HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෑනෙන් විස්කම් පාමින් ලොව හෙල්ලූ බහුලේඛකයෝ!

පසුගිය දවසක මා ඔබට කීවා ශ්‍රී ලංකාවේ වැඩිපුර ම පොත් ලියපු ලේඛකයා ඩීමන් ආනන්ද ගැන. ඒ වගේම මා කීවා ඔහු සිංහල බස නො මරා ඒවා ලියූ බව. ඔහු වසර 40ක් වගේ කාලයක් තුළ පොත් 1009ක් ලීවා. ඒ වගේ ම මා ඔබට ඒ ලිපියෙන් ම කීවා ඩීමන් ආනන්දට වඩා පොත් 66ක් ලියා ලෝක වාර්තාව හිමි කර ගත් ලේඛකයා වූ බ්‍රසීලයේ රියෝකි ඉනෝයු (Ryoki Inoue) ගැනත්. අද මා ඔබට කියන්නට යන්නේ ලෝක සාහිත්‍යය තුළ වඩාත් ඉහළින් දස්කම් පෑ ලේඛකයන් අතරින් ඉහළ ම තැන වැජඹෙන බහුලේඛකයන් (prolific authors) 10 දෙනා ගැනයි. 

<

ඔබට තෝරා ගන්න සිදුවුවහොත් උසස් ගුණාත්මක භාවයෙන් (quality) වැඩි හා සංඛ්‍යාත්මක භාවයෙන් (quantity) පොත් අතරින් මොන පැත්තට ද ඔබ වඩාත් බර වන්නේ. මා ඔබට කියන්නේ අවශ්‍ය නම් ඒ දෙ ගොඩට ම වැටෙන පොත් ලියන ප්‍රශස්ත ලේඛකයන් ඉන්නා බවයි. අන්තර් ජාලය පීරුවොත් ඔබට ඒ අය කවුරුන්දැයි සොයා ගන්න පහසුවෙන් පුලුවන්. මෙන්න මා සොයා ගත් දේ. 

වසර ගණනාවක් තිස්සේ ලොව පුරා සිටින නිර්මාණශීලී මනසක් ඇති විවිධ ප්‍රවර්ගවල ලේඛකයන් තැත් කළා තමන්ට හොඳ පොත් කොපමණ ප්‍රමාණයක් ජීවිතකාලය තුළ ලියන්න පුලුවන් දැයි සොයා බලන්න. පරිගණක එන්නට කලින් මේ බහු ලේඛකයන් නවකතා, කොටි නවකතා, ක‍ෙටිකතා, වෙනත් ප්‍රවර්ගවලට අයත් පොත් 500කට වඩා ලියා තියෙනවා. ඒවා ගුණාත්මක භාවයෙනුත් උසස් ඒවා ලෙස පිළිගැනෙනවා. ඉතිහාස ගතව ඇති මේ ලේඛකයන් කව්දැයි හඳුන්වා දෙන්නයි, මේ උත්සාහය. 

1. ඉංග්‍රීසියෙන් පොත් ලියන රජා - ස්ටීවන් කිං (Stephen King) 

“මා ලියන දේ පළ කරන්න තරම් සුදුසු නැතැයි මා සිතූ කාලයක් තිබුණා” ස්ටීවන් කිං අද කීවත් ඔහු ලොව සිටින වඩාත් සාර්ථක බහු ලේඛකයෙක්. ඔහු වරක් කීවා, තමන් දිනපත වචන 2,000ක් ලියන බව. මෙයින් ඔබට සිතා ගන්න පුලුවන්, ඔහුගේ නිර්මාණ කොයිතරම් ඉක්මනට පොත් රාක්කවලට එනවද? සිනමා තිරයට එනවද? කියලා. වාර්තාවලට අනුව ඔහු මහ දිගු නවකතා 60ක්, කෙටි කතා 200ක් ලියා තියෙනවා. ඒ හැරනේනට ඔහුගේ නිර්මාණ අතරට වෙනත් රචනා, චිත්‍රපට තිර රචනා, කොමික්ස් යනුවෙන් හැඳින්වෙන චිත්‍රකතා ද අයත් වෙනවා. ඔහුගේ පළමු වන නවකතා වූ කැරී (Carrie) වැනි හීතකර කෘතියන් මගින් පාඨකයාගේ හදවත භීතියෙන් හා ත්‍රාසයෙන් පුරවාලූ ඔහු ‘ද ග්‍රීන් මයිල්’ (The Green Mile) වැනි නවකතා‍වෙන් ඒ පාඨකයාගේ ම හදවත උණුසුම් ආචරයෙන් පුරවා ලූයේ කෙසේ ද යන්න ගැන ඔබ පුදුම වෙනවා සිකුරුයි. 

ස්ටීවන් කිං

ස්ටීවන් කිං පවා ‘කැරී’ නවකතාව ලිවීම ගැන දැන් ඔහුගේ බලවත් නොසතුට පළ කරනවා. ඔහු ඒ කෘතිය කෙතරම් අප්‍රිය කළා ද කීවොත් ලියා අවසන් කළ පසු ඔහු ඒ මුල් අත්පිට පත කුණු කූඩයට දමා තිබෙනවා. ඇමරිකාවේ ‍බොහෝ ප්‍රාන්තවල මේ පොත පැසල්වලට වැද්දගැනීම තහනම්. ඔහුගේ ජනප්‍රියම නවකතාව ලෙස සැලකෙන්නේ 1977 පළ වූ ‘ද ෂයිනින්’ (The Shining) නම් නවකතාවයි. එය පසුගිය වසර 44 තුළ දී ලක්ෂ හතක් පමණ විකිණී තියෙනවා. 

ඇමරිකන් නවකතාකරුවකු වූ ස්ටීවන් කිං විවිධ ප්‍රවර්ගවල අයත් නවකතා ලියා තියෙනවා. ඒවා අතර භීතකර (horror), අධිස්වභාවික (supernatural fiction), සංත්‍රාසජනක (suspense), විද්‍යා ප්‍රබන්ධ (science-fiction), මනස්ඍෂ්ටික (fantasy) නවකතා ඒ අතරට අයත් වෙනවා. ඒවා පිටපත් මිලියන 350ක් පමණ මේ වන විට අලෙවි වී ඇති අතර ඒවා චිත්‍රපටවලට, දිග හා කෙටි ටෙලිවිශන මාලා නාටකවලට, කොමික්ස් වර්ගයේ චිත්‍රකතා පොත් බවට පත්වී තියෙනවා. ඒ අතින් බලන විට ඔහු නිර්මාණකරුවකු ලෙස හැම අතින් ම දක්ෂකම් පෑ අයෙක්. 

ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ්වල දී 1947 සැප්තැම්බර් 21 වැනිදා උපන් ස්ටීවන් කිං මේ වන විට 73 වැනි වියේ පසු වෙනවා. 

ස්ටීවන් කිං ලියූ පොත් කීපයක්

2. පාඨකයන්ට අසීමිතව දැනුම බෙදූ අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov)

“ විද්‍යා ප්‍රබන්ධකරුවන් නොවැළක්විය හැකි නියතයන් කල්තියා දකිනවා, අනාගතයේ ඇති වන ගැටලු හා ව්‍යසනයන් වැනි දෑ කල්තියා දුටුවත් ඒවා විසඳුම් දෙන්නේ නැහැ.” අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කියනවා. විද්‍යා ප්‍රබන්ධකරුවන් අතර ඔහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලා සඳහායි. ඉන් වඩාත් කැපී පෙනෙන්නේ ‘ද ෆවුන්ඩේශන්’(Foundation), ‘ගැලැක්ටික් එම්පයර්’ (Galactic Empire) හා ‘රොබොට්’ (Robot) යටතේ ලියූ නවකතා පෙළයි. 

අයිසැක් ඇසිමෝෆ්

“මට ඕනෑ වුනේ ලෝකයෙන් ම පළමු වැනියා වෙන්නයි. මා ඉගෙනගත් ජෛවරසායන විද්‍යාවෙන් එ්ක කළ නොහැකි බව තේරුම් ගියාට පස්සේ මා ඒ සිහිනය හඹා ගියේ විද්‍යා ලේඛනය ඔස්සේයි” ඔහු කී දේ ඇත්ත යැයි සිතෙන්නේ ඔහු විසින් ලියා ඇති පොතපත දෙස බැලූ විටයි. විද්‍යාව ජනප්‍රිය කරවීමට ඔහු තරම් ලියූ අයෙක් තවත් නැති තරම්. රසායන හා භෞතික විද්‍යාවන් (Physical and Chemical Sciences) පිළිබඳ ඔහු ලියූ දැවැන්ත ග්‍රන්ථ දෙක ඊට අයත් සියලු අංශ ආවරණය කරනවා. ඔහු සම්පාදනය කළ විද්‍යා හා තාක්ෂණය ජීවන තොරතුරු විශ්වකෝෂය (Biographical Encyclopedia of Science and Technology) ක්‍රිස්තු පූර්ව 2980 සිට ක්‍රිස්තු වර්ෂ 1972 වන තෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් හා තාක්ෂණික ශිල්පීන් 1195 දෙනකුගේ සොයා ගැනීම්, නිපදවීම්, ඔවුන්ගේ ජීවන තතු ආදියෙන් සමන්විත වෙනවා. 

ඇසිමෝෆ් උසස් විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා දැනුම කෝෂ, ග්‍රන්ථ 500කට අධික ප්‍රමාණයක් සම්පාදනය කර ඇති අතර කෙටිකතා සිය ගණනක් ද නිර්මාණය කර තියෙනවා. ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙස සේවය කළ ඔහු පොත් ලියූවේ විවේකය ලද විටයි. විශ්‍රාම ලත් පසු ඔහු එක විට ටයිප්රයිටර් පහක මාරුවෙන් මාරුවට පොත් ලියූ බව කියැවෙනවා. ඊට අමතරව ඔහු තමන් සතු දැනුම බෙදා දීමට ලියුම් හා තැපැල්පත් 90,000කට අධික ප්‍රමාණයක් ලියල තියෙනවා. 

ඔහු චතුර දේශකයකු වශයෙන් ද ප්‍රකටව සිටි අතර බොහෝ විට විශ්ව විද්‍යාලවල ප්‍රධාන දේශකයා ලෙස දෙසුම් සඳහා ඇරියුම් ලැබුවා. ඒ අවස්ථාවලට මාතෘකාව ඔහු ලබා ගන්නෙ පිළිගැනීමෙන් පසු ශාලව තුළට ඇතුළු වන විටයි. එසේ වුවත් ඔහුට ඒ දේශනය ගැඹුරින් හා ප්‍රශස්තව ඉටු කිරීමට හැකියාව තිබූ බව ඔහු ඇසුරු කළ විද්වතුන් ඔහුගේ මතක ශක්තිය ගැන මවිතය පළ කරමින් සඳහන් කරනවා. 

1942 දී ඇසිමෝෆ් ලියූ ‘රන්අරවුන්ඩ්’ (Runaround) කෙටිකතාවෙන් තමයි, ‍රොබොටික න්‍යායන් තුන (Three Laws of Robotics) ඉදිරිපත් කළේ. 1983 දී, ඔහුගේ අනාගත දැක්ම යටතේ දැක්වූ අධ්‍යාපනයේ වෙනස්කම් අද සිදුවෙමින් තියෙනවා. අධ්‍යපනය, තාක්ෂණය හැමදාම වෙනස් ‍වන බව කී ඔහු එය අධ්‍යාපනයේ මූලික පදනම වනු ඇතැයි ද සාම්ප්‍රදායික අධ්‍යාපනය යල් පැන අතර ළමයින් ගෙදර සිට පරිගණකය භාවිතයෙන් ඉගෙන ගන්නට පටන් ගන්නා බව ඔහු එදා කීවා 

1920 දී රුසියාවේ පෙට්‍රොවිචිවල අයිසැක් යුඩොවික් ඔසිමෝෆ් (Isaak Yudovick Ozimov) ලෙස උපන් ඔහුට ළදරු වියේදිම පියා හා මව සමග ඇමරිකාවට ඒ මට සිදු වුණා. ඒ රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවයෙන් පසු පියා ළමයින්ට උගන්වන්නට වඩා හොඳ ඇමරිකාව යැයි තෝරා ගත් නිසයි. ඔවුන් ඇසිමෝෆ් ලෙස පවුලේ නාමය වෙනස් කර ගත්තේ බෲක්ලින්වල පදිංචියට ආ පසුවයි. 

3. බොරු නම් 11කින් පොත් ලියූ කැත්ලීන් මේරි ලින්ඩ්සේ 

ඉංග්‍රීසි ලේඛිකා කැතලීන් මේරි ලින්ඩ්සේ (Kathleen Mary Lindsay) වැඩි ම ග්‍රන්ථ ප්‍රමාණයක් පළ කිරීම පිළිබඳ දිගු කලක් ලෝක වාර්තා උසුලා සිටි කාන්තාවක්. අය විවිධ නම් 11කින් පොත් ලිව්වා. මේරි ෆෝක්නර් (Mary Faulkner), මාගරට් කැමරන් (Margaret Cameron), මේරි රිච්මන්ඩ් (Mary Richmond), මෝලි වෝරිං (Molly Waring), බෙටී මැන්වර්ස් (Betty Manvers), එලිසැබත් ෆෙන්ටන් (Elizabeth Fenton), නයිජල් මැකෙන්සි (Nigel Mackenzie), හියු ඩෙස්මන්ඩ් (Hugh Desmond) යන නම්වලින් ඇය පොත් 904ක් ලියූ බව 1986 ගිනස් ලෝක වාර්තා පොතේ සඳහන් වෙනවා. 


කම්ප්ලීට් ඉඩියට්ස් ගයිඩ් ටු විමෙන්ස් ස්පිරිචුවලිට්’ 
(Complete Idiot’s Guide to Women’s Spirituality)

“ලේඛනයේ ඇති විස්මය නම් අපි සිතින් මවා ගන්නා දේ අතින් නිර්මාණයක් බවට පෙරළීමයි” යන්න කැත්ලීන් ෆෝක්නර් නමින් කැත්ලීන් මේරි ලින්ඩ්සේ නම් ලේඛිකාව ‘ස්ත්‍රීන්ගේ ආධ්‍යාත්මිකතාව සඳහා මෝඩයකුගේ මඟ පෙන්වීමක්’ යන අරුතින් ලියූ ‘කම්ප්ලීට් ඉඩියට්ස් ගයිඩ් ටු විමෙන්ස් ස්පිරිචුවලිට්’ (Complete Idiot’s Guide to Women’s Spirituality) නම් පොතෙහි සඳහන් වෙනවා. 

කැත්ලීන් මේරි ලින්ඩ්සේ

1961දී ලින්ඩ්සේට නිර්මාණ කොල්ලකාරියකැයි 1921 දී ලේඛනයට පිවිසි ජෝර්ජියා හේයර් (Georgette Heyer) නම් තවත් තවත් ඉංග්‍රීසි නවකතාකාරියක් චෝදනා කළා. ඒ ලින්ඩ්සේ ලියූ ‘වින්ඩ්ලෑස්’ නම් නවකතාව තමාගේ නවකතාවකින් සොරා ගත් කොටස් ඇතුළත් කර ඇතැයි ඇයට චෝදනා කරමිනුයි. ජෝර්ජියාත් ලින්‍ඩ්සේ වගේ රාජකීය පෙම් සබඳකම් වටා ගෙතුණු කතා වගේ ම රහස් පරීක්ෂක කතාත් ලිව්වා. ජෝර්ජියා කී‍ පරිදි සිදුවීම් හතරක් හා වචන පේළි දෙකක් තිබූ පළියට ඒක උපුටා ගත්තායයි කියන්නේ කොහොමදැයි ලින්ඩ්සේ ඒ චෝදනාව ඉවත දැම්මා. ඒ චෝදනාව ඇගේ තවත් නවකතා අටකටත් ඇය නඩුවක් පවරන බව කීවත් එසේ කළේ නැහැ. 

කැත්ලීන් මේරි ලින්ඩ්සේ වැඩිපුර ම ලියා ඇත්තේ ඓතිහාසික ප්‍රේම නවකතායි. 1903 දී එක්සත් රාජධානියේ ඇල්ඩර්ෂොට්හි උපන් කැත්ලීන් මේරි ලින්ඩ්සේ මිය ගියේ 1973 දී දකුණු අප්‍රිකාවේ සොමර්සෙට්හි දී 70 හැවිරිදි වියේ දියි. 

4. පෝලන්ත‍ බසින් ලියූ මහා ලේඛක ජෝශෆ් ඉග්නසි ක්‍රාශෙව්ස්කි 

ජෝශෆ් ඉග්නසි ක්‍රාශෙව්ස්කි කෘතියක්

පෝලන්ත ලේඛක ජෝශෆ් ඉග්නසි ක්‍රාශෙව්ස්කි (Jozef Ignacy Kraszewski) හෙවත් ක්ලියෝෆාස් ෆැකුන්ඩ් පැස්ටර්නැක් ඔහුගේ ප්‍රථම නවකතාව පළ වූයේ 1830 දියි. සමාජ ක්‍රියාකාරකයකු, පොත් කර්තෘවරයකු, ප්‍රකාශකයකු, පුවත්පත් කලාවේදියකු, ප්‍රාමාණික උගතකු, චිත්‍රශිල්පියකු හා ඉතිහාසඥයකු වූ ක්‍රාශෙව්ස්කි පොත් 600ක් ලියා පළ කර තියෙනවා. ඔහු පෝලන්තයේ ඉතිහාසය ගැනත් ගැඹුරින් පොත් පෙළක් ද ලිව්වා. ඔහු නවකතා 200ක්, කෙටි නවකතා 150ක්, කෙටිකතා විශාල ප්‍රමාණයක් ලියා තියෙනවා. ඒ අතරට කොටස් 79කින් යුත් නවකතා 29ක්ද ලියා තියෙනවා. පෝලන්ත ඉතිහාසයේ මේ තරම් ප්‍රශස්ත බහු ලේඛකයකු තවත් නැති තරම්. 

1812 ජූලි 28 දා පෝලන්තයේ වෝසෝහී උපන් ක්‍රාශෙව්ස්කි 1887 මාර්තු 19 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී මියගියා. 

5. විවිධ කුසලතා පළ කළ බ්‍රිතාන්‍ය ලේඛිකා උර්සුලා හාවි බ්ලූම් 

බ්‍රිතාන්‍ය ලේඛිකා උර්සුලා හාවි බ්ලූම් (Ursula Harvey Bloom) පෙම් නවකතා ලිවීමට ප්‍රසිද්ධ ලේඛිකාවක්. ඇය ග්‍රන්ථ 500ක් ලියා තියෙනවා. මේ ලැයිස්තුවේ ඇති අනෙක් ලේඛකයන් මෙන් ඇයත් අන්වර්ථ නාමවලින් ද පොත් ලියා තියෙනවා. ඇය මුල්ම පොත ලිව්වේ වයස අවුරුදු හතේදියි. චාල්ස් ඩිකන්ස් නම් මහා ලේඛකයා තමයි, ඇයට ඒ වයසේ දී පොත් ලියන්නට පෙලඹ වූයේ. ඇය දස වියට පා තබන විට ඔහුගේ පොත් සියල්ලම කියවා තිබුණා. 1975 ගිනස් ලෝක වාර්තා පොතේ ඇය ගැන සඳහන්ව තියෙනවා. ඇය රාජකීය ඓතිහාසික සංගමයේ ද සාමාජිකාවක්. 

උර්සුලා හාවි බ්ලූම්උර්සුලා හාවි බ්ලූම්  

ඇය‍ නවකතා ලියු අන්වර්ථ නාමයන් වූයේ ශීලා බර්න්ස් (Sheila Burns), මේරි එසෙක්ස් (Mary Essex), රැචල් හාවි (Rachel Harvey), ඩෙබරා මාන් (Deborah Mann), ලොසෑනියා ප්‍රෝල් (Lozania Prole ) හා සාරා ස්ලෝන් (Sara Sloane) යන ඒවායි. ඇය පුවත්පත් කලාවේදිනියක්, චරිත කතා සම්පාදකවරියක්, ඉතිහාසඥවරියක්, ටෙලිවිශන් විචාරිකාවක්, ඉඳිකටු චිත්‍රකලා ශිල්පිනියක්, ප්‍රදර්ශන සූපවේදිනියක් ලෙසත් ප්‍රකට ව සිටියා. ඇය මේ සියල්ලට ම අමතරව මෙතරම් සංඛ්‍යාවක් පොත් ලීවීම කළ ආකාරය ගැන ලොව ම මවිතයට පත්ව තිබුණා. ඇය පියාගේත්, මිත්තනියගේත්, තමාගේ චරිත කතා ලිව්වා. 

1892 දෙසැම්බර් 1 වැනිදා එක්සත් රාජධානියේ චෙම්ස්‍ෆෝඩ්වල ස්ප්‍රින්ෆීල්ඩ්හි උපන් ඇය 1984 දී නෙදර් වොලප්වල දී මියගියේ 92 හැවිරිදි වියේදියි. 

- පර්සි ජයමාන්න

(ඉතිරි කොටස මීළඟට)

Post a Comment

0 Comments