HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රම වෙළඳ පොළ පිළිබඳ නව ආර්ථික දැක්ම නිසා නො‍බෙල් සම්මාන ලද්දෝ

මෙවර ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තුන් දෙනකු අතර බෙදී යනවා. එයින් අඩක් කැනඩා-ඇමරිකා ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය ඩේවිඩ් කාඩ්ට මුළු ත්‍යාගයෙන් අඩකුත්, ඉතිරි අඩ තවත් ඇමරිකානු ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු අතරේත් බෙදා දීමට නොබෙල් කමිටුව තීරණය කරලා තියෙනවා. ඒ ජොෂුවා ඩී. ඇන්ග්‍රිස්ට් හා ගුයිඩෝ ඩබ්ලිව්. ඉම්බෙන්ස් ආර්ථික විද්‍යාඥයන් දෙදෙනාටයි. 

ආර්ථික විද්‍යාඥයන් ඩේවිඩ් කාඩ්. ජොෂුවා ඩී. ඇන්ග්‍රිස්ට් හා ගුයිඩෝ ඩබ්ලිව්. ඉම්බෙන්ස්

මෙවර ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය යටතේ ස්වීඩන් ක්‍රෝනා මිලියන 10ක (ඩොලර් මිලියන 1.14ක) මුදලක් පිරිනැමෙනවා. ස්වීඩනයේ ස්ටොක්හෝම්හී පිහිටි රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමියේදී මේ පිළිබඳව ගිය සතියේ අනාවරණය කෙරුණා. මෙම ත්‍යාගය ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණය වෙනුවෙන් ආර්ථික විද්‍යාව උදෙසා ලබා දෙන්නේ ස්වීඩනයේ මහා බැංකුව විසිනුයි. ඒ නිසා ඒ බැංකුව හැඳින්වෙන නම වූ ‘ස්වරිජියේස් රිස්ක් බෑන්ක්’ (Sveriges Riksbank) ත්‍යාගය ලෙසින්ද ප්‍රකටයි.

“මේ වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් ශ්‍රම වෙළෙඳ පොළ පිළිබඳව නව මානයන් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ස්වාභාවික අධ්‍යයනයන් හරහා ඇති වන සිද්ධීන් සහ බලපෑම් හරහා මතු වන තත්වයන් නිසා එළඹිය හැකි නිගමනයන් පිළිබඳව ඔවුන් අපට පෙන්වා දී තිබෙනවා.” යනුවෙන් සඳහන් කරන රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය පවසන්නේ මෙවර ආර්ථික විද්‍යාව සඳහා සම්මානය පිරිනැමෙන්නේ ඒ වෙනුවෙන් ඔවුන් කළ මෙහෙවරටයි. 

නොබෙල් ත්‍යාග මුද‍ලෙන් වැඩි කොටසක් හිමි කර ගන්නා, ඩේවිඩ් කාඩ්, 1956 දී කැනඩාවේ ගුඒලිප් හිදී උපන් අයෙක්. ඔහු පසුව 1983 දී ඇමරිකාවට පැමිණ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තා. ඔහු බර්ක්ලිහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඔහු අද එහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා ලෙස සේවය කරනවා. 

ආචාර්ය ඩේවිඩ් කාඩ්, ආර්ථික විද්‍යාඥ ඇලන් කෲගර් සමග එක්ව ස්වාභාවික අධ්‍යයනයන් යොදා ගනිමින් කම්කරු වෙළෙඳ පොළ මගින් අවම වැටුප, සංක්‍රමණය සහ අධ්‍යාපනය වෙත සිදු කර ඇති බලපෑම පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. 1990 දශකයේ මුලදී ඔහු සිදුකරන ලද මෙම අධ්‍යයනය ගතානුගතික දැනුම වෙත අභියෝගයක් එල්ල කරමින්, නව විශ්ලේෂණාත්මක සහ අමතර දැක්මක් වෙත යොමු කිරීමක් සිදු විය. 

බර්ක්ලි හි කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වන 65 හැවිරිදි ඩේවිඩ් කාඩ්, වැටුප් නියම කිරීම පිළිබඳව වෙනස් ආකාරයක චින්තනයක් සැපයූ 1993 දී අභාවප්‍රාප්ත ආර්ථික විද්‍යාඥ ඇලන් කෲගර් සමඟයි, ඒ පර්යේෂණ අධ්‍යයනය සිදු කළේ. ඔවුන්ගේ ඒ අධ්‍යයනයට පෙර, ලෝකයේ ආර්ථික පර්යේෂණයේ සාම්ප්‍රදායික චින්තාව වූයේ අවම වැටුප් නියම කිරීමෙන් රැකියා අවස්ථා අඩු වන බවයි. ඒ මතය ඔවුන් සිය නව අධ්‍යයනය මගින් බිඳ දැමුවා. නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය අනුව මියගිය අයට සම්මානය පිරිනැමෙන්නේ නැහැ. ඒ නිසා කෘෘගර් සම්මානය සඳහා නම් කෙරුණේ නැහැ. 

කාඩ් සහ කෘෘගර් නිව් ජර්සි සහ ඒ අසල පෙන්සිල්වේනියාවේ බර්ගර් කිං, කේඑෆ්සී සහ වෙන්ඩි ඇතුළු ක්ෂණික ආහාර අවන්හල් 410 ක රැකියා අනුපාත සන්සන්දනය කළා. නිව් ජර්සිහි වෙළඳසල්වල රැකියා, වැටුප් සහ මිල ගණන් ඔවුන් සන්සන්දනය කළ අතර, වසරකට පෙර එහි අවම වැටුප වැඩි කළ අතර එසේ අවම වැටුප වෙනස් නොකළ පෙන්සිල්වේනියාවේ තත්වයන් හා සසඳා බැලූ පර්යේෂක දෙපළ සොයාගෙන ඇත්තේ එක් ප්‍රාන්තයක අවම වැටුපෙහි වෙනස්වීම් ප්‍රාන්ත දෙක අතර රැකියාවල වෙනසක් සිදු වීමට බලනොපෑ බවයි. 

ඩේවිඩ් කාඩ් හැරුණු විට ඒ සම්මාන ලැබූ අනෙක් අය වන්නේ ජොෂුවා ඩී. ඇන්ග්‍රිස්ට් හා ගුයිඩෝ ඩබ්ලිව්. ඉම්බෙන්ස් ආර්ථික විද්‍යාඥයන් දෙදෙනායි. ඔවුන්ට සම්මානය පිරිනැමෙන්නේ ඔවුන් ඉදිරිපත් ආර්ථික න්‍යායක් වෙනුවෙනුයි. 

‘ආර්ථික හා ශ්‍රම වෙළෙඳ පොළ පවත්නා හේතු සාධක සම්බන්ධතා විශ්ලේෂණය කිරීම සඳහා ඔවුන් ලබා දුන් විධිමත් දායකත්වයන් උදෙසා’ ඔවුන්ට මෙවර සම්මානය පිරිනැමෙන බව සඳහන් කරන ආර්ථික විද්‍යා සම්මාන සඳහා වූ නොබෙල් කමිටුව, තවදුරටත් අදහස් දක්වමින්, ‘ස්වාභාවික අත්හදා බැලීම්වලින් ලබා ගත හැකි හේතු සහ නිගමන මොනවාද යන්න විදහා දක්වමින්, ඔවුන් ආනුභාවික පර්යේෂණවල විශ්වසනීයත්වය ඉහළ නැංවීමට උදව් කළ අය’ ලෙසින් හඳුන්වනවා. 

1960 වසරේදී කොලොම්බස් හිදී උපත ලබා ඇති ඇන්ග්‍රිස්ට්, එක්සත්ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම 1963 වසරේදී නෙදර්ලන්තයේ එයින්ඩ්හොවෙන්හිදී උපත ලබා ඇති ඉම්බෙන්ස්, එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම ව්‍යවහාරික ආර්ථිකමිතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments