දෙරටක විස්මිත නිර්මාණ දෙකක උපත රස බෙදූ හැටි!

මා අද කතා කරන්න යන්නේ භාරතයේ මහා කිවිඳිය ලෙස සැලකෙන සරෝජිනී නායිදුගේ අපූරු කවියක්, සිංහලයේ අසහාය ගීත රචකයකු හා දක්ෂ අනුවර්තකයකු වූ මහගම සේකරයන් අතින් ගීයකට නැගී, හෙළයේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන්ගේ තනුවකින් ගීතවත් වී, ඔහුගේ ම මධුර හඬින් අමර ගීයක් බවට පත් වූ ඒ අසිරිමත් වූ ආකාරය ගැනයි. 

භාරත කෝකිලාව ලෙස පිදුම් ලත් සරෝජිනී නායිදු මැතිනිය

සරෝජිනී නායිදු මැතිනිය ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් පැවති සමයේ බිහි වූ විශිෂ්ට කාන්තාවක්. නිදහස් සටනට පණ පෙවූ කාන්තාවන් අතර සිළුමිණක් වූ ඇය එරට බිහි කළ විශිෂ්ට කිවිඳියක් ද වෙනවා. හයිද්‍රබාද්හී බෙංගාලි පවුලකට අයත් වූ ඇය මහත්මා ගාන්ධිතුමන්ගේ ස්වරාජ්‍ය සංකල්පයේ අනුගාමිකාවක්. දේශපාලනයට පිවිසුණු ඇයට එහි ද හිමිවූයේ අද්විතීය ස්ථානයක්. 

සරෝජිනී නායිදු මැතිනිය මහත්මා ගාන්ධිතුමන් 
සමග ඉන්දියානු නිදහස් සටන පැවති සමයේ


අනුවර්තනය කළ මහගම සේකර

ඇය ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ එරට පැවති කාන්තාවන්ට ඡන්ද බලය ඉල්ලා කළ සටනේ දී ඊට එක්ව කටයුතු කළා. පසුව ඉන්දියාවට ආ ඇය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදීම පිණිස, ඉන්දියානු ජාතික කොංග්‍රසය ගෙන ගිය නිදහස් සටනට එක් වූ අතර 1925 දී එහි සභාපති ලෙස ද පත්කර ගනු ලැබුවා. ඇය 1879 පෙබරවාරි 13 වැනිදා සරෝජිනී චට්ටෝපාධ්‍ය යන නමින් ඉපිද, වෛද්‍ය නායිදු සමග විවාහ වී සරෝජිනී නායිදු බවට පත් වුණා. 1947 දී ඇය එක්සත් පළාත් ආණ්ඩුවේ ආණ්ඩුකාර තනතුරට පත් වුණා. ඇය තරම් ගෞරවාදරයට පත් කාන්තාවක් කවත් නැති තරම්. ඇය පූර්ණ නිදහස ලැබීමට පෙර පැවති ඩොමිනියන් ඉන්දියාවේ ආණ්ඩුකාර පදවිය ඉසිලූ ප්‍රථම කාන්තාව ද වුණා. 1949 මාර්තු 2 දින හෘදයාබාධයකින් මිය ගියා. 

ඉංග්‍රීසියෙන් කවි ලියූ ඇය විශිෂ්ට කාව්‍ය නිර්මාණ ගණනාවක් ඉන්දියානු සාහිත්‍යයට එක් කළා. එහි දී ‘ජීවිතය පිළිබඳ ඉන්දියානු දර්ශනය’ රැගත් ඇගේ සිත් ගන්නාසුලු නිර්මාණයක් වූ Indian Weavers (ඉන්දියානු සන්නාලියෝ) නම් පද්‍ය පන්තිය පහත පළ වෙනවා. ඒ පැදි පෙළේ සිංහල පරිවර්තනයක් අපේ ගීත සාහිත්‍යයට එක් වී තියෙනවා. එය ගයනා කරන්නේ අපේ මහා ගායකයා වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයි. එහි ගේය පද පරිවර්තනය ආචාර්ය මහගම සේකරයි. 

Indian Weavers ඉන්දියානු සන්නාලියෝ 

WEAVERS, weaving at break of day, 
Why do you weave a garment so gay? 
. . . 
Blue as the wing of a halcyon wild, 
We weave the robes of a new-born child. 

Weavers, weaving at fall of night, 
Why do you weave a garment so bright? . . .
 
Like the plumes of a peacock, purple and green, 
We weave the marriage-veils of a queen. 

Weavers, weaving solemn and still, 
What do you weave in the moonlight chill? . . . 

White as a feather and white as a cloud, 
We weave a dead man's funeral shroud. 

සන්නාලියනේ 

සන්නාලියනේ සන්නාලියනේ 
මේ හිමිදිරි උදයේ 
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී 
කාටද ඇඳුම වියන්නේ // 

මාල ගිරා තටු සේම රුවින් යුතු 
නිල්වන් ඇඳුම වියන්නේ 
ඊයේ ඉපදුණු කුලුඳුල් දූටයි 
මේ පොඩි ඇඳුම වියන්නේ// 

සන්නාලියනේ සන්නාලියනේ 
මේ හැන්දෑ යාමේ 
හැඩ වැඩ දමලා ලස්සන කරලා 
කාටද ඇඳුම වියන්නේ // 

හැන්දෑ අහසේ රන්වන් පාටින් 
දිලිහෙන ඇඳුම වියන්නේ 
ඒ කුලුඳුල් දූ දීගෙක දෙන්නයි 
මංගල ඇඳුම වියන්නේ// 

සන්නාලියනේ සන්නාලියනේ 
සීතල සඳ එළියේ 
මැලවුණු මූණින් වෙවුලන දෑතින් 
කාටද සළුව වියන්නේ // 

කණකොක් තටුවේ සුදුමැලි පාටින් 
සීතල සළුව වියන්නේ 
මිය ගිය ඇයගේ මිනිය වහන්නයි 
සීතල සළුව වියන්නේ// 

මේ ගීතය විමසුමට ලක් කරන කාව්‍ය විචාරකයකු වූ ඒ. එම්. ජී. සිරිමාන්න සූරීන් පෙන්වා දෙන්නේ මේ ගීතයේ ගායකයා නිර්නාමික ප්‍රශ්න විචාරකයකු ලෙස ක්‍රියා කර බවයි. ගායන අත්වැල නො නැවතී ගලා යන ප්‍රවාහයක් සේ කරන පිළිතුරු ගායනයෙන් එහි අරුත තීව්‍ර කරනවා.මේ දෙබස තුළින් ජීවිතයේ ඇති අනිත්‍යතාව ඉස්මතු කර දක්වනවා. විචාරක සිරිමාන්නයන් දක්වන ආකාරයට මහගම සේකරගේ අනුවර්තනය ‘භාරත කෝකිලාව’ ලෙස විරුදාවලි ලත් සරෝජනී නායිදුගේ නිර්මාණය අතික්‍රමණය කරන්නක්. 

ආචාර්ය අමරදේවයන් එහි තනුව, ඔහුගේ ගායනය හා ඊට පිළිතුරු දෙන අත්වැල් ගායනය ඊට ම අනුරූප වන අයුරින් ප්‍රශස්ත ලෙස යොදා ගන්නවා. සරෝජිනී නායිදුගේ පද්‍ය නිර්මාණයෙහි ඇති සරල වදනින් ඉදිරිපත් කරන ජීවන දර්ශනය මේ ගීතයෙන් වඩා හොඳින් පරිපාකයට පත්වන බව, මගේ හැඟීමයි. අපේ සිංහල ගීතාවලියේ හොඳම ගේය පද නිර්මාණ දහය අතරේ ලා ගිණිය හැකියි. මහගම සේකර මේ කවි පෙළ අනුවර්තනය කරන්නට හේතු වූ පසුබිම් කතාව ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඔහුගේ අලුත්ම කෘතිය වූ ‘කිර්තිශේෂ’ (සරසවි, කොළඹ 2020) නම් ග්‍රන්ථයට මහගම සේකරයන් ගැන ලිපියක් ලියමින් මෙසේ දක්වා තියෙනවා. 

“සන්නාලියන්ගේ ගීතය සේකර ස්වායත්ත කර ගන්නේ මුල් රචනයේ බිළිඳා, රැජින සහ මිනිසා යන චරිත තුන එකම ස්ත්‍රියකගේ උපත, විවාහය හා මරණය යන අවස්ථා තුන බවට පත් කර ගනිමින්. මේ සිද්ධීන් තුන ම එ්කාත්මික කරන සේකර ඒ වෙනස කරන්නේ තම පුද්ගලික අත්දැකීමක් ආභාසයෙන්” යනුවෙන් අපේ හිතමිතුරු තිලක්, මහගම සේකරගේ ඒ අත්දැකීම සිහිපත් කළා. 

“රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ රංග ගත කළ මහගම සේකර ලියූ ‘ස්වර්ණතිලකා’ නාටකයේ ඒ චරිතය රඟපෑ සිසුවිය අකල්මරණයකට ගොදුරු වෙනවා. සේකරගේ සිත සසල කළ ඒ සිදුවීම ඔහු පසුව අනුවර්තනය කරන සරෝජීනී නායිදුගේ පැදි පෙළ කේන්ද්‍රීය එකම භූමිකාවක් බවට පත් කර ගන්නවා. මෙය උත්පාද-ස්ථිති-භංග යන අවස්ථා තුන ලෙස අරුත් ගන්වන්න පුලුවන්. සේකරගේ කවි මහිමය නිසා මුල් ප්‍රබන්ධය වඩාත් අලංකෘත කිරීමට සේකරට හැකි වෙනවා.” තිලක් කියනවා. 

පහත වීඩියෝවෙන් ඒ ගීය අමරදේවයන් නවසීලන්තයේ දී ගැයූ අයුරු නරඹන්න. 

- පර්සි ජයමාන්න 



Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments