සිනමා රංගනය වෘත්තීය මට්ටම ඔසවා තැබූ ගාමිණි ෆ‍ොන්සේකා

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මියගොස් පසුගිය සැප්තැම්බර් 30 වැනිදාට වසර 17 පිරුණා. ඒ නිමිත්තෙන් වෘත්තීය සිනමා රංගනයට හා පොදුවේ සිනමාවට ඔහුගෙන් වු සේවය ගැන සටහනක් තබන්නට හිතුණේ අද රිදී තිරයේ පමණක් නොව පුංචි තිරයේත් ඉන්නා මහා නළුනිළි කන්දරාවට අයත් වැඩි දෙනකු නොදන්නා නිසා ඔවුන් දැනුවත් කරන අටියෙනුයි. 

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා

සිනමා කර්මාන්තයේ ආරම්භයේ දී රංගනය ඉටු කළ නළු නිළියන්ට ප්‍රධාන තැනක් තිබුණේ නැත. ඒ නිසාම ඔවුනට හොඳට ගෙවීම් කරනු ලැබුවේත් නැත. චිත්‍රපට නිපදවන්නට ඉන්දියාවට ගියත් ඔවුන්ට නිෂ්පාදකයන්ගෙන් ලැබුණේ තුන්වැනි පන්තියේ සැලකිලිය. එහෙත් සිනමා පටය ජනතාව අතරට අරන් ගියේ ඔවුන් ය. චිත්‍රපට කර්මාන්තය තුළ සල්ලි ගරන මාධ්‍යයක් ලෙස වැඩිදායකත්වය දැරුවේ, සිනමාහල්වල සිනමාලෝලයන් ආකර්ෂණය කළේ, නළුනිළියන්ය. එහෙත් ඔවුන්ට ගෙව්වේ සොච්චම මුදලක්ය. 

‘කඩවුණ පොරොන්දුව’ චිත්‍රපටයේ රඟපෑ රුක්මණී දේවියටත් එඩී ජයමාන්නටත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හොඳින් ගෙවීම් කළත්, ඉතා කලාතුරකින් ෆ්ලොරිඩා ජයලත් නිළියට ‘සැඩසුළං’ චිත්‍රපට නිෂ්පාදකයාගෙන් අලුත් කාරෙකක් තෑගි ලැබුණු බවක් පළ වුනත් පොදුවේ නළුනිළියන්ගේ තත්වය ශෝචනීය වුණා. 

ගාමිණී රංගනයට පිවිසෙන විට නළුනිළියන්ට රඟපෑම සඳහා ගෙවීම් තැන කේවල් කරන්නට හැකියාවත් තිබුණේ නැහැ. නිෂ්පාදකවරයා කැමති ගණනකට එකඟවීමට තමයි සිදුවෙලා තිබුණේ. නළුනිළියන් කීප‍ දෙනෙකු විතරක් සිනමාස් සමාගම සුළු මාස් පඩියක් ගෙවා බඳවා ගෙන තිබුණා. ගාමිණි තමයි මුලින් ම තමන්ට කැමති ගණනක් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේ. ඒවාගේ ම නළු නිළියන්ට සුවපහසු නවාතැන් සැපයීම ගැනත් ඔහු ඉල්ලා සිටියා. ඒ අනුව තමයි සිනමා නළු නිළියන්ට වෘත්තීය තත්වයක් හා අභිමානයක් නිසි අයුරින් ලැබුණේ. 

ගාමිණී ෆොන්සේකා සැමරුම වෙනුවෙන් මා අදහස් කළා, ‘සරසවිය’ පත්‍රයේ හිටපු ප්‍රධාන කතුවරුන් දෙනෙකුගේ ලිපි දෙකකින් උදෘත දෙකක් ඔබට ඉදිරිපත් කරන්න. එකක් තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ අනෙක ඒ. ඩී. රංජිත් කුමාරගේ. තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ‘ගාමිණී ෆොන්සේකා - සිංහාසන යෝගය’ නම් ලිපිය පටන් ගන්නේ මෙහෙමයි. 

ගාමිණී ඔහුගේ බිරිඳ සුමිත්‍රාළ/div>


‘ඔහුගේ වේලාපත්කඩය හැදූ පන්නිපිටියේ දෛවඥ හිමි නම “1936 මාර්තු 21 වැනිදා උපන් පුංචි මහත්තයා කවදා හරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. හැබැයි ගෑනුන්ගෙන් පරිස්සම් කර ගන්නැයි” කී බව ප්‍රේමනාත් මොරායස් දැනගෙන සිටියේ නැත. 

‘පවුලේ වෙද හෙදකමට මුල් වූ දෙහිවල ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු වෙද මහත්තයා “මේ ළමයා යම් වැඩකට අත ගැහුවොත් ඒ වැඩෙන් අන්තිම ඉහළ ම තැනට යනවා. ඔහුට තියෙන්නේ සිංහාසන යෝගයක්” යැයි කී බව ප්‍රේමනාත් මොරායස් නොදැන සිටියාට සැක නැත. 

‘ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දෙහිවල ප්‍රෙස්බිටේරියන් පාසලෙන් ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයට ගිය ඔහු 1948 දී සිංහල සාහිත්‍යයෙන් දක්ෂම ශිෂ්‍යායා ලෙස ඩී. ඇස්. සේනානායක අගමැතිතුමන් අතින් තෑගි දිනුවේය. සාහිත්‍යය පැත්තෙන් ගියා නම් ‘සිංහාසන යෝගය’ ගෙන යන්නේ කොහාටද? 

‘ඉක්බිති ඔහු වරෙක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේත් වෙන්කතරංගම්මාල්ගේත් දිය සායම් සිත්තමක් ඇඳ පාසලේ හොඳම චිත්‍රශිල්පියාට හිමි ත්‍යාගය දිනා ගත්තේය. කලාසූරී සුසිල් ප්‍රේමරත්නගෙන් දිය සායම් චිත්‍ර කලාව ඉගෙන ගත්තේය. චිත්‍ර ශිල්පය පැත්තෙන් ගියා නම් ‘සිංහාසන යෝගය’ ගෙන යන්නේ කොතැනටද? 

‘දහසය වැනි වියේ දීපාසලේ සිංහල ගුරුවරා වූ අරීසෙන් අහුබුදු සූරීන්ගෙන් සිංහල භාෂාවත් කවි කලාවත් උගත්තේය. ඒ ඔස්සේ පිය නැඟුවේ නම් ‘සිංහාසන යෝගය’ ගෙන යන්නේ කොතැනටද? 

‘ඔහු වේග පන්දු යවමින් ක්‍රිකට් ගැහුවේය. කාය වර්ධනය කළේය. ඕගන් වාදනය කළේය. පාසලේ සංගීත සංගමයේ ලේකම් විය. ඒ එකම විෂය ක්ෂේත්‍රයක්වත් ඔහු තෝරා ගත්තේ නැත. ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩී. එස්. ජයසේකර ඔහුගේ ‘සිංහාසන යෝගය’ ගැන දැන ගෙන සිටියේ නැත. 

‘ජීවිතේ දී තෝරා ගත යුතු විෂය ක්ෂේත්‍රය කුමක්දැයි නිශ්චයක් නැතිව සිටි කුඩා ගාමිණීගේ සිත චිත්‍රපට කෙරෙහි ඇදුණේ අපේ පිනකට ය. 

‘සිංහාසන යෝගය ගැන හෝ දෛවයෝගය ගැන හෝ කවර දෛවෝපගත හස්ත රේඛාවක් ගැන හෝ නොදැන ප්‍රේමනාත් මොරායස් ගාමිණී, සිරිසේන විමලවීර වෙත යැවීය. හරි ගියේ නැත. කේ. ගුණරත්නම් වෙත යැවීය. හරි ගියේ නැත. ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත යැවුණේ ඉන් පසුවය. 

‘දෛවය සෙම්බුගේ ගාමිණී ෆොන්සේකා නිසි තැනට ගෙන ගියේ ය. කැමරා පිටුපස සිනමාවේ කවර කාරියකට හෝ සම්බන්ධ වීමේ අභිලාෂය ඉටු කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාවේ් නිෂ්පාදක මණ්ඩලයට ඔහුව සම්බන්ධ කර ගනු ලැබීය. 

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ‘ගාමිණී සිනමාවට ආ හැටි’ අමුතු කෝණයකින් බලා ලියූ අපූරු ලිපියක ආරම්භය ගත්තේ එහෙමය. ‘සරසවිය’ පුවත්පතේ කලක් කතු පදවිය දැරූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඉහත සඳහන් ලිපිය ලියූවේ ගාමිණී ෆොන්සේකා අභාවප්‍රාප්ත වී දින දහයකට පසු 2004 ඔක්තෝබර් 04 වැනිදා ‘සියත’ පුවත්පතටය. මෙහි සම්පූර්ණ ලිපිය සමග ශ්‍රී ලංකාවේ කලාකරුවන් හා සාහිත්‍යධරයන් ගණනාවක් පිළිබඳ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ලියූ ලිපි ඇතුළත් කොට ‘කීර්තිශේෂ’ නමින් ග්‍රන්ථයකට ඇතුළත් කර ඇති අතර එය දැන් සරසවි ප්‍රකාශකයක් ලෙස පළ වී තියෙනවා. 

ගාමිණී හා මාලිනි ලෙස්ටර්ගේ නිධානය චිත්‍රපටයෙන්

සිරිසේන විමලවීර හා ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙදෙනා වෙතට ගාමිණී ගිය කතාවට ඌනපූරණයක් කරන්න මටත් තියෙනවා. ඒක සරසවියෙ වැඩ කරපු කාලෙ ගාමිණී මටයි කුමාරදාස වාකිෂ්ඨටයි කී එකක්. “ප්‍රේමනාත් මොරායස් ටයිම්ස් පත්තරයේ වැඩ කරද්දි තමයි මාව ඒ අය ළඟට යැව්වෙ. ඒ දවස්වල මං ඒ පුවත්පතට ඡායාරූප සැපයුවා. චිත්‍ර ඇන්දා. ඒ ගැන පැහැදුණු නිසයි, ඔහු මාව යැව්වේ’ ගාමිණී කිව්වා. සිරිසේන විමලවීර කිව්වා, ‘චිත්‍රපට කැමරාවට පුහුණු වෙන්න නම් මරදානෙ ටෙක්නිකල් එකට ගිහින් කැමරා ශිල්පය ඉගෙන ගෙන එන්න.’ කියලා. 

“ලෙස්ටර් ළඟට ගිය මුල් දවසෙම විස්තර අහලා මට කිව්වා ‘චිත්‍රපටයක් පටන් ගන්න තමයි සූදානම් වෙන්නෙ. එත් තවම වැඩ පටන් ගත්තේ නැහැ. මාසෙ අන්තිමට වගේ එන්න කිව්වා. මං ඒ කිව්ව වගේ ම හරියට ම මාසෙ අන්තිමට ගියා. ‘තවම නෑ. පුතා, ඊළඟ සුමානෙ එන්න කිව්වා.’ ඔයා දන්නව ද මං කී සැරයක් ගියාද කියලා.?” ගාමිණී නිහඬව මොහ‍ොතක් මා දෙස බලාගෙන හිටියා. ඉඳලා කටහඬ අවදි කළා. “විශ්වාස කරන්න 11 වතාවක් ගියා” කියලා කිව්වා. “මං මෙතැනට ආවේ එදා එහෙම ඉවසුව හින්දා” ගාමිණී කීවේ ඔහුගේ වයසේ තරුණයන්ට ආදර්ශයක් විය හැකි කතාවක්. 

“අන්තිමේදී මගේ සිනමා ජීවිතය පටන් ගත්තේ ලෙස්ටර්ගේ බෙල් බෝයිගේ පටන් ඇසිස්ටන් දක්වා හැම දෙයක් ම කරමින්.” ගාමිණි කීවේ අප දෙදෙනා විස්මයට පත් කරමින්. 

ගාමිණි අධ්‍යක්ෂණය කළ පරසතු මල් චිත්‍රපටයේ ගාමිණී රඟපාන ජවනිකාවක්

‘සරසවිය පුවත්පතේ තවත් හිටපු කර්තෘ වරයෙකු තමයි, ඒ. ඩී. රන්ජිත් කුමාර. ඔහු ගාමිණි ගැන අනුස්මරණ ලිපියක් පසුගිය 30 වැනිදා ලංකාදීප පත්‍රයට ලිව්වා. ඒතත් අමුතු ආරක එකක්. ගාමිණීගේ රසිකයන් ගැන අතීතයේ ‘සරසවිය’ පළ කළ ලිපි හා වාර්තා ඇසුරෙන් තමයි, ඒ ලිපිය සකස් කරලා තිබුණේ. ඒ අපූරු ලිපිය ඔහු ආරම්භ කළේ මෙ‍ෙහමයි. 

“ඔබව එක වතාවක් දැක ඔබ සමග එක වචනයක් කතා කොට දෙහිවල දුම්රියපළේ දී දුම්රියට බෙල්ල තියලා මැරුණත් සැපයි.” 

ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම සුපිරි නළුවා වූ ගාමිණී ෆොන්සේකාට රසිකාවියක ලියූ ලිපියක කොටසකි, මේ. චිත්‍රපටය අබිබවා නැගි සිටි ප්‍රථම චිත්‍රපට නළුවා ද ගාමිණීය. ගාමිණීට පෙම් බැඳි රසික රසිකාවන් ලියූ ලිපි තැපැල් පත් මලු හා ගෝනි පිටින් දෙහිවල ස්ටේෂන් පාරේ නිවසට ගලා එන්නට පටන් ගත්තේ 1962 වර්ෂයේ ඔහු රඟපෑ ‘රන් මුතු දූව’ චිත්‍රපටය තිරගත වීමෙන් පසුවය. ගාමිණී ගැන ලිපි, කවි, පෙම් හසුන් ‘සරසවිය’ හා ‘විසිතුර’ පුවත්පත්වලට නොකඩවා ගලා එන්නට විය. ඒ වන විට ගාමිණී අවිවාහකය. එදා සිනමා ලෝලයන්ගේ සිහින කුමාරයා වූ ගාමිණීගේ සිනමාවේ පෙම්වතිය වූ ජීවරාණි කුරුකුලසූරිය ඔහුට ගළපා එවූ ලිපිද බහුලය. 

“ගාමිණී අයියේ ඔයාට හොඳටම ගැලපෙන්නේ ජීවා අක්කාවයි.’’ රසික රසිකාවියන් යෝජනා කර එවූ තැපැල් පත් සිය ගණනක් ගාමිණීටද ලැබුණ බව ඔහු පසු කලෙක අපට කීය. 

තමා ගැන මුල්ම පුවත්පත් ලිපියක් ලිව්වේ එල්මෝ ගුණරත්න බව ගාමිණී අපට කී තවත් කතාවකි. ඒ 1957 දී පමණ ‘සිළුමිණ’ හෝ ‘ජනතා’ පුවත්පතට බවත් එකල තමා ‘දෛවයෝගය’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වූ අවස්ථාවේ දැන හැඳිනගත් එල්මෝ කිසිදා අමතක නොවන බව ද ගාමිණී කීවේය. එදා ගාමිණී මුහුරත් උළෙලට පැමිණි අවස්ථාව එල්මෝ මෙසේ සරසවිය සිනමා 1964 වාර්ෂිකයට ලියා තිබුණි. 

ඒ ‘දෛවයෝගයේ’ මුහුර්ති උත්සවය වීය.කඩවසම් තරුණයෙක් මැඳුර ඉදිරිපස තනියම වාඩිවී සිටියේය. ඔහු කිසිවකු සමග කතා කළේ නැත. ඔහු කිසිවකු ගැන උනන්දුවක් දැක්වූයේ නැත. මැඳුර තුළ උත්සවයක් පැවැත් වෙයි. මම මැඳුරින් එළියට ආවෙමි. තරුණයා තවමත් නිසසලව සිටී. ඔහු ඊට පෙර දැක ඇති බවක් මට මතක නැත. පිරිසිදුවට කෙටි කොට කැපූ යම්තම් රැළි නැගෙන සේ උඩට පීරූ හිස කෙස්, ජීවයෙන් පිරි තරුණයකුගේ පැහැදිලි දීප්තියක් ඇති ඇස්, නොමිටි නූස් නැහැය, නොමිටි නූස් මැදහත් පමණ සිරුර, තලෙළළු පැහැය, ඇඟට හිරවුණු කලිසම, අත නැවූ කමිසය, නගරයේ කඩිසර තරුණයකු මුත්, කඩවසම් යයි කිව යුතු වූ මුත් අමුතුවෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ඔහු කෙරෙහි නොවීය. 

‘රේඛාව’ චිත්‍රපටයේ ලෙඩකුගේ සුළු චරිතයක් රඟපෑවත් නියම විධියට ගාමිණී රංගනයට පිවිසි හැටි පළමුවරට ලිපියක් පුවත්පතක කළ එල්මෝ ගැනයි, ඔහු මේ ලිපියෙන් ලිව්වේ. ඔහු ඒ ලිපියෙන් මා ගැනත් මෙහෙම සඳහනක් කර තිබුණා. 

1966 අගෝස්තු 14 සරසවිය පත්‍රයට එහි උප කර්තෘවරයකු වූ පර්සි ජයමාන්න සමග, ගාමිණී ‘මගේ සිනමා ලෝලයෝ’ විශේෂාංගයට දැක් වූ අදහසකි. 

‘‘ගාමිණීට මං ආදරෙයි. ගාමිණී නැත්තං මං ඒ චිත්‍රපටය බලන්න යන්නේ නෑ.’’ එහෙම කියන සිනමා ලෝලයන් කොච්චර ඉන්නව ඇද්ද? පර්සිගේ එක් ප්‍රශ්නයක් විය. 

‘සිනමා ලෝලයෝ ඉස්සර වගේ නොවෙයි, දැන් හරි දියුණුය. බොහෝම ඉක්මණින් දියුණුවක් ලැබුවේ ඒ ගොල්ලෝ විතරයි. අපේ බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ ශත පනහක් දීලා ගැලරියට යන මිනිහා මෝඩයි කියලා. එත් මට පේන විදියට නං අවංකව හොඳ නරක පළ කරන මිනිස්සු ඉන්නේ ගැලරියේ.’ 

ගාමිණීගේ සිනමා ලෝලයන් එදා කී රසවත් කතා රැසක් ඒ ලිපියේ එනවා. ඔබට ඒ ලිපිය සම්පූර්ණයෙන් කියවන්නට නම් සැප්තැම්බර් 30 වැනිදා ලංකාදීප අන්තර් ජාල පුවත් පත බලන්න. 

ගාමිණී ඔහුගේ සිනමා රසිකයන් ගැන මහ ඉහළින් අගය කළා පමණක් නොව ඔහු ඔවුනට සිනමාව තුළින් ආස්වාදයක් ද ලබා දුන්නා. ඒ තරම් සිනමාවට ආදරේ කළ රංගවේදියෙක් තවත් නැති තරම්ය. ගාමිණීට තවදත් ආදරය කළ ‘සරසවිය’ පුවත්පතේ කතුවරුන් දෙනෙකු උපහාර දැක්වූ අයුරු මෙසේ ගෙන හැර පෑවේ 17 වැනි ගුණ සමරුව වෙනුවෙනුයි. 

- පර්සි ජයමාන්න 

 


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments