විදු වදන් හැදුනු හැටි - 3 එදිනෙදා දිවියට නැතුවම බැරි විදු වදන් දෙකක් - විසරණය හා ආස්‍රැතිය (Diffusion and Osmosis)

ජලය පිරවූ විදුරුවකට කොන්ඩිස් හෝ වෙන යම් සායම් කැටයක් දමා එය නිශ්චලව තබන්න. සායම් ටිකෙන් ටික ජලය පුරා විසිර යනු දැකිය හැකියි. අවර්ණ ජලය කෙමෙන් කෙමෙන් සායමේ පැහැය ගෙන පසුව මුළු ජලය ම එකසේ පැහැගනු ඇති. එසේ සායම් අංශු ජලය පුරා ඉබේ ම පැතිර ගියේ විසරණය නම් ක්‍රියාවලිය මඟිනුයි. බාහිර ශක්තියක් නොමැතිව මේ ආකාරයට අංශු වර්ගයක් වැඩි තැනක සිට අඩු තැන් කරා ඉබේ ම පැතිර යාම තමයි, විසරණය කියන්නෙ. කුස්සියේ ආහාර පිසින විට විසිත්ත කාමරයේ සිටින ඔබට එම ආහාරවල සුවඳ දැනෙන්නේ එම සුවඳ අංශු වාතය හරහා විසරණය වී ඔබේ නාසයට ඇතුළු වීම හේතුවෙන්.සුවඳක් පමණක් නොව දුගඳක් දැනෙන්නේ ද මේ හේතුවෙන්. විසරණය යන වදන තුළ ම ‘සැරි සරණ’ යන අදහස තිබෙනවා. එයට අනුරූප වන ඉංගිරිසි පදය වන Diffusion යන්න බිඳී අවුත් ඇත්තේ පැතිර යාම යන අරුත් දෙන diffundere යන ලතින් පදයෙන්. 

සායම් අංශු ජලය පුරා ඉබේ ම පැතිර ගියේ විසරණය නිසයි

අර්ධ පාරගම්‍ය, එනම් තෝරා ගත්‍‍ ඇතැම් ද්‍රව්‍යවලට පමණක් ඒ හරහා යාමට ඉඩ දෙන පටලයක් හරහා එම ද්‍රව්‍ය විසරණය වීම තමයි, ආස්‍රැතිය ලෙස හැඳින්වෙන්නේ. පසේ ඇති ජලය ශාක මුල්වලට ඇතුළු වන්නේ ආස්‍රැතිය මගිනුයි. එහිදී පසේ ඇති ජලය මගින් ඇති කෙරෙන පීඩනයක් නිසා ජලය මුල් තුළට ඇදි යනවා. යම් විටෙක පසේ ලවණ ගතිය වැඩිමක් සිදුවුවහොත් එවිට ශාකය තුළ පිඩන වැඩීම නිසා ශාකයෙන් ජලය පසට බැහැරවෙන්න පුලුවන්. වැඩියෙන් පොහොර යෙදූ විට ශාක මැළවී යන්නේ මේ නිසයි. මෙය ඔබට ම අත්හදා බැලීමට පුංචි පරීක්ෂණයක් කරන්න පිළිවන්. කූඩළු වැනි ශාකයක් මුල් නොකැඩෙනසේ උදුරා ගෙන තරමක් ලුණු මිශ්‍ර ජල බඳුනක ඒහි මුල් ගිලෙන සේ තබන්න. ටික වේලාවක් ගත වන විට ශාකය මැළවී කඩා වැඩෙනු දැකිය හැකියි. මෙහි දී වැඩි ජල සාන්ද්‍රණයක් පවතින්නේ පසට වඩා ශාකයේ බැවින් ශාකයෙන් ජලය පිටව යාම නිසයි, මැළ වුණේ. දැන් පිරිසිදු ජල බඳුනක් ගෙන මැළවුණු ශාකයේ මුල් එම ජලයේ ගිලෙන පරිදි තබන්න. ශාකය නැවත පෙර පරිදි ම ප්‍රාණවත් වන බව පෙනේවි. දෙවන අවස්ථාවේ පිටත ජල සාන්ද්‍රණය ශාකය තුළට වඩා වැඩි නිසා ශාකය තුළට ජලය ඇතුළු වීම හේතුවෙන් තමයි, එය නැවත ප්‍රාණවත් වූයේ. 

 
විසරණය හා ආස්‍රැතිය (Diffusion and Osmosis)

ආස්‍රැතිය යන්නට සමගාමී වන ඉංගිරිසි පදය Osmosis යන්න ‘තල්ලු කරන’ යන අරුත් දෙන Osmos නම් ග්‍රීක පදයෙන් බිඳී ආවක්. මෙය මුල් වරට භාවිත කර ඇත්තේ 1828 දී පමණ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ රේනේ ජොආචිම් හෙන්රි ඩියුට්‍රොචෙට් විසින්. 

ආහාර මාර්ගය තුළ දී ආහාර අවශෝෂණය, රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරී ඉවත් වීම සෛල තුළට ජලය ඇතුළු වීම වැනි ක්‍රියාවලී ආස්‍රැතිය මගින් සිදුවෙනවා. අත් වැඩි වේලාවක් ජලයේ ගිල්වා තබන රෙදි සේදීමක් වැනි අවස්ථාවක අතේ සම රැලි වැටී තිබෙනු ඔබ දැක ඇති. මෙහිදී සිදුවන්නේ ආස්‍රැතිය මතින් සම තුළට ජලය ඇතුළු වී සම විශාල වීමයි. ලුණු අධික ආහාර ගත් පසු පිපාසය දැනෙන්නේ සිරුරේ සෛලවල ඇති ජලය ආස්‍රතිය මඟින් පිටවීම නිසා සෛල විජලනය වීමයි. උගුරේ වේදනා තත්වයක් ඇති වූ විට ලුණු වතුරෙන් උගුර සේදීමෙන් එම වේදනාව මග හැරෙන ඔබ දන්නවා ඇති. වේදනාවට හේතුව උගුරේ පටකවලට වැඩිපුර ජලය ඇතුළු වී ඒවා ඉදිමීමයි. ලුණු වතුරෙන් සේදූ විට එම වැඩිමනත් ජලය පටකවලින් ඉවත්වීම නිසා ඒවා නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. මැළවුණු පලා කොළ ජලයේ ගිල්වා තැබූ විට ප්‍රාණවත් වන්නේ ද ඒවා තුළට ආස්‍රැතිය මගින් ජලය ඇතුළු වීම හේතුවෙන්. 

කර්මාන්තවල දී ආස්‍රතිය නම් ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා බොහොමයක් පවතිනවා. ආහාර සැකසුම් කිරීම, කිවුල් ජලය හා කරදිය පවිත්‍ර කිරීම, අප ජලය පවිත්‍ර කිරීම, රසායන ද්‍රව්‍ය, ඖෂධ, රෙදිපිළි, කඩදාසි, ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම, මෝටර් රථ නිෂ්පාදනයේ ඇතැම් පියවරවල දීත් මෙම ක්‍රියාවලිය උපයෝගී කර ගන්නවා. 

- තිලක් ගමගේ


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments