රජතුමා එක්ක කතාබහක යෙදී සිටියදී නස්රුදින් තමාගේ බූරුවා ගැන වර්ණනාවක් කළා.
‘රජතුමනි, මගේ බූරුවා අති දක්ෂයෙක්. මට පුලුවන් වේවි ඌට පොත් කියවන්න පුරුදු කරන්නත්’ නස්රුදින් මහත් ආඩම්බරෙන් කිව්වා.
‘එහෙනම් ඔහෙගෙ බූරුවාට පොත් කියවන්න උගන්වනවා. මං ඔහෙට තුන් මාසයක් කල් දෙනවා.’ රජතුමා නියෝග කළා.
නස්රුදින් ගෙදර ගිහින් බූරුවාට පොත් කියවන්න පුරුදු කරන්න පටන් ගත්තා. ලොකු පොතක් අරන් ඒකෙ පිටු අතර බූරුවා කන කෑම ජාති දාල දිවෙන් පිටු පෙරළලා කෑම සොයා ගෙන කන හැටි කියා දුන්නා. මාස තුනක් මේ විදියට කෑම දීලා තුන් මාසෙ පිරෙන්න දවසක් තිබිය දී බූරුවාට කෑම දීම සම්පූර්ණයෙන් ම නැවැත්තුවා.
නියමිත දවසට නස්රුදින් බූරුවාත් අරන් රජගෙදරට ගියා. එහිදි රජතුමා ඇහුවා, ‘නස්රුදින් ඔහේගෙ බූරුවාට දැන් පොත් කියවන්න පුලුවන් ද?’ කියලා.
‘පුලුවන් ස්වාමීනි! මට ඕනෑම ලොකු පොතක් ලැබෙන්න සලස්වන්න මං ඌ ලවා ඒක කියවන්නම්!’
නස්රුදින් ඒ ලොකු පොත අරන් බූරුවා ඉස්සරහින් තිබ්බා. ඌ දවස් තුනකින් නොකා හිටපු නිසා හරිම බඩගින්නෙ හිටියෙ. ඒ හින්දා නස්රුදින් පොත ඉස්සරහින් තියන පරක්කුවට පොතට හොම්බ දාලා දිවෙන් පිටු පෙරළලා කෑම කන්න හෙව්වා. කෑම නැති හින්දා. බෙරිහන් දුන්නා. ඊළඟ පිටුව පෙරළුවා. ඒත් කෑම නෑ! බෙරිහන් දුන්නා. මේ විදියට මුළු පොත ම පෙරළමින් ඌ බෙරිහන් දුන්නා. පොත පෙරළලා ඉවර වෙලා ඌ නස්රුදින් දිහා බලලා ආයිත් බෙරිහන් දුන්නා.
බූරුවා දිහා සෝදිසියෙන් බලා සිටි රජතුමා ඔළුව වනලා හිනාවුණා. ‘ඒකත් අපූරුයි! අමුතු විදියෙ කියවීමක්! පොත කියවලා ඉවරවෙලා ඔහේ දිහා බලලා ඉවරයි කියලත් උගේ භාෂාවෙන් කිව්ව හැටි හරිම පුදුමයි!’
රජතුමා කොයිතරම් පැහැදුණාද කීවොත් නස්රුදින්ට තෑගිබෝගත්, බූරුවාට කෑමත් දුන්නා.
- පර්සි ජයමාන්න
(ළඟදීම නිකුත් වන අලුත් ම නස්රුදින් කෘතියෙන්.)
0 Comments