HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොවිඩ් මාරයා මඩින්න දැන් ඖෂධ රැසක් ළඟදීම කරළියට!

'කොවිඩ් 19' වයිරසය ලොව පුරා හැම රටක් ම කලඹමින් විවිධ හැඩරුව ගනිමින් තවත් පැතිරෙමින් යනවා. ඒත් මඳ ඇසිල්ලක් ලැබී ඇත්තේ එන්නත්කරණය නිසා යම් තරමක පාලනයක් ඇති වීම නිසයි. බොහෝ රටවල් දැන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් ජනතාවට එන්නත් ලබා දී තියෙනවා. ඒ අනුව නව සාමාන්‍යකරණය යටතේ රටවල් සිය එදිනෙදා කටයුතු යම් යම් සීමා ඇතිව දැන් අරඹා තියෙනවා. 21 වැනිදා සිට ශ්‍රී ලංකාවත් ඒ අතරට එක්වෙනවා. එන්නත් ලබා දීමත් නොකඩවා දිගට ම සිදු කෙරෙනවා. ඒ කොයි හැටි වෙතත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් නොකඩවා කාලයක් පවත්වා ගෙන යායුතු වන්නේ වයිරසයට තිත තියන්න තියෙන එකම ක්‍රමය ඒක පමණක් වන නිසයි. 

'මොල්නුපිරවිර්' ඖෂධය

හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය දී ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ගණනාවක් ම දැන් තියෙනවා. මේ එන්නත්වලින් රෝගය වැළඳීම සම්පූර්ණයෙන් වැළක්වීමට නොහැකි වී ඇත්තේ මේ වයිරසය සිය හැඩය වරින්වර වෙනස් කරන නිසයි. ඒත් එන්නත ගත්තොත් රෝගය වැළඳුණත් එය බරපතල නොවී මර්දනය කර ගන්නට හැකි යැයි වෛද්‍යවරුන් කියනවා. අනුමත කළ එන්නතක නියමිත මාත්‍රා ලබාගෙන ඇත්නම්, 'කොවිඩ් 19' වයිරසය නිසා ඇති විය හැකි සංකූලතාවලින් බේරීමටත්, මරණයට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීමටත්, එන්නත්කරණයෙන් හැකියාව ලැබෙනවා. 

මේ වයිරසය සාර්ස් වයිරස ගණයට අයත් වන නිසා සාර්ස් වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත් ඖෂධ මේ වයිරසයටත් ප්‍රතිකාර සඳහා යොදා ගනු ලැබුවා. ඒත් වයිරසය විවිධ විකෘති බිහි කිරීම නිසා කොවිඩ් රැලි විවිධ රටවලින් බිහි වුණා. තවමත් ඒ වෙනස්වීමේ අවදානම තියෙනවා. ඒ හේතුව නිසයි, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද යන් අනුගමනය කිරීම දැඩිව සිදු කළ යුතුයි කියා විශේෂඥයන් කියන්නේ. 

කොවිඩ් රෝගීන් සුවපත් කරන්නට පෙති, කරල්, ඉන්හේලර් (ආඝ්‍රාණක) 
සහ නේසල් ස්ප්‍රේ (නාසික දියර ඉසින) කරළියට ඇවිත්.

ඇමරිකාවේ ෆෙඩරල් ඖෂධ අධිකාරිය කොවිඩ් - 19 සඳහා හදිසි ප්‍රතිකාර සඳහා අනුමත කළ ආක්ෂේප ප්ලාස්මා (convalescent plasma) ප්‍රතිකාර ක්‍රමය චීනය පවා එරට කොවිඩ් රෝගීන් සුව කිරීම සඳහා යොදා ගත්තා. ඒ ක්‍රමයට භාවිත කෙ‍ෙරන්නේ කොවිඩ් -19 රෝගය වැළඳී සුවපත් වූවන්ගෙන් ලබා ගන්නා රුධිරයෙන් සැකසූ ප්ලාස්මාවයි. ඒ රුධිර ප්ලාස්මාවෙහි කොවිඩ් 19 වයිරසය වෙනුවෙන් ඇති කරගත් ප්‍රතිදේහ කෙළින් ම අනිත් රෝගියාගේ රෝගය ඉක්මනින් මර්දනය කරන්නට උපකාර වෙතැයි යන සංකල්පය මතයි, ඒ ප්‍රතිකාර ක්‍රමය ඇරඹුණේ. 

ලොව පුරා විද්‍යාඥයන් හා පර්යේෂකයන් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස විවිධාකාරයේ ඖෂධ වර්ග කොරෝනා රෝගීන් සඳහා දැන් නිපදවමින් තියෙනවා. මේ වන විට, කොවිඩ් රෝගීන් සුවපත් කරන්නට පෙති, කරල්, ඉන්හේලර් (ආඝ්‍රාණක) සහ නේසල් ස්ප්‍රේ (නාසික දියර ඉසින) කරළියට ඇවිත්. ඒ බොහොමයක් තවමත් අවසාන ශායනික පරීක්ෂණ මට්ටමෙයි තියෙන්නෙ. ඉතා ඉක්මනින් ම ඒ ඖෂධ ලෝකයේ භාවිතයට ඒවි. ළඟදීම 'කොවිඩ් 19' සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක තත්වයට පත්වනු ඇති. රෝගීවූවන්ට නිවසේදී මෙම ඖෂධ ලබා ගෙන රෝගයෙන් මිදීමට හැකි වේවි. 

මේ පෙති, කරල්, ඉන්හේලර් සහ නාසික දියර කරළියට පැමිණීමට පෙර, ආරම්භයේ දී 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට බටහිර රටවල් (විශේෂයෙන් ඇමෙරිකාවේ) ඖෂධ වර්ග කීපයක් භාවිතයට ගැනුනා. එ් ඖෂධ, කැනියුලාවක් මගින් හෝ එන්නත් මගින් හෝ ඇතුළු කළයුතු ඒවා වුණා. එපමණක් නොව, එය රෝහලක වෛද්‍ය අධීක්ෂණය යටතේ කළයුතු ප්‍රතිකාර ක්‍රමයක් වුණා. කොවිඩ් - 19 සඳහා දැනට ඇමරිකාවේ ෆෙඩරල් ඖෂධ අධිකාරිය විසින් අනුමත කර ඇති එකම ඖෂධය වන්නේ ‘රෙම්ඩෙසිවිර්’ Remdesivir (Veklury) ය. එයින් රෝගී වූ අය ඉක්මනින් සුවපත් වූ බව සඳහන් වෙනවා. ඒත් ප්‍රමාණවත් තොරතුරු නැති නිසා ලෝක ‍සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමත කර නැහැ. 

දැනට තනා ඇති ඖෂධ අතරින් ඉදිරියෙන්ම ඇත්තේ ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම තනන වයිරසනාශක බෙහෙත් කරලක්. මෙය හැඳින්වෙන්නේ 'මොල්නුපිරවිර්' (molnupiravir) කියායි. මේ කරල ගැන සඳහන් කරමින් ශ්‍රී ලංකාවත් එය ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් පසුගියදා ප්‍රකාශ කෙරුණා. 'මොල්නුපිරවිර්' බෙහෙත් කරල ශායනික පරීක්ෂණවලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක් කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපිරවිර්' නිර්දේශ කෙරුණා. ශායනික පරීක්ෂණ සාර්ථක වූයේ රෝගීන් රෝහලේ රැඳී සිටිය යුතු කාලය අඩු කරමිනුයි. 

ඇමරිකාවේ ෆෙඩරල් ඖෂධ අධිකාරිය විසින් අනුමත කර ඇති එකම ඖෂධය වන්නේ ‘රෙම්ඩෙසිවිර්’

'මොල්නුපිරවිර්' ඖෂධය හදිසි භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තියෙනවා. ඉදිරි දින කීපයේ දී 'මොල්නුපිරවිර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. 

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, 'මොල්නුපිරවිර්' සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වුවහොත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන උනන්දු වනු ඇති. රටවල් බොහොමයක් මේ වන විටත් 'මොල්නුපිරවිර්'' ඇණවුම් කිරීමට සූදානමින් සිටින බැවින්, ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය දුන් විගස ඔවුන් 'මර්ක්' සමාගමෙන් ඖෂධය ඇණවුම් කරනු ඇති. 

තවත් ඇමෙරිකන් සමාගම් දෙකක් වන 'රෝච්' සහ 'ඇටියා' ඖෂධ නිෂ්පාදන සමාගම ද එක් වී වයිරස නාශක ඖෂධයක් නිර්මාණය කර තියෙනවා. එය AT-527 කියා හැඳින්වෙනවා. එය 'කොවිඩ් 19' රෝගීන් ඉක්මනින් සුවපත් කරන, රෝහල්ගත වීමට ඇති ඉඩ අවම කරන ඔසුවක්. AT-527 ඔසුවද මෙම වසර අවසානයේ දී අනුමැතිය සඳහා ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කිරීමට නියමිතයි. 

කොවිඩ් 19 සඳහා 'ෆයිසර්' එන්නත නිපදවූ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ද කොවිඩ් 19 ආසාදිතයන් වෙනුවෙන් වයිරස නාශක ඔසුවක් අත්හදා බලන බව වාර්තා වෙනවා. පසුගිය ජූලි මාසයේ 3,000 ක පිරිසක් සම්බන්ධ කර ගනිමින් ශායනික අත්හදා බැලීමක් සිදු කළ අතර, එය සාර්ථක වූ බවද කියවෙනවා. තමන්ගේ මෙම නව ඖෂධය මෙම වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව 'ෆයිසර්' සමාගම කියනවා. 

. එන්නත් ලබා දීමත් නොකඩවා දිගට ම සිදු කෙරෙනවා.

ජපානයේ 'ෂියෝනොගී' ඖෂධ නිෂ්පාදන සමගාමත් නව ඖෂධයක් නිපදවා තියෙනවා. එයත් අවසන් අදියරේ ශායනික පරීක්ෂණවලට යොමු කර තියෙනවා. මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට සහ කොරෝනා වයිරසය ආසාදනය වූවද කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන්ට ලබා දීමට සුදුසු බවයි, කියන්නේ. 

'කොවිඩ් 19' වයිරසය ශරීරයට ඇතුළු වන්නේ නාසය, ඇස් සහ මුඛයෙන්. වයිරස ආසාදිතයකුගේ සමීපතමයකු බව දැනගත් සැණින්, භාවිතයට ගැනීමට නාසික දියර ඔසුවක් (Nitric Oxide Nasal Spray) හඳුන්වා දී ඇත්තේ කැනඩාවේ 'සැනෝටයිස්' (SaNOtize) නමැති ඖෂධ නිෂ්පාදන සමාගමයි. මෙය නිපදවීමට ඊශ්‍රායලයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වූ ග්ලෙන්මාක් හවුල් වී තියෙනවා. 

මේ වනවිට ඊශ්‍රායලයේ ඔසුහල්වලින් මෙම නාසික දියරය මිලදී ගත හැකියි. තවත් ඖෂධ සමාගම් කීපයක් ම නාසික දියර සහ ඉන්හේලර් නිපදවනවා. ඒ, පෙණහලු දක්වා 'කොවිඩ් 19' වයිරස විෂබීජ ගමන් කිරීම නැවැත්වීමේ අරමුණින්. ඒ අතරින් ඉදිරියෙන් ම සිටින්නේ 'සිනයිර්ජන්' ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දී ඇති ඉන්හේලරයයි. මෙම එන්නතට අදාළ ශායනික දත්ත 2022 වසර මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments