේ සහය ඔහුට ලැබීම නිසාය. ඒ දෙදෙනා ම ජන හද ගැස්ම හොඳින් හඳුනන අය වූහ. 

ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දිනපතා පත්‍රයට ‘දවස‘ යන නම යෝජනා කළේ එවකට එහි සෝදුපත් අංශ ප්‍රධානී ආර්. සමරසේකර කවියා ය. ‘දවස’ යන නමින් අලුත් පුවත්පතක් ළඟ එන ආරංචිය ජනතාව අතරට ගෙන ගියේද ඉතා රසවත් ආකාරයකටය. ඒ සඳහා යොදා ගනු ලැබුවේ පෙර රජ දවස අණබෙරකරුවා ය. ඔහු නගරගම්දනව් සිසාරා යමින් ගායනය කළේ මෙවන් කවියකි; 

 “අක්කෙ නඟේ නෑනේ 
 අයිය මලේ බෑනේ 
කියවන්නට ඕනේ 
දවස දවස ගානේ” 

අණබෙරකරුගේ රුව සමග මේ කවිය රැගත් පෝස්ටරයක් ද රටපුරා ඇලවිණි. අලුත් ජාතික පුවත්පත පිළිබඳ ආරංචිය රටපුරා ගෙන යන්නට ‘දවස උදාව’ යන නමින් කෙටි ඉඟි නළුවක්ද කාලිංග ඔබේවංශයන් අතින් නිෂ්පාදනය කෙරිණ. එහි පද්‍ය නිර්මාණය විමලේන්ද්‍ර වතුරේගම කවියාගේ විය. 

සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගමේ මුල් ප්‍රකාශනය වූ ‘දවස’ දිනපතා පත්‍රයේ මංගල පිටපත 1961 අගෝස්තු 14 වැනිදා, සඳුදා, නිකුත් වීමෙන් පසු එළඹුණු ඉරිදා, එනම් 1961 අගෝස්තු 20 වැනිදා ඔවුන්ගේ දෙවන ප්‍රකාශනය ලෙස ‘රිවිදින’ සති අන්ත පුවත්පත එළි දුටුවේ ය. දින පහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කළ, හපන්කමක් ලෙස එය හැඳින්විය හැකිය. 1966 සිට එය පළ වූයේ ‘රිවිරැස’ යන නමිනි. 

දවස දිනපතා පත්‍රය ආරම්භ කර වසර හයක් ගත වන්නටත් මත්තෙන් ස්වාධීන පත්‍ර සමාගම තවත් ප්‍රකාශන 16ක් පළ කරන්නට තරම් සමත් වීම ඒ ව්යාපාරයේ සාර්ථකත්වය පිළිබිඹු කරන්නකි. ඒ ප්‍රකාශන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙ බසින් ම ප්‍රකාශන පළ කරන්නට හැකි වීම, ජාතික පුවත්පත් ආයතනයක් ලෙස සිය වගකීම්වලට උර දුන් බවට සාක්ෂි දරන්නකි. දිනපතා ම සවස නිකුත් වූ පුවත්පත වූ ‘සවස’ (1963), සෑම බෘහස්පතින්දා ම සිනමාව හා කලා වෙනුවෙන් ‘විසිතුර’ (1962), සඳුදා දිනවල ළමයින්ට ‘ටිකිරි’ (1963), කවීන් සඳහා වෙන්වූ ‘ගීතාංජලී’ (1964), ජ්‍යොතිෂයට කැප වූ ‘ඉරණම’ (1964), කතා කලාවට වෙන් වූ ‘රසකතා’ (1965) හා තරුණ පරපුර වෙනුවෙන් ‘ප්‍රියාවි’ (1976) යන සතිපතා පුවත්පත් ද ‘ශ්‍රී’ නමින් මාසික සඟරාවක් ද ඒ අතර විය. දෙමළ බසින් පළ වූ පුවත්පත් අතර ‘දිනපති’ ‘රාධා’ ‘තෙත්ති’ හා ‘චින්තාමණී’ ද විය. ‘සන්’ හා ‘වීක්එන්ඩ්’ එම ආයතනයෙන් නිකුත් වූ ඉංග්‍රීසි පුවත්පත් විය. 

දවස ආරම්භක ප්‍රධාන කර්තෘ ඩී. බී. ධනපාල මහතා ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූ පසු දවස නියෝජ්‍ය කර්තෘ ඩේවිඩ් කරුණාරත්න මහතාට ප්‍රධාන කර්තෘ පදවිය හිමි විය. 1974 අප්රේල් මාසයේ 20 වැනිදා රජය විසින් සීල් තබා වසා දමනතුරු ම ඩේවිඩ් කරුණාරත්න මහතා ඒ පදවිය දැරී ය. 

රජය විසින් දවස ආයතනයට සීල් තැබීම හැත්තෑවේ දශකයේ සිදුවූ අවසනාවන්ත සිදුවීම ලෙස සැලකිය හැකිය. 

හැටේ දශකයේ මුල් කාලයේ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ පාසල් පොත් මුද්‍රණය කිරීමයි. ඒ කාලයේ බලයට පත් සභාග රජයේ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එතෙක් ගුණසේන සමාගම මුද්‍රණය කරමින් තිබූ පාසල් පොත් කොන්තරාත්තුව අවලංගු කොට රජයේ මුද්‍රණාලයට පැවරීය. ගුණසේන සමාගමට මුහුණ පාන්නට වූ මේ ප්‍රශ්නය නිසා එකල පැවති සභාග රජය සමග උරණ වූ දවස ආයතනය සභාග රජයට එරෙහි ව ක්‍රියා කරන්නට තීරණය කළේ ය. 

එකල අගමැති පදවිය හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක දිවයින පුරා ආරම්භ කළ වගා සංග්‍රාමය නිසා හාල් පොලු මිරිස් පොලු ඇති විය. බත් කෑම සීමා කරනු ලැබීය. ඒ වෙනුවට අල, බතල, මංඤොක්කා, වට්ටක්කා ආදිය කෑමට නියම කෙරිණ. ඒ කාලයේ කන්ට නැතිව ජනතාව මියයතැයි යන පුවත් කැපී පෙනෙන ලෙස පළ කරන්නට දවස වග බලා ගත්තේය. බත් නැතිකම නිසා කෑ මංඤොක්කා විස වීමෙන් රටපුරා මරණ සිදු වෙතැයි වාර්තා දවසෙහි පළ වූ අතර ඒ මරණවල වගකීම රජය විසින් භාර ගත යුතු යැයි දවසෙන් චෝදනා එල්ල විය. එයින් පැවති රජය කෝපයට පත් විය. 

දවස මංගල කලාපය

ඒ සමග ම විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන කළ සත්‍යග්‍රහ, පා ගමන්, රටපුරා කළ ආණ්ඩු විරෝධී ව්‍යාපාර ආදියට දවස පුවත් පත මගින් විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. මේ අතර 1974 අප්‍රේල් 21 වැනිදා එජාපය රටපුරා ආණ්ඩු විරෝධී අරගලයක් සංවිධානය කළේය. මේ පුවත මුලින් ම ජනතාව අතරට යැවීමට ප්‍රචාරක කොන්තරාත්තුව ලැබුණේ ප්‍රධාන කර්තෘ ඩේවිඩ් කරුණාරත්නටය. ඔහු ඒ ප්‍රවෘත්තිය සකස් කර එය මහ ඉහළින් පළ කිරීමට කටයුතු යෙදුවේ ය. එය පළ වීමට නියමිතව තිබුණේ ඉරිදා පළ වන රිවිරැස පත්‍රයේ ය. 

මේ පිළිබඳ තොරතුරු 19 වැනිදා එනම් සිකුරාදා අගමැතිනියගේ කන වැකුණේ ය. ප්‍රකෝපකාරී පුවත පළ කරන්න පෙර දවස පුවත් පතට සීල් තබන්නට ඇය තීරණය කළාය. ඒ අනුව ඒ වන විට පනවා තිබූ හදිසි නීතිය යටතේ එවකට සිටි ජනාධිපතිවරයාගේ අත්සනින් එම නියෝගය නිකුත් කෙරිණ. එදා මහ රෑ දවසට සීල් තැබීමට බලධරයා වූ රිජ්වේ තිලකරත්න මහතා ප්‍රමුඛ පිරිස එහි පැමිණියේ සේපාල ගුණසේන මහතාද සමගය. බලධරයා කෙතෙක් පිරික්සුව ද ඒ ප්‍රකෝපකාරී පුවත ඔහුට සොයා ගත නොහැකි විය. එහෙත් ඔහු නියෝගය අනුව ආයතනයට සීල් තබා ගියේය. 

දවසට චෝදනා කිරීමට බලධරයා සොයා ගිය පුවතට වූයේ කුමක්ද? එය ප්‍රකෝපකාරී පුවතක් විය හැකි යැයි තීරණය කළ රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේ හා වීක්එන්ඩ් කර්තෘ රෙක්ස් ද සිල්වා යන දෙදෙනා විසින් එය කල් තියා ඉවත් කොට තිබීම නිසා බලධාරියාට එය සොයා ගත නොහැකි විය. එහෙත් දවසට සීල් තැබීම තවත් වසර තුනක් යනතුරු වෙනස් නොවීය. එයින් ඇති වූ පාඩුව නිසා යළි පෙර සේ හිස ඔසවන්නට ‘දවස’ට නොහැකි විය. 1977 දී බිහි වූ නව රජයත් සමග තහංචි ඉවත් කර ගත් නිසා යළි ආරම්භ කෙරුණත් කලින් පැවති තත්වයට පත් වීමට ‘දවස’ට හැකි වූයේ නැත.1990 දෙසැම්බර් 26 වැනිදා එහි හිමිකරුවන් විසින් එය සදහට ම වසා දමනු ලැබීය. 

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. 1997 යන්න 1977 ලෙස නිවැරදි වියයුතු යැයි සිතමි.

    ReplyDelete