HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කන්නිමහර ප්‍රාඥයා - කේ. ජයතිලකයන් වියෝ වී දශකය සමරයි!

කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු එතුමාගේ අඩුව පිර වූ මහා ලේඛකයා ලෙස කේ. ජයතිලක හඳුන්වා දෙන්න පුලුවන්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වගේ ම ඔහු ද සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමයෙන් පිට පැන ස්වෝත්සාහයෙන්, ගවේෂණය තුළින් සිය ප්‍රතිභාව මතු කර ගත්තෙක්. ඔහු වික්‍රමසිංහයන් ගිය මඟ ගිය අපේ ලේඛකයන් අතරින් ප්‍රමුඛයා ද වෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් මෙන් පුවත් පත් කලාවේදියෙකු නොවුනද ඔහු වික්‍රමසිංහයන් මෙන් පොතපත බහුල ලෙස කියවූ අයෙක්. ගැමි දිවිය තුළින් සිය නිර්මාණ ඉදිරිපත් කළ අයෙක්. නවකතාව, කෙටි කතාව, කවිය යන ක්ෂේත්‍රවලින් සිය දස්කම් පෑ ඔහු ජීවිතයේ පරිණත භාගයේ දී දාර්ශනික හා සංකල්ප රැසක් ජාතියට දායාද කළ අයෙක්. ආධුනික ලේඛකයන් සොයා යමින් ඔවුන් දිරිමත් කළ අයෙක්. 


කේ. ජයතිලක ලියූ පොත් කීපයක්

කේ. ජයතිලකයන් වියෝ වූ දා, 2011 සැප්තැම්බර් 14 වැනිදා, අප හා සමකාලීන ලේඛකයකු වූ නිව්ටන් ගුණසේකරයන් කී කතාවක් මට මෙහිදී මතක් වෙනවා. “නවසිය පණහේ අග භාගයේ දී මගේ මුල් ම කෙටිකතාව ‘ජනතා’ පත්‍රයේ පළ වුණා. ඒ කෙටිකතාව කිය වූ ජයතිලක මහත්තයා මාව සොයා ගෙන මගේ ගම්පහ ගෙදරට ආවා. ඒ ආවේ මගේ නිර්මාණය අගය කොට මා දිරිමත් කරන්නයි. එදා තමයි ජයතිලක මහත්තයා මුලින් ම දැක්කෙ” නිව්ටන් ඒ කතාව කියද්දී ජයතිලක මහතා කෙරෙහි ඔහු තුළ වූ ගෞරවය ඔහුගේ මුහුණෙන් පෙනුණා. ඔහුත් අද අප අතර නැතත් ඒ මුහුණ අදත් මට එදා වගේ ම පෙනෙනවා. 

කේ. ජයතිලක හෙවත් කළුඅච්චිගමගේ ජයතිලක උපන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවන, කන්නිමහර, මැදිහේන ගමේ දියි. ඔහු උපන්නේ 1926 ජූනි 26 වැනිදායි. පියා වුනේ කළුඅච්චිගමගේ අර්නෝලිස් අප්පුහාමියි. මව මද්දුමා අමරසේකර ආරච්චිගේ පොඩි නෝනායි. පවුලේ තෙ වන දරුවා වූ ඔහු කුඩා කල ඉගෙන ගත්තේ රදාවාන පිරිමි පාසලෙන්. පිරිමි පාසලෙන්. ඉන්පසු කොළඹ ආ ඔහු ලෝරන්ස් කොලීජියෙන් වැඩි දුරට ඉගෙන ගත්තා. ඔහු වැඩි අවධානයක් යෙදුවේ ඉංග්‍රීසි ඉගෙන ගන්නටයි. කොළඹ ඉන්නා ගමන් ගෙදර ආර්ථික දුෂ්කරතා මග හැර ගැනීමට වෙළඳ සේවකයකු ලෙස කඩ සාප්පු කීපයක ම කටයුතු කළ ඔහු අවසානයේ අධ්‍යාපන ආයතනයක රස්සාවකට යොමුවුණා. 

කේ. ජයතිලක සූරීන් සිය භාර්යාව වූ සුමනා ජයතිලක සමග

ඉන්පසු ස්වෝත්සාහයෙන් ඉගෙන ගත් ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ඒ අතරතුර පාලි හා සංස්කෘත යන ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ඇති කර ගත්තා. 1943 දී ‘වියෝ දසුන’ නම් කාව්‍ය සංග්‍රහය පළ කරමින් ඔහු ලේඛකයකු ලෙස දොරට වැඩියා. ඉන්පසු 1953 දී ‘දෛවයෝගය විචාරය’ නම් විචාර ග්‍රන්ථයක් ලියා පළ කළා. ඊළඟට ඔහු කළේ රැකියාවෙන් ඉවත් වී පොත් ලියා පළ කිරීමට ප්‍රදීප ප්‍රකාශකයෝ නමින් ප්‍රකාශක සමාගමක් හා මුද්‍රණාලයක් ආරම්භ කිරීමයි. ඊළඟට සාහිත්‍ය ලෝකයට ඔහු කෙටිකතා නිර්මාණකරුවකු ලෙසයි. ඔහුගේ මුල් ම කෙටිකතා සංග්‍රහය වූයේ 1955 දී පළ කළ ‘පුනරුත්පත්තිය’යි. ඒ ක‍ෙටිකතාවලට පාඨක ප්‍රසාදය ලැබීම නිසා ඔහු ඉන්පසු ඔහු ‘කටු සහ මල්’, ‘වජිර පබ්බත’, ‘අතීරණය’, එකගෙයි අවුරුද්ද’, ‘නොනිමි සිත්තම සහ වෙනත් කතා’, ‘දියණිය ආපසු එයි’ යනුවෙන් කෙටිකතා කීපයක් ම ලියා පළ කළා. මේ කාලයේ දී මහගම සේකර සමග එක්ව ‘ව්‍යංගා’ නම් කාව්‍ය සංග්‍රහයක් ද පළ කළා. 

ඔහු නවකතාකරුවකු ලෙස සාහිත්‍ය ලෝකයට එක් වූයේ 1960 ඔහු ලියා පළ ‘පරාජිතයෝ’ නවකතාවෙන්. ඊට රසික ප්‍රසාදයට පත් වීමෙන් දිරිමත් වූ ඔහු ඊළඟට ‘චරිත තුනක්’, ‘දෙලොවට නැති අය’, ‘අධිෂ්ඨාන’, ‘රාජපක්ෂ වලව්ව’, ‘කාල‍ො අයංතේ’, ‘මායා මාලිගාව’, ‘පිතා මහ’, ‘පුංචි රාල’, ‘පුංචි රාලගේ මරණය’, ‘අප්‍රසන්න කතාවත්’, ‘මතු සම්බන්ධයි’, ‘පියා සහ පුත්තු’, ‘මහල්ලකුගේ ප්‍රේමකතාව’, යන නවකතා ලියා පළ කළා. 

ඔහු ළමයින් සඳහා ද පොත් ගණනාවක් ම ලියා පළ කළා. ඒවා අතර ‘මිහිබට සුරපුර’, ‘පුංචි වලාකුළ සහ පුංචි පුතා’, ‘වන සරණ’, ‘සේන සහ සීතා’, ‘ඉරුණු බළලා’, ‘ඔරලෝසුවා’, ‘ඩිංගිරි’, ‘ඉස්සරහා බලන්නෝ’, ‘අයියයි නංගියි’, ‘රුවන් කුමාරි’, ආදී ළමයින් වෙනුවෙන් සිංහල කෘතීන් රැසක් ද, Torn Cat, Timepiece ඇතුළු ඉංග‍්‍රීසි ළමා සාහිත්‍ය කෘති කීපයක් ද වෙනවා. 

කන්නිමහර නිවසෙහි ඔහුගේ නමින් පුස්තකාලයක් තියෙනවා

ඔහු සිය දැක්ම පොතපතින් ඉදිරිපත් කිරීමට ද පසුබට වුණේ නැහැ. ඒවා ‘දර්ශනවාද අසබඩින්’, ‘බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට’, ‘කුදුහොත් රචනා’, ‘නිරිබත’, ‘සංකල්පන’, ‘අත්පසුරු’, ‘වරණය, ඡන්දය හා මනාපය’ වැනි කෘතිවලින් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. එහි දී ඔහු නිදහස් ආරක නිර්මාණ (ඒවා කවි ලෙස හැඳින්වීමට ඔහු කැමති වුණේ නැහැ.) විශේෂයක් ඉදිරිපත් කළා. ඒ තුළින් තාගෝර් තුමාගේ ගීතාංජලියෙන් ඉදිරිපත් කළාක් මෙන් ඔහු පසක් කර ගත් ජීවන දර්ශනය පාඨකයාට වෙත තිළිණ කළා. ‘නිරිබත’, ‘සංකල්පන’, ‘අත්පසුරු’ වැනි නිර්මාණ තුළින් ඒ බව මනාව පැහැදිලි වෙනවා. නිසඳැස් කවි මෙන් පෙළ ගස්වා තිබුණත් ඒ ‍කෙටි ගද්‍ය රචනා වලින් මතුවන චින්තන දහරාව සුළු පටු නොවන බව පරිශීලනය කරන්නන්ට වැ‍ටහෙනවා. 

මේ ‘සංකල්පන’ කෘතියට ඔහු ලියන එවැනි නිර්මාණයකි. 

“ගිය අවුරුද්දේ 
වපුරන්නට තිබූ 
බීජ රාශිය 
එදා නොවපුලෙමි 
දැන් මට 
ඉතා හොඳ පොළොවක් 
ඉතා හොඳ දේශගුණයක් 
ලැබී ඇත 
ඒ බිමෙහි
ඉතා හොඳ පොහොර යොදා 
ඒ බීජ වපුළෙමි 
නිසි ලෙස ජලය ඉස්සෙමි 
ඒත් ඒවා
 ප්‍රරෝහණය නොවීය.” 

සම්පත් ඕනෑ තරම් තිබියදී අවස්ථාව අපතේ හැරීමෙන් අප ලබන පරාජය මොන තරම්ද යන වග සියුම් ලෙස කියාපාන ආකාරයත් මෙහි කියැවේ. ජීවිතයේ සැඳෑ සමයේදී කළ මේ රචනා ගැන ජයතිලකයන් කීවේ, ‘දීර්ඝ වශයෙන් ලිවීම වෙහෙසකර වූ තැන එවැනි කෙටි නිර්මාණ කළ බවයි’. 

‘සිංහලයේ ආරම්භය හා අවසානය’ යනු කේ. ජයතිලකයන් ජාතික උරුමය සොයා ගිය ගමනේ පිය සටහන් ලෙස සැලකිය හැකියි. දුරාතීතයේ සිට ම නිර්මාණාත්මක ලේඛකයන්, අන්තර්ගතය හා ආකෘතිය අතින් පොතපත පෝෂණය කරන්නට කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵල හකුළුවා දැක්වීමක් ලෙස ඔහු ලියූ ‘‘විශ්ව සාහිත්‍යය ආභාසය සහ නිර්මාණය’ සැලකිය හැකියි. ඔහුගේ ‘බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට’ නොයෙකුත් මිථ්‍යා විශ්වාස හා මිථ්‍යා ඇදහිලි සමග බුදුසිරිත මැදහත් සිතින් කළ විමසීමක් ලෙස දැක්විය හැකියි. 

කේ. ජයතිලකයන්ගේ ‘චරිත තුනක්’ නවකතාව ඇසුරෙන් 
ටෙලිනාට්‍ය මාලාවක් තැනුණා.

‘කතා කලාවේ විකාශනය’, ‘සාහිත්‍ය විචාර සටහන්’, ‘සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම’, ‘නවකතාව හා සමාජය’, ‘නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත’, ‘සාහිත්‍ය විචාර චින්තාවලි’, ‘ජාතක සාහිත්‍යය හා වෙස්සන්තර’, ‘සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත’, ‘සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය’ යන ග්‍රන්ථ ඔහුගේ ප්‍රකාශන ගොන්නට ඇතුළත් වෙනවා. 

හදවතට එකඟව ජීවත්වූ කේ. ජයතිලක නම් අදීන ලේඛකයා කිසි විටෙකත් දේශපාලන බලයට, ධන බලයට, සිය පෑන පාවා දුන්නේ නැත. හැම විට ම සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනී සිටියා. ලේඛනය, සාහිත්‍ය නිර්මාණකරණය යනු ආශ්චර්යයෙන් කෙටි මාර්ගවලින් පාදාගත හැකි දෙයක් නොවන බව ඔහු තරයේ ඇදහුවා. 

‘ස්ථිර නිවහනක් නොමැතිව පයින් පාරේ ඔබ මොබ යන තැනැත්තා ඊළඟ සතියේ ලොතරැයි දිනුමකින් මෝටර් රථයක, සුවිසල් මන්දිරයක හිමිකාරයකු විය හැකි වුවත් හෝ සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණයකින් පසු බලගතු දේශපාලකයකු වන්නට හැකි වුවත් එවැනි කෙටි මාර්ග කිසිවකින් ලේඛකයකු විය නොහැකි යයි’ යන්න ඔහු නිතරම අවධාරණය කළ දෙයක්. 

ඔහු සිය ආත්ම චරිතකතාව වූ ‘පුංචි පැළේ ගස වෙනා’ නම් කෘතිය තුළින් මෙහෙම කියනවා. “නූතන සිංහල ලේඛකයන් අතර මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතැයි නොසිතමි. ඒ නිසා ම ඉදිරිපත් වූ බාධාවන් මධ්‍යයෙන් මා ගමන් කර ඇත්තේ ම විසින් පවා බලාපොරොත්තු නොවන ලද තරම් දුරකි. ඉතා හෙමින් පැමිණි මේ ගමන නොනවත්වා තවමත් යන්නේ හෙමිහිටය. නූතන සිංහල සාහිත්‍ය ‍ක්ෂේත්‍රය දෙස බලන විට, සමහරුන් ඔවුන් සිටින තැන්වලට වෙනත් අය විසින් ගෙනවිත් තබන ලද අය වෙති. තවත් සමහර අය එක්කෝ වක්‍ර මාර්ගවලින් නැත්නම් සෘජු මඟින්ම සැප පහසු වාහනවල පැමිණි අය වෙති.” ඔහුගේ මේ අදහස් කෙතරම් අව්‍යාජ දැයි, අවංක දැයි පෙනෙන්නේ විමසිලිමත්ව බලන විටයි. 

රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතකින් පිදුම් ලද ජයතිලක සූරීන්ගේ භාෂා සාහිත්‍ය සේවාව අගයා ලේඛකයකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරි නැමෙන ‘සාහිත්‍ය රත්න’ රාජ්‍ය සම්මානයෙන් ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපාධියෙන් ද ගරු බුහුමන් කරනු ලැබුවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments