HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝ පතල නොබෙල් සාම සම්මානලාහීන් අතර වසර 81කට පසු කාන්තාවක්!

ලෝකයේ ඉමහත් ‍ගෞරවයක් දිනා ඇති නොබෙල් සම්මාන සඳහා සුදුස්සන් 8 දෙනෙක් 2021වසර සඳහා ස්වීඩනයේ නොබෙල් සම්මාන කමිටුව විසින් දැන් නම් කර තිබේ. සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව සඳහා සුදුස්සන් කර ඇත. ඔක්තෝබර 7 වැනිදා නොබෙල් සාම සම්මානය සඳහා සුදුස්සන් ප්‍රකාශයට පත් කර ඇත. තවමත් නම් කරන්නට ඇත්තේ ආර්ථික විද්‍යාව සඳහා වූ සම්මානය පමණය. ඒ කමිටුවෙන් බාහිරව පිරිනැමෙන්නක් නිසා එය නම් කෙරෙන්නේ ලබන සතියේය. 

පිලිපීනයේ මාරියා රේසා

නොබෙල් සාම සම්මානය පිලිපීනයේ මාරියාට හා රුසියාවේ දිමිත්‍රිට 

රුසියාවේ දිමිත්‍රි මුරාටෝව්

1901 සිට 2020 අතර කාලය තුළ නොබෙල් සාම සම්මාන 101ක් පිරිනමා තිබේ. එයින් සම්මාන 25ක් සංවිධානවලට පිරිනැමිණ. සාම සම්මන දෙකක් තුන් දෙනකු අතර බෙදා දෙනු ලැබීය. කාන්තාවන් 17 දෙනකුට සාම සම්මාන පිරිනමා තිබේ. මෙවරත් සාම සම්මානයේ පංගුකාරියක් වීමට කාන්තාවක් සමත් වී තිබේ. මාධ්‍යවේදියක්, විශේෂයෙන් කාන්තාවක්, මේ සම්මානය ලබන්නේ වසර 81කට පසුවය. ඒ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පිලිපීන මාධ්‍යවේදියක වන මාරියා රේසා (Maria Ressa)ය. ඇය සමග සමව සාම ත්‍යාගයට හිමිකම් කියන්නේ දිමිත්‍රි මුරාටෝව් (Dmitry Muratov) නම් රුසියානු මාධ්‍යවේදීයාය. 

නෝර්වේජියානු නොබෙල් කමිටු හේතු පාඨයේ දක්වා ඇත්තේ, ‘තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරමින්, අදහස් ප්‍රකාශ කිරීමට හා භාෂණයට ඇති නිදහස යොදා ගනිමින්, බලාධිකාරය විසින් ගෙන යන බොරු ප්‍රචාරයන් හෙළිදරවු කරමින්, දත්ත පදනම් කරගෙන මාධ්‍ය කලාව හැසිරවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ මාධ්‍යවේදීන් දෙදෙනකු ලෙස’ තමන් මාරියා රේසා සහ දිමිත්‍රි මුරටෝව් හඳුනා ගත් බැවින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන බවයි.. 

''ප්‍රජාතන්ත්‍රවාදයටත් මාධ්‍ය නිදහසටත් තර්ජන එල්ල වෙද්දී, මාධ්‍යවේදීන් ලෙස තම වගකීම් නොපිරිහෙලා ඉටු කළ දෙදෙනකු ලෙස මාරියා රේසා සහ දිමිත්‍රි මුරාටෝව් හඳුන්වා දෙන්න පුළුවන්'' යැයි නොර්වේ ඔස්ලෝ නුවර පැවැති මාධ්‍ය හමුවේ දී නෝර්වේජියානු නොබෙල් කමිටු ප්‍රධානී බෙරිට් රීස් ඇන්ඩර්සන් මහත්මිය ඒ සම්මාන ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් පැහැදිලි කළාය. 

1935 වසරෙන් පසු මාධ්‍යවේදීන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තේය. 

මාරියා රේසා මෙණෙවිය පිලිපීනයේ කීර්තිමත් ගවේෂණාත්මක මාධ්‍යවේදියකි. 'රැපලර්' නමැති පිලිපීන පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ ඇයයි. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙන යන ආන්දෝලනාත්මක 'යුද්ධයේ' සැබෑ තතු පිලිපීන වැසියන්ට අනාවරණය කළ මාධ්‍යවේදියක ලෙස මැය පතල ය. 

'ඇත්තටම පුදුමයි. සම්මාන බලාගෙන මා පුවත් අනාවරණය කළේ නැහැ. ඒත් නොබෙල් සාම ත්‍යාගය මට හිමිවේවි යැයි මා කිසිදිනෙක සිතුවේ නැහැ. පුදුමයි.' යැයි නොබෙල් සාම ත්‍යාගය හිමි වන බව දැනගත් අවස්ථාවේදී මාරියා රේසා කීවාය. 

දිමිත්‍රි මුරාටෝව් 1990 දී නොබෙල් සාම සම්මානය ලත් හිටපු
රුසියානු ජනපතිවරයකුවූ ගර්බොචොව් සමග

දිමිත්‍රි මුරාටෝව් අත්දැකීම් බහුල මාධ්‍යවේදියකු පමණක් නොව, 'නොවායා ගැසෙටා' පුවත්පතේ කර්තෘවරයා ද වෙයි. 1993 වසරේ ආරම්භ කළ මෙම පුවත්පතේ කර්තෘවරයා ලෙස දිමිත්‍රි මුරාටෝව් වසර 24 කට වැඩි කාලයක් එහි සේවය කරයි. රුසියාවේ ස්වාධීන පුවත්පත් ඇත්තේ අතළොස්සක් වන අතර, ඒ අතරින් ජනතා විශ්වාසය දිනූ පුවත්පතක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ද 'නොවායා ගැසෙටා' ය. 

රුසියන් ජනාධිපති පුටින්ගේ රජය විවේචනයට ලක් කරන, විශේෂයෙන් පුටින්ගේ ‘ඇහේ කටුවක් සේ සැලකෙන දිමිත්‍රි මුරාටෝව්ට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළ බව ප්‍රකාශයට පත් කළ ඔක්තෝබර 7 වැනිදාට පුටින්ගේ උපන් දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි. හරියටම මෙයට වසර 15කට උඩ දී පුටින්ගේ උපන් දිනය දා ම මේ ‘නොවායා ගැසෙටා’ පුවත්පතේම මාධ්‍යවේදිනියක වූ ඇනා පොලිට්කොව්ස්කයා වෙඩි තබා ඝාතනය කර තිබීම ද තවත් විශේෂත්වයකි. එහෙත් මේ නොබෙල් සම්මාන පුවත සැලවූ අවස්ථාවේදී රුසියාවේ ක්‍රෙම්ලිනයේ නිලධරයකු වූ දිමිත්‍රි පෙස්කොව්, රජය වෙනුවෙන් දිමිත්‍රි මුරාටෝව් සුබ පතා ඇතැයි ද වාර්තා වේ. 

කලකට පෙර 1968 සෝවියට් දේශයේ ප්‍රතිවාදී මතවාද දරන්නන්ට නොබෙල් ත්‍යාගය දෙන්නේ යැයි රතු එළියක් දැල්වීම නිසා බොරිස් පැස්ටර්නැක්ට ඒ වේලේ ඒ සම්මානය ප්‍රතික්‍ෂේප තිරීමට සිදුවිය. එහෙත්, 1990 දී ජනපති ගොර්බ‍ොචොෆ් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමූවිට ඔහු එය බාර ගත්තේය. මෙවර පුටින් පාලනය විවේචනය කරන රුසියානු මාධ්‍යවේදියකුට එම සම්මානය පිරිනැමූ විට ඔහුට ප්‍රශංසා කර නිල ප්‍රකාශයක් ද නිකුත් කෙරිණ. එහෙත් දෛවයේ සරදමක් වන්නේ, නිදහස් මාධ්‍යයට විශාල ඉඩක් ඇතැයි පවසන බටහිර ලෝකය තුළ විකිලීක්ස් හෙළිදරවුව කළ මාධ්‍යවේදී ජුලියන් පෝල් අසාන්ජ් (Julian Paul Assange) තවමත් ලන්ඩනයේ සිරගත කර තිබීමයි.

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන්නේ ලෝකය යහපත් තැනක් කරමින් ලෝක සාමයට මුල්තැන දෙන පුද්ගලයන් සහ ආයතනවලටය. පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනටය. ඒ, ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම වෙනුවෙනි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 කට වඩා වැඩි මුදලක් සහ රන් පදක්කම් පිරි නැමෙයි. මෙම ත්‍යාග මුදල මෙවර මාරියා රේසා සහ දිමිත්‍රි මුරාටෝව් අතරේ සමව බෙදී යනු ඇත. 

අනෙක් සම්මානලාභීන් ගැන විස්තර ඉදිරියේ දී පළ කිරීමට බලාපොරොත්තු වෙමි. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments