HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් සම්මාන ලබන තුන් දෙනා හඳුනා ගන්න!

නොබෙල් සම්මාන සඳහා මෙවර සම්මානලාහීන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ බව අපි ඔබට 8 වැනිදා මල්කැකුළුවලින් කීවා. මෙවර නොබෙල් සාම සම්මානය දිනූ මාරියා රේසා (Maria Ressa) හා දිමිත්‍රි මුරාටෝව් (Dmitry Muratov) යන අභීත මාධ්‍යවේදීන් දෙදෙනා ගැන 8 වැනිදාම විස්තර කිව්වා. ඒ වගේ ම, සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනූ, බ්‍රිතාන්‍යයේ ජීවත් වන ඉංග්‍රීසියෙන් පොත් ලියන, ටැන්සෑනියානු ජාතික අබ්දුල්රසාක් ගුර්නා ගැන තොරතුරු ඔක්තෝබර් 9 වැනිදා මල්කැකුළුවලින් ඉදිරිපත් කළා. අද අපි ගෙන එන්නේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය දිනූ අය ගැනයි, මේ ඔබට අද කියන්නේ. 

භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය තිදෙනෙකුට 

සම්මාන ලබන තුන් රටක තුන් දෙනා

භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය තිදෙනෙකු අතරේ බෙදී යනවා. ඒ ඉතාලි ජාතික ජියෝජියෝ පරිසි (Giorgio Parisi), ජපානයේ උපන් ඇමරිකානු කාලගුණ විද්‍යාඥයකු ලෙස සැලකෙන සියුකුරෝ මනාබේ (Syukuro Manabe) හා ජර්මන් ජාතික ක්ලෝස් හැසල්මාන් (Klaus Hasselmann) යන භෞතික විද්‍යාඥයන් තිදෙනාටයි. 

සම්මානය සමග වැඩි මුදලක් ලබන ඉතාලි ජාතික ජියෝජියෝ පරිසි 

ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ජියෝජියෝ පරිසි

භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය සමග ත්‍යාග මුදලේ වැඩි කොටස එනම් සම්පූර්ණ මුදලෙන් අඩක් හිමි වන්නේ ජියෝජියෝ පරිසි නම් විද්‍යාඥයාටයි. 1948 අගෝස්තු 4 වැනිදා ඉතාලියේ රෝම නගරයේ උපන් ජියෝජියෝ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ පර්යේෂණ යොමු කෙරුණේ ක්වන්ටම් ක්ෂේත්‍ර න්‍යාය, සංඛ්‍යාත්මක ගති විද්‍යාව හා සංකීර්ණ පද්ධතීන් ඔස්සේයි. පරමාණුවල පටන් ග්‍රහලෝක දක්වා ඇති භෞතික පද්ධතීන්වල ඇති අන්තර් ක්‍රියාකාරකම්වල පවත්නා ව්‍යාකූලතා හා විචල්‍යයන් හඳුනා ගැනීම සඳහා කළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් ඔහුට භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය හා සම්පූර්ණ තෑගි මුදල‍ෙන් අඩක් පිරි නමන බව නොබෙල් කමිටුව ප්‍රකාශ කර තියෙනවා. 

සම්මානය සමග තෑගි මුදලෙන් හතරෙන් එකක් ලබන ජපන් ජාතික සියුකුරෝ 

ජපන් ජාතික භෞතික විද්‍යාඥ සියුකුරෝ මනාබ

1931 සැප්තැම්බර් 21 දා ජපානයේ සිංගුවල එහිමේවල දී උපන් සියුකුරෝ මනාබේ වෛද්‍ය පරපුරකින් පැවත එන අයෙකු වූ නිසා ඔහුව වෛද්‍යවරයකු කිරීමට අවශ්‍ය වුනත් ඔහු ඒ අතට යොමු වුණේ නෑ. ඔහු යොමු වුණේ කාලගුණ විද්‍යාව දෙසටයි. 1958 දී තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියා. එහි කාලගුණ පර්යේෂණ කාර්යාංශයට බැඳුණා. ඒ ආයතනයේ සේවයෙන් පසු 1997 ජපානයට ආ ඔහු එහි ජපානයේ පිහිටුවා ඇති ගෝලීය වෙනස්කම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ ආයතනයේ (Frontier Research System for Global Change) පෘථිවි ගෝලීය උණුසුම්කරණය පිළිබඳ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා. 2002 දී යළිත් ඇමරිකාවට ගිය ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා සාගර විද්‍යා වැඩසටහනට පර්යේෂකයකු ලෙස එක්වුණා. අද ඔහු ඒ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයකු ලෙස සේවය කරනවා. 

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිටි කාලය තුළ ඔහු පෘථිවියේ කාලගුණය දැක්වීම සඳහා භෞතික ආකෘතියක් නිර්මාණය කිරීම හා ඒ මගින් ගෝලීය උණුසුම්කරණය නිවැරදිව පුරෝකථනය කර සංඛ්‍යාත්මකව දැක්විය හැකි ක්‍රමවේදයක් ලෝකයට හඳුන්වා දීම හා ප්‍රථම වරට පරිගණකය යොදා ගෙන ගෝලීය හා ස්වභාවික කාලගුණික වෙනස්කම්වල පරිගණක ආකෘතියක් නිර්මාණය කිරීමට කළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් ඔහුට මේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය සමග ත්‍යාග මුදලෙන් හරෙන් එකක් පිරිනමන බව නොබෙල් කමිටුව නිකුත් කළ පණිවුඩයෙහි දැක්වෙනවා. 

සම්මානය සමග තෑගි මුදලෙන් හතරෙන් එකක් ලබන ජර්මන් ජාතික ක්ලවුස් 

ජර්මන් ජාතික භෞතික විද්‍යාඥ ක්ලවුස් හැසල්මාන්

ක්ලවුස් ෆර්ඩිනන්ඩ් හැසල්මාන් ජර්මනියේ වෙසෙන ප්‍රධාන පෙළේ සාගර විද්‍යාඥයෙක්, කාලගුණ ආකෘති සැලසුම්කරුවෙක්. ඔහු හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කළ ඔහු කාලගුණ විද්‍යාව පිළිබඳ මැක්ස්ප්ලෑන්ක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයායි. ‘පෘථිවියේ කාලගුණ විද්‍යාත්මක තත්වය හා ගෝලීය උණුසුම්කරණයෙහි ඇති සංඛ්‍යාත්මක විචල්‍යතා දැක්වීම පිණිස භෞතික ආකෘතියක් තැනීමට පුරෝගාමී විම‍’ වෙනුවෙන් ඔහුට, සියුකුරෝ මනාබේට මෙන් භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය සමග ත්‍යාග මුදලෙන් හරෙන් එකක් පිරිනමන බව නොබෙල් කමිටුව නිකුත් කළ පණිවුඩයෙහි දැක්වෙනවා. 

1991 දී ආරම්භ කළ යුරෝපයේ ප්‍රථම පෘථිවි කාලගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා මෙහෙයුමේ පියා ලෙසයි, හැසල්මාන් සැලකෙන්නේ. ‘අපි වසර 50ක් තිස්සේ ගෝලීය උණුසුම්කරණය ගැන අනතුරු අඟවනවා.’ ඔහු සම්මානය පිළිබඳ තීරණය දැන ගත් මොහොතේ කිවා. පෘථිවි ග්‍රහයාගේ ඇති වන කාලගුණික වෙනස්කම් අවබෝධ කර ගන්නට ලෝකයට මඟ පෙන්වූ අයෙක්. අභ්‍යවකාශයේ සිට පෘථිවිය නිරීක්ෂණ කිරීමේ නවීන තාක්ෂණයට මඟ පෑදූ අයෙක්. 

උඩු ගුවනේ සිට කාලගුණ චන්ද්‍රිකා මගින් සාගර තරංග නිරීක්ෂණයෙන් නාවුක ගමනාගමනය ආරක්ෂිතව කිරීමට මඟ පාදන නව සාගර ආග්‍රිත කාලගුණ අනාවැකි කීමේ ක්‍රමවේදයක් සැකසිමට ඔහුගේ න්‍යායන් උදවු වුණා. යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂ ජොශෆ් ආෂ්බැචර් (Josef Aschbacher) කියන්නේ ‘මහාචාර්ය හැසල්මාන් අපේ ඉහළම උපදේශක කමිටුවේ සාමාජිකයකු හැටියට අපේ කටයුතුවලට විශිෂ්ට විද්‍යාත්මක සේවාවක් කළා. ඔහුගේ න්‍යායන් ප්‍රායෝගිකව යොදා ගන්නා ආකරය ගැන අපට උපදෙස් දුන්නා.’ කියායි. 

- පර්සි ජයමාන්න 

වෛද්‍ය විද්‍යාව, හා රසායන විද්‍යාව සම්මානලාභීන් ගැන මීළඟට 

 

Post a Comment

0 Comments