වසර 12,000ක් පැරණි ‘අලි’ දතක් සොයා ගත් හය හැවිරිදි දරුවෙක්!

ඇමරිකාවේ මිචිගන්වල 6 හැවිරිදි දරුවෙක් මහ ලොකු හපන්කමක් කරලා තියෙනවා. ඒ මීට අවුරුදු 12,000කට පෙර ජීවත්ව දැනට වඳ වී ගොස් ඇති මස්ටොඩොන් (mastodon) නම් පුරාතන ඇත් විශේෂයට අයත් දතක පොසිලයක් සොයා ගැනීමයි. ජුලියන් ගැග්නන් (Julian Gagnon) නම් මේ පුංචි දරුවා ඔහුගේ දෙමාපියන් සමග මිචිගන් ජනපදයේ රොචෙස්ටර් හිල්හී ඩයිනොසෝර හිල් ස්වාභාවිත වනරක්ෂිතයේ ඇවිද යමින් සිටියදියි, මේ විස්මයජනක සොයා ගැනීම කරලා තියෙන්නේ. 

ජුලියන් ගැග්නන් නම් පුංචි දරුවාගේ මේ සොයා ගැනීම විස්මිත දෙයක් ලෙසයි සැලකෙන්නේ.

‘මං රක්ෂිතයේ ඇවිද යමින් සිටිය දී මගේ කකුල යමක හැප්පුණා. මං පාත් වෙලා ඒක අතර අරජ බැලුවා‍. ඒක හරියට දතක් වගෙයි. ඒත් විශාලයි’ ගැග්නන් ප්‍රවෘත්ති වාර්තාකරුවෙකුට කියා තියෙනවා. 

ඒක දතක පොසිලයක්. මිනිස් අතක් තරම් ලොකුයි. වසර 12,000කට විතර ඉස්සර උතුරු හා මධ්‍යම ඇමෙරිකාවේ විසූ ආදී ඇත් විශේෂයක් වන මස්ටොඩොන් ඇතකුගේ දතක කොටසක්. ඒ සතුන් වඳ ගියේ යැයි සැලකෙන්නේ අවසාන අයිස් යුගයේදියි. 

මිචිගන්වල 6 හැවිරිදි දරුවකු තමයි, රොචෙස්ටර් හිල්හී ඩයිනොසෝර හිල් 
ස්වාභාවිත වනරක්ෂිතයේ ඇවිද යමින් සිටියදියි මේ පොසිල සොයා ගත්තේ.

කලකට පෙර මෙහි දී පොසිල කීපයක් සොයා ගනු ලැබුවත් මේ කන්දට ඩයිනොසෝර හිල් කියන නම වැටුණේ ඒ නිසා නෙමෙයි. මේ ප්‍රදේශයේ සිටි ළමයින් නිසයි. මේ අවට ප්‍රදේශයේ පදිංචිව සිටි අය කුණු දැමූ මේ බිමේ එක් තැනක් කන්දක් බවට පත් වුණා. ඒ කාලයාගේ ඇවෑමෙන් කන්දක් බවට පත් වුණා. අන්තිමේ දී ඒ පුංචි කන්ද ඒ පළාතේ ළමයින් සෙල්ලම් පිටියක් වුණා. ඒ කන්දේ හැඩය නිදාගෙන සිටින ඩයිනොසෝරයකු වගේ නිසා ඔවුන් ඒ කන්දට ඩයිනොසෝර කන්ද කියා නම් තැබුවා. පසුව ඒ ප්‍රදේශය ඇතුළු කොට ආරම්භ කළ වනරක්ෂිතයටත් ඒ නම තබනු ලැබුවා. 

මේ අක්කර 16ක වනරක්ෂිතය නිතරම ළමයින් ඇතුළු නරඹන්නන් විශාල පිරිසක් යන එන තැනක්. මේ වන තෙක් ඒ කිසිවකුටත් මේ පුංචි ජුලියන් කළ සොයා ගැනීම කළ හැකි වුණේ නැහැ. 

‘මං මුලදි හිතුවේ මේකට මට මිලියන ගණනක මුදලක් ලැබේවි කියලයි. දැන් නම් මට ඒ ගැන ලැජ්ජා හිතෙනවා.’ ජුලියන් කියනවා. 

මිචිගන් විශ්ව විද්‍යාලයේ පුරාජීව විද්‍යා කෞතුකාගාරයේ විශේෂඥයන් කියන්නේ මේ පොසිල දත ස්ථිරවම මස්ටොඩොන් ඇතකුගේ දතක් බවයි. 

‘අවංකම කීවොත් මට ටිකක් ඉරිසියයි, මේ දරුවා ගැන. මම හැමදාම කරන වැඩක් මේ පොසිල සොයා කරන කැනීම්. ඒත් මේ වගේ පෞරාණික පොසිලයක් මට හමුවී නැහැ. මේ හරිම දුර්ලභ සොයා ගැනීමක්’ යයි කියන්නේ මිචිගන් විශ්ව විද්‍යාලයේ ඇබිගෙල් ඩ්‍රේක් කියන විශේෂඥයායි. 

වර්තමාන අලි අතුන්ට හා මැමකුයන්ට නෑකම් කියන මස්ටොඩොන් ඇතකුගේ රුවක්. 
 වැඩුණු සතකු අඩි 10ක් උසයි, බර ටොන් 8ක් හෝ ඊට වැඩියි.

‘මේ වගේ සතකු මැරුණාම මළ සිරුර සතුන්ගේ ආහාරයට ලක් වෙන නිසා ඇටයක්වත් මේ ආකාරයට සුරැකිව තියෙන්නේ නැහැ. ඒ නිසා මේ අස්ථි පොසිල විද්‍යාඥයන්ට හරියට වටිනවා.’ ඔහු වැඩි දුරටත් කියනවා. 

‘මට මුලින් ඕනෑවෙලා තිබුණේ ලොකු වුණාම පුරා විද්‍යාඥයෙක් වෙන්නයි. ඒත් මේ සොයා ගැනීම නිසා මං ඒ අදහස් වෙනස් කර පුරාජීව විද්‍යාඥයෙක් වෙනයි දැන් හිතන්නේ’ පුංචි වුනත් ජුලියන් කියනවා. 

මේ අක්කර 16ක භූමි භාගයක පිහිටි මේ වන රක්ෂිතය තුළ 
ඇවිදින්නට ළමුන් විශාල පිරිසක් හැමදාම එනවා.

මේ මස්ටොඩොන් ඇතුන් ජීවත් වූයේ ප්ලිස්ටෝසීන අවධියේයි. ඒ කියන්නේ වසර 12,000කට ඉස්සරයි. විශේෂඥයන් මුලින් සිතුවේ මස්ටොඩොන් ඇතුන් හිමෙන් වැසුණු ආක්ටික් හා උප ආක්ටික් ප්‍රදේශවල කියලයි. කෙසේ වෙතත් දැන් ඔවුන් විශ්වාස කරනවා, ඒ සතුන් කොළ ආහාර බහුල තෙත් බිම්වලත් ජීවත් වූ බව. මස්ටොඩොන් සතුන් මිය ගියේ මිනිසුන් නිසා යැයි කියා කීවත් මිනිස් වාසය ආරම්භ කරන්නට පෙර දේශතුණික හේතූන් මත මේ ප්‍රදේශවල සිටි මස්ටොඩොන් සතුන් වඳ වී ගිය බව දැන් මේ ප්‍රදේශයෙන් හමුවූ පොසිලවලින් හෙළි වී තියෙනවා. ඒ බව හෙළි කර ගෙන ඇත්තේ මෑතදී කළ රේඩියෝ කාබන් දින නිර්ණයන්වලින්. 

2020 සැප්තැම්බර්වල කොලොම්බියාවේ රන් ආකරවලින් හමු වුණා මස්ටොඩොන් සතකුගේ පොසිල කීපයක් හමු වුණා. ඒ අතර අඩි තුනහමාරක දළයකුත් තිබුණා. ඊට මාස දෙකකට පසු ග්රෑන්ඩ් ගඟ‍ෙහි තිබී මිසෝරි තරුණ ළමයකුට තවත් මස්ටොඩොන් දතක් හමුවුණා. 

 - පර්සි ජයමාන්න 



Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments