HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 226,000කට පෙර ළමයින් ඇන්ද චිත්‍ර පෙළක් සයිබීරියාවෙන් හමුවෙයි!

මේ තමා ලෝකයේ පැරණිම චිත්‍ර. මේ අත් පාවලින් බිහි කළ විස්මිත චිත්‍ර පෙළක්. මේවා හමුවෙලා තියෙන්නේ ටිබෙට් සානුවෙන් (Tibetan Plateau). මේවා වසර 226,000ක් පැරණියි කියලයි කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ ප්‍රදේශයේ විසූ ළමයින්ගේ නිර්මාණ ලෙසයි, මේවා සැලකෙන්නේ. 

ලොව පැරණිම චිත්‍ර - වසර 226,000ක් පැරණි යැයි පර්යේෂකයන් සලකන 
මේ චිත්‍රවල ත්‍රිමාන ක්‍රමයට ස්කෑන් කළ පිළිබිඹුවක්.

මේ චිත්‍ර පැනලය මුලින් ම හමුවෙලා තියෙන්නේ 2018 දී තිබ්බතයේ කිව්සාන් (Quesang) හී පොළොවෙන් ඉහළට මතු වූ ගල්තලාවකයි. ඒ අසල තිබූ උණුදිය උල්පත් නිසා හුණු ගල් තැන්පතු ඝනීභවනය වීමෙන් තමයි, ඒ ගල්තලාව සැදී ඇත්තේ. කාල නිර්ණ ක්‍රමය අනුව හෙළි වී ඇත්තේ මේ චිත්‍ර මෙතෙක් හමුවී ඇති පැරණිම ල‍ෙන් චිත්‍රවලට වඩා තුන් හතර ගුණයක් පැරණි බවයි. මේවා සොයා ගත් පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ මේ චිත්‍රවල හිමිකරුවන් විය හැක්කේ වයස අවුරුදු හතක හා දොළහක ළමුන් දෙදෙනකු බවයි. ඒ ළමයින් මොන මානව වර්ගයට අයත් දැයි තවමත් නිශ්චිතව හෙළිදරවු වී නැහැ. ඒත් ඒ ප්‍රදේශයේ විසූ පැරණි මානවයා වූ ඩෙනිසෝවන්වරුන්ට (Denisovans) අයත් දරුවන් දෙදෙනෙකු විය හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. 

චීනයේ ගුවාන්ශූ සරසවියේ පර්යේෂකයන්ට අනුව මේ චිත්‍ර ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ හා 
ඉන්දුනීසියාවේ ඇති ලෙන් චිත්‍රවලට වඩා වසර තුන් හතර ගුණයකින් පැරණියි.

චීනයේ ගුවාන්ෂෝ (Guangzhou) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව මේ ප්‍රාග් ඓතිහාසික කුරුටු චිත්‍ර, ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ හා ඉන්දුනීසියාවේ දැනට හමු වී ඇති පැරණි ලෙන් චිත්‍රවලට වඩා තුන් හතර ගුණයක් පැරණියි. මේවා සැබැවින් ම චිත්‍ර කලා ගණයට වැටෙනවාදැයි සලකා බලන්න ඔවුන් ඇමෙරිකාවේ නිව්යෝක්හී කෝනෙල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂඥයකු වූ තෝමස් අර්බන්ගේ මතය විමසා සිටියා. ඔහු මීට කලින් නව මැක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් ජාතික වනෝද්‍යානයේ දී හමු වූ පා සලකුණු අධ්‍යයනය කර අත්දැකීම් ඇත්තෙක්. 

ඔහු ඒ ගැන පැහැදිලි කිරීම් කළේ මෙහෙමයි. ‘පළමු වන ඉඟිය අපට ලැබෙන්නේ මේ පා හා අත් සලකුණු සටහන් වෙලා තියෙන ට්‍රැවලින් (travertine) පාෂාණ විශේෂයෙන්. ඒවා බොහෝ විට පිහිටන්නේ උණු දිය උල්පත් ආශ්‍රිතව තැන්පත් වෙන හුණු ගල්වලින්. ඒවා පසුව ක්‍රම ක්‍රමයෙන් කාලයක් තිස්සේ ඝනීභවනයට පත් වෙන්නට ඇති.’ 

2018 දී තිබ්බත සානුවේ කිව්සෑන් ගල්තලාවෙන් තමයි මේ රූප හමු වී තියෙන්නෙ. 
මේවා ළමයින් විසින් ඇඳි ප්‍රාග් ඓතිහාසික කුරුටු චිත්‍රයි.

‘ඒක ඒ කාලේ තෙත ලිස්සනසුලු බෑවුම් ප්‍රදේශයක් වෙන්න ඇති.’ තෝමස් අර්බන් කියනවා. ‘එවැනි බිමක කිසිම කෙනෙකු දිව යන්නේ නැහැ. ඒක නොදැන ගිය අයකු (ළමයකු) ලිස්සා බිම වැටෙන්නට ඇති. ඒත් මේ විධියේ රටාවකට සලකුණු තබා ඇත්තේ ඇයි? ඒවාට හරියට ම නිශ්චිත හේතුවක් දක්වන්න අමාරුයි.’ 

‘ඒත් මගේ මතය මම කියන්නම්. අපට මෙය නිර්මාණශීලී හැසිරීමක් හැටියට පිළිගන්න පුලුවන්. ඒත් මේ තරම් ඈත කාලයක ආදි මානවයකු මෙවැන්නක් කළා කියන එක නම් අදහන්න බැරි තරම් විස්මයජනක දෙයක්.’ ඔහු කියනවා. 

‘තරුණ ළමයින් මේ බිමේ වෙනස දැකලා හිතා මතා ම මෙය කළා යැයි අපට අනුමානය කළ හැකියි. සමහර විට මෙය ඒ මොහොතේ සිදු වූ සජීවී දර්ශනයක් වෙන්න පුලුවන්. “මේ බලන්න මං දිහා මගේ අත් සලකුණු, මම මේ පා සලකුණු මත තිබ්බ හැටි” කියා එක ළමයෙක් කෑ ගහලා කියන්න ඇති.’

ඒ කාලේ මේ බිම ලිස්සනසුලුව තියෙන්න ඇති. තෝමස් අර්බන් කියනවා. මම් පියසටහන් ඒ මතින් දුවද්දී 
ඇති වූ ඒවා නොවෙයි. මේ විදියේ රටාවට අත් හා පා සලකුණු යොදන්න ඇත්තේ මක් නිසාද?

 ‘තවදුරටත් ලැබෙන සාක්ෂියක් තමයි, මේ හිතා මතා ම තැබූ මේ සලකුණු අතරින් මේ පාෂාණය තුළ අත් සලකුණු ඉතා හොඳින් සුරක්ෂිතව තිබීමයි, පා සලකුණුවලට වඩා. ආදි මානවයන්ගේ පොසිල වාර්තාවල මේ වගේ දේවල් ඉතාමත් දුර්ලභයි.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

මේ පර්යේෂණ කණ්ඩායම කියන විධියට මේ වගේ අත් සලකුණුවලින් නිමවන චිත්‍ර සාම්ප්‍රදායක් තිබ්බතයේ .ලෙන් චිත්‍රවලත් දකින්න පුලුවන්. ඒත් මේවා ඊට වඩා හුඟක් පරණයි! මේ කිව්සාන් චිත්‍ර වසර 169,00ත් 226,000ත් අතර කාලයකට අයත් බවට තහවුරු වී තියෙනවා. මේවා ලෝක ප්‍රකට පැරණි ලෙන් චිත්‍ර ලෙස සැලකෙන, ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ හා ඉන්දුනීසියාවේ හමු වී ඇති ඒවාට වඩා හුඟක් පැරණියි. 

‘සමහර විට මේ ළමයින් විසින් හිතා මතා කළ නිර්මාණ විය හැකියි.’ කෝනෙල් සරසවියෙන් එක් වූ අර්බන් ප්‍රශ්න කරන්නේ මේ තරම් ඉපැරණි කාලයක මානවයාට එවන් හැකියාවක් තිබුණාද? කියායි.

ඉන්දුනීසියාවේ සුලාවෙසි දිවයිනේ හා ස්පාඤ්ඤයේ එල් කැස්ටිලෝ (El Castillo) ලෙන්වල හමුවන චිත්‍ර මීට වසර 40,000 – 45,000ත් අතර කාලයට අයත් ඒවායි. ඒ වගේ ම ප්‍රංශයේ චොවේ (Chauvet) ලෙන් චිත්‍ර වසර 30,000ක් විතර ඈත ඇඳපු ඒවා. 

මේවා කාල නිර්ණය කර ඇත්තේ යුරේනියම් ශ්‍රේණිය පදනම් කර ගෙනයි. ඒ අනුව තමයි, මේ පර්යේෂකයන් කියන්නේ මේ චිත්‍ර මීට වසර 169,00ත් 226,000ත් අතර කාලයකදී අඳින ලද ඒවා කියා. මේ අත් හා පා සලකුණුවල දිග මැන බලලයි, මේ අත් හා පා සලකුණුවල අයිතිකරුවන් අවුරුදු 7ක හා අවුරුදු 12ක ළමයින් දෙදෙනකු විය හැකියි කියා නිගමනය කර ඇත්තේ. 

ඊළඟට මේවා ඇන්දේ කවර මානවයා විය හැකිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයන ඔවුන් නිගමනය කළා, ඒ ඩෙනිසෝවියන් මානවයා විය හැකියැයි කියා. තිබ්බත සානුවේ කීප තැනකින් ම ඒ මානවයා ගේ යයි සැලකෙන අස්ථි ශේෂයන් හමුවී තියෙන නිසයි, එහෙම නිගමනයක් කර ඇත්තේ. 

(මේ අධ්‍යයනය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව සම්පූර්ණයෙන් ම Science Bulletin ජර්නලයේ පළ වෙනවා.)

මේ චිත්‍ර ඇඳි මානවයන් නිශ්චිතව හඳුනා ගෙන නැතත් ඒවා අතීතයේ මේ තිබ්බත කලාපයේ විසූ ඩෙනිසෝවන් මානවයා ද යන සැකය ඇති වී තියෙනවා. සිත්තරකු ඇඳි ඩෙනිසෝවන් යොවුන් රුවක්.

ඩෙනිසෝවියන් මානවයා යනු කවරෙක් ද? 

කවුද මේ ඩෙනිසෝවන්ලා ? ඔවුන් මේ සයිබීරියාවේ පමණක් නොව දකුණු ආසියාව තෙක් විසිර ගිය ඉපැරණි මානව වර්ගයක්. ජානමය වශයෙන් වෙනස් මානව වර්ගයන් වන මේ ‍ඩෙනිසෝවන් මානවයා නියැන්ඩර්තාල් මානවයාට දුරින් නෑ වන බව හෙළිදරවු වි තියෙනවා. තාමත් අබිරහසක්ව පවතින මේ මානව විශේෂයට මේ තමා තබා ඇත්තේ රුසියාවේ, දකුණු සයිබීරියාවේ ඇල්ටායි කඳුකරයේ ඇති ඩෙනිසෝවා (Denisova Cave) ලෙන්වලින් හමුවූ ඔවුන්ගේ ශේෂයන් නිසයි. ඒ ලෙන්වල කළ කැනීම්වලින් හමු වී ඇති ශේෂයන්ට අයත් වූයේ දතක් සහ ඇඟිල්ලක කොටසක්. ඒ ශේෂයන් විලේෂණය කිරීමෙන් පසුව තමයි සොයා ගත්තේ ඔවුන් ආසියාව පුරා විසිර පැතිර සිටිය බව. මුලින් ම මෙය එතරම් අවධානයට ලක් නොවුනත් පසුව 2020 දී, විද්‍යාඥයන් විසින් මේ ඩෙනිසෝවන් ජාන තිබ්බතයේ බයිෂ්‍යා කාස්ට් ලෙන් (Baishiya Karst Cave) වලින් සොයා ගනු ලැබුවා. ඩෙනිසෝවා ලෙන්වලින් බැහැරව ඒ ජාන හමු වූ ප්‍රථම වතාව එයයි. 

මේ පාෂණ මත අත් සලකුණු වඩා හොඳින් ආරක්ෂා වී තියෙනවා, පා සලකුණු වගේ නෙවෙයි. 
මේ තිබ්බත කලා රූ පෙළක තිබූ පා සලකුණකට සමාන රුවක්.

අහම්බෙන් මේ සලකුණු තැබෙන්න ඇති. ඊට පසු ඒක තේරුම් අරගෙන ඒ මොහොතේ ම මේ නිර්මාණය කරන්න ඇති. ‘මේ බලන්න මං මේ පා සලකුණු උඩින් මගේ අත් සලකුණු තිබ්බා’ කියා අනෙකාට කියන්න ඇති. ඒ පර්වත කොටසේ ස්කෑන් පිළිබිඹුවක්.

පර්යේෂක කණ්ඩායම කියන්නේ තිබ්බතයේ (ටිබෙට්) සාම්ප්‍රදායික පැරණි කලාව තුළ ඇති අත් සලකුණු 
යොදන චිත්‍ර සාම්ප්‍රදායක් ඇතත් මේ හමුවූ චිත්‍ර ඊට වඩා බොහෝ කාලයකට පෙර යුගයකට අයත් බවයි. 
මේ චිත්‍ර හමුවූ තැන කිව්සාන්.

-          - පර්සි ජයමාන්න


Post a Comment

0 Comments