HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රසායන විද්‍යාව සඳහා 2021 නොබෙල් සම්මාන ලද්දෝ

පසුගිය ‘මල් කැකුළු’ තුළින් අපි ඔබට සාහිත්‍යය, සාමය හා භෞතික විද්‍යාව සඳහා සම්මාන ලැබූවන් පිළිබඳ විස්තර ගෙනාවා. ඊළඟට සටහනක් තැබුවේ වෛද්‍ය විද්‍යාවට නොබෙල් සම්මාන ලද අය ගැනයි. රසායන විද්‍යාවට 2021 නොබෙල් සම්මාන ලද්දන් ගැන අද තොරතුරු ගේනවා. 

රසායන විද්‍යාවට 2021 නොබෙල් සම්මානයත් දෙදෙනකු අතරේ බෙදුණා. 

මහාචාර්ය බෙන්ජමින් ලිස්ට් සහ මහාචාර්ය ඩේවිඩ් මැක්මිලන්

ජර්මන් ජාතික රසායන විද්‍යාඥයකු වූ මහාචාර්ය බෙන්ජමින් ලිස්ට් (Benjamin List) හා බ්‍රිතාන්‍ය-ඇමරිකන් රසායන විද්‍යාඥයකු වූ ඩේවිඩ් විලියම් ක්‍රොස් මැක්මිලන් (David William Cross MacMillan) යන දෙදෙනා අතර සම්මානය හා ත්‍යාගය සම සමව බ‍ෙදෙනවා. 

 ඔවුන් දෙදෙනා සම්මානය සඳහා තෝරා ගත් බව ප්‍රකාශ කරමින් නොබෙල් කමිටුව සඳහන් කළේ, ‘රසායනික ප්‍රතික්‍රියාවන් වේගවත්ව හා කාර්යක්ෂම අයුරින් කළ හැකි අසමමිතික කාබනික උත්ප්‍රේරක ක්‍රියාවලියක් සංවර්ධනය කිරීම උදෙසා කළ මෙහෙවර වෙනුවෙන්’ ඔවුන් දෙදෙනාට ම සම සමව ඒ සඳහා වූ 2021 නොබෙල් සම්මානය පිරිනමන බවයි. 

බෙන්ජමින් ලිස්ට් ජර්මනියේ කොලෝන් විශ්ව විද්‍යාලයේ කාබනික රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වන අතර ගල් අඟුරු පර්යේෂණ සඳහා විශේෂ වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ද වෙනවා. ඔහු කැලිෆෝනියාවේ ලහෝජාහී පිහිටි ස්ක්‍රප්ස් පර්යේෂණායතනයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධියක් කළා. පසුව එහි ‍ සහය මහාචාර්යවරයකු ලෙසද සේවය කළා. 

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හී විද්‍යාඥයන් හා චිත්‍රශිල්පීන්ගෙන් සමන්විත ඉහළ මධ්‍යම පවුලක උපන් බෙන්ජමින් මුත්තා වූ ෆ්‍රාන්ස් වොල්හාඩ් හෘද රෝග විශේෂඥයෙක්. ඔහුගේ මව වාස්තු විද්‍යාඥවරියක්. ඇගේ සොහොයුරිය වූ ක්‍රිස්ටියන් නුස්ලීන්‍ වොල්හාඩ් 1995 දී වෛද්‍ය විද්‍යාවට නොබෙල් සම්මානය දිනුවා. අද ඇගේ බෑණාත් නොබෙල් සම්මානලාභියකු වුණා. 

මහාචාර්ය බෙන්ජමින් ලිස්ට් සැලකෙන්නේ, ලෝහ නොවන සහ එන්සයිම නොවන කාබනික උත්ප්‍රේරක භාවිතා කර කාබනික විශ්ලේෂණයේ පුරෝගාමියකු ලෙස සැලකෙනවා. විශේෂයෙන් සහකාර මහාචාර්යවරයෙක් ලෙස සිටියදී ඔහු ඇමයිනෝ ඇසිඩ් ප්‍රෝලීන් කාර්යක්ෂම උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කිරීමේ ඇති හැකියාව සොයා ගත්තා. ඒ අනුව අකාබනික රසායනිකවලින් ඖෂධ නිපදවීම වෙනුවට, සිරුරට හානිකර නොවන කාබනික ද්‍රව්‍යවලින් කාබනික උත්ප්‍රේරක යොදා ගෙන වඩාත් කාර්යක්ෂම ලෙස ඖෂධ නිපදවීමට හැකියාව ලැබෙනවා. 

මහාචාර්ය බෙන්ජමින් ලිස්ට් සමග සම සම්මානය දිනූ අනෙක් මහාචාර්ය ඩේවිඩ් විලියම් ක්‍රොස් මැක්මිලන් 1968 මාර්තු 16 වැනිදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ බෙල්ෂිල්හී උපන් අයෙක්. ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබාගත් ඔහු 1990 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියෙන් ඇමරිකාව බලා ගියා. ඇමරිකාවේ අර්වින්හී කැලිෆෝනියා විශ්ව විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා. ඔහු නිව්ජර්සිවල ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වුණා. ඔහු එහි දී කළ පර්යේෂණයක ප්‍රතිඵලය නිසයි, මෙවර නොබෙල් ත්‍යාගය හිමි වුණේ. 

නොබෙල් සම්මානය සඳහා නම් කළ බව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මහාචාර්ය ඩේවිඩ් මැක්මිලන් පැවසුවේ ඔහුගේ මෙම සංකල්පය ඖෂධ තැනීම වේගවත් කිරීම සඳහා භාවිතා කර ඇති අතර ඇල්සයිමර්, පිළිකා සහ හෘද රෝග සඳහා ඖෂධ නිපදවීමට උපකාරී වූ බවයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments